TT Ads

කවුරුන් හෝ කෙනෙක් ඔබට කිව්වොත් “මම මේ කියන්නේ සහතික ඇත්තක්…” කියලා ඔබ ඒක හිස් මුදුනින් පිළිගන්නවාද..? එහෙම නැත්නම් ඒ ගැන පිළිගන්නේ ටිකක් හොයලා බලලද? ඇත්තම කිව්වොත් මිනිස්සු කියන දේවල් ඒ ආකාරයෙන්ම පිළිගන්නා එකත් ඒ තරම් ඇඟට ගුණ දෙයක් නමෛයි. එහෙම කියලා මිනිස්සු දිහා අවිශ්වාසයෙන් බලන එකත් හොඳ නෑ. ඒත් ඉතින් සමහර මිනිස්සු කියන දේවල් අහගෙන ඉන්න එකත් එක වෙලාවකට කොයි තරම් නම් කන්කරච්චලයක්ද කියලා හිතා බලන්න. තමන් මොකක් හරි ලොකු වැඩක ඉන්න වෙලාවක කවුරු හරි කිසි වැදගත්කමකට නැති, හිස් කතා කියවන්න ආවම ඔබ වුණත් කොයි තරම් නම් ඒ මනුස්සයට හිතින් බැණ බැණ ඉන්නට ඇතිද..? මට මේ වෙලාවේ මතක් වෙන්නේ පැරණි ග්‍රීක කතාවක්. මේ කතාවෙන් අපි කොයි කාටත් ලොකු ආදර්ශයක් හා පාඩමක් ඉගෙන ගන්න පුළුවන් හින්දා මම අද හිතුවා ඒ කතාව ඔබට කියන්න ඕනෑ කියලා. මෙන්න මේකයි කතාව.
සොක්‍රටීස් කියන්නේ ග්‍රීසියේ හිටපු ප්‍රකට දර්ශනවාදියෙක්. ඒ වගේම බුද්ධිමතෙක්. දවසක් මේ කියන සොක්‍රටීස්ව මුණ ගැහෙන්න ඔහුගේ හිතවතෙක් ආවා. ඒ ඇවිත් සොක්‍රටීස්ට මෙන්න මෙහෙම කිව්වා.
“දන්නවද අර ඔහේගේ යාළුවා ගැන මට දැන ගන්න ලැබුණු දේවල්..? එයා ගැන කියන්න තියෙන අලුත්ම ආරංචිය..” යාළුවා ලොකු කතාවකට අර අදින්න හදනකොටම තමන් කර කර හිටපු වැඬේ පැත්තකට තියලා සොක්‍රටීස් මෙන්න මෙහෙම කිව්වා.
“පොඞ්ඩක් ඉන්න. පොඞ්ඩක් ඉන්න.. ඔය කියන යාළුවා ගැන තියෙන අලුත්ම තොරතුරු දැනගන්න කලින් මට පුංචි පරීක්ෂණයක් කරන්න තියෙනවා”
“ඒ කියන්නේ…”
යාළුවා සොක්‍රටීස් කියපු දේ නොතේරුණු නිසා එහෙම ඇහුවා.
“මෙහෙමයි.. ඔහේ මගේ යාළුවා ගැන කියන්න හදන දේ මොකක් වුණත් මට ඊට කලින් ඔහේගෙන් ප්‍රශ්න තුනක් අහන්න තියෙනවා. “තුන් පැන පරීක්ෂණය” කියලයි මම ඒකට කියන්නේ.”
“හරි… ඕන ප්‍රශ්නයක් අහන්නකෝ..” යාළුවත් උත්තර දුන්නා.
“මේකයි පළවෙනි ප්‍රශ්නය… හැබැයි හොඳ කල්පනාවෙන් උත්තර දෙන්න ඕනේ.. ඔය යාළුවා ගැන ඔහේ මට කියන්න හදන ආරංචිය 100ක්ම ඇත්තක් බව ඔහේට සහතිකද..?” සොක්‍රටීස් ඇහුවා.
“ම්.. මෙහෙමයි.. මට ඒක 100ක් ඇත්තයි කියලා සහතික වෙන්න බෑ.. මොකද මමත් ඔය කතාව අහපු එකක්…” යාළුවාගෙන් ලැබුණේ ඒ විදියේ උත්තරයක්.
“හරි එහෙනම් ඔන්න මම දැන් දෙවැනි ප්‍රශ්නය අහනවා.. මේකයි ප්‍රශ්නය.. මගේ යාළුවා ගැන ඔහේ ඔය කියන්න යන ආරංචිය එයා ගැන හොඳක් කියවෙන එකක්ද..? එහෙම නැත්නම් නරකක් කියවෙන එකක්ද..?”
සොක්‍රටීස් අහපු ඒ ප්‍රශ්නෙට ටිකක් අදිමදි කරලා එහෙම යාළුවා මේ විදියේ උත්තරයක් දුන්නා.
“මේක නම් එයා ගැන කියන්න තියෙන හොඳ කතාවක් නෙමෙයි..”
“ඒකත් එහෙමද..? ඔන්න එහෙනම් මම මගේ “තුන් පැණ” පරීක්ෂණයේ අන්තිම ප්‍රශ්නය අහනවා.”
“ඔයා ඔය කියන්න හදන දේ මගේ දාර්ශනික සිතුවිලිවලට ප්‍රයෝජනයක් තියෙන දෙයක්ද..? එහෙමත් නැත්නම් මගේ ඉදිරි ගමනට ඒක ප්‍රයෝජනවත් ආරංචියක් වෙයිද..?”
මේ වෙලාවේ ටික වෙලාවක් සොක්‍රටීස් දිහා බලන් හිටපු යාළුවා ටිකක් කල්පනා කරලා මෙන්න මෙහෙම කිව්වා.
“ඔහේ වගේ ශ්‍රේෂ්ඨ දාර්ශණිකයෙකුට මම මේ කියන්න හදන කතාවෙන් නම් කිසිම ප්‍රයෝජනයක් නෑ කියලයි මට නම් හිතෙන්නේ. ඒත් ඉතින් ඔහේට කියන්න කිසිම දෙයක් තිබුණේ නැති හින්දයි මම මේ කතාව ඇදලා ගත්තේ”
තමන් හමුවට ආපු මිත්‍රයා බොහොම දුර්වල කටහඬකින් එහෙම කියනකොට සොක්‍රටීස් රැවුල එහෙමත් අතගාලා බොහොම සන්සුන් විදියට මෙහෙම කියන්න ගත්තා.
“වෙන කෙනෙක් ගැන මට කියන්න හදන දේ හරියටම ඇත්තක්ද කියලා ඔහේ දන්නෙත් නෑ. අනිත් එක ඔහේ මට කියන්න හදන්නේ මගේ යාළුවා ගැන හොඳ කතාවකුත් නෙමෙයි. ඒ හැම දේකටමත් වඩා ඔය කතාවෙන් මගේ ජීවිතේට ඇති වැඩකුත් නෑ… ප්‍රයෝජනයකුත් නෑ… ඉතින් ඇයි ඕක මට කියන්නේ. ඔය කතාව ඇහුවා කියලා මොකක්ද මගේ ජීවිතේට ඇතිවෙන යහපත. ඒ නිසා මම ඔය කතාව අහන්නේ නැතිව ඉන්න එක තමයි වඩා හොඳ…? කිසි තේරුමක් නැති කතාවක් අහන්න කාලය නාස්ති කරනවාට වඩා මට තියෙනවා ඊට වඩා ගොඩක් වැඩ.”
සොක්‍රටීස් කරපු මේ පරීක්ෂණයෙන් අපිට ගන්න තියෙන ලොකුම ආදර්ශය සහ පණිවුඩය මොකක්ද..?
අපි ගොඩක් වෙලාවට තවත් කෙනෙක් එක්ක කතාබහ කරන්නේ සත පහක වැඩක් නැති පල් හෑලි නේද..? අරක්කු බෝතල් ඉවර වෙනකල්, එහෙමත් නැතිනම් දුරකථනයේ බිල අහස උසට නගිනකල් ඔබත් මේ විදියේ කිසිම ප්‍රයෝජනයක් නැති පල් හෑලි කොයි තරම් නම් කියව කියවා ඉන්නට ඇතිද? මෙච්චර කාලයක් කරපු කියපු දේවල් ගැන හිතලා අපිට දැන්වත් අපේ චර්යාව ටිකක් වෙනස් කරගන්නට බැරිද..? මම හිතන්නේ ඔබට ඒක කරන්න පුළුවන්.

ගීත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>