TT Ads

කොරෝනා ව්‍යාප්තියෙන් පසු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මේ වනවිට යළිත් රාජකාරි වැඩ ආරම්භ කරමින් පවතිනවා. නමුත් වර්තමානයේ උද්ගතව තිබෙන තත්ත්වය මත බොහෝ ආයතනවල ප්‍රධානීන්ට තමන්ගේ ආයතනයේ මතු පැවැත්ම උදෙසා සේවකයන් සීමා කිරීමට සිදුවෙලා.
අප මේ කතා කරන්නේ රැකියා ස්ථානවලදී කාන්තාවන්ට විඳින්නට සිදුවිය හැකි අතවර පිළිබඳවයි. මින් පෙර විඳින්නට සිදුවූ අතවර යම් ප්‍රමාණයක් වීද, මින් මතු ඒ තත්ත්වය වඩාත් ඉහළ යා හැක්කේ සේවක කප්පාදුව මත දැන් රැකියා ස්ථානවල සේවය කරන කාන්තාවන්ද සීමා වීම නිසයි. කලින් වැඩි පිරිසක් අතරේ බෙදී ගිය හිංසන දැන් සීමිත කිහිප දෙනෙකුට සීමා වීම යනු ඔවුන්ට විඳින්නට සිදුවන ගැහැට වැඩි වීමයි.

    

එක් රාජ්‍ය ආයතනයක සේවය කළ කාන්තාවකට එහිම සේවය කළ තැනැත්තෙකු වෙතින් බොහෝ බලපෑම් ඇති වී තිබුණා. ඔහු දේශපාලනඥයකුගේ පිහිටෙන් එම ආයතනයට රැකියාවට පැමිණි උසස් නිලධාරියකු නිසා මේ කාන්තාවට ඔහුගේ බලපෑම් පිළිබඳව කිසිවෙකුට පැමිණිලි කිරීමේ හැකියාවක් තිබුණෙත් නෑ. කෙසේ හෝ ඔහු හැකිතාක් මගහරිමින් තමන්ගේ රාජකාරිය කරන අතරේ ඇගේ සැමියා හදිසියේම හෘදයාබාධයකින් මිය ගියා. මේ තරම් විශාල කම්පනයක් ඇති කරවන සිද්ධියකට මුහුණ දී සිටින අතරේ වුවත් අර තැනැත්තාගේ බලපෑම් ඇයට අඩු වුණේ නෑ. අන්තිමේ ඔහු කීවේ ඔහු සමග ඇසුරකට නොපැමිණියහොත් ඔහුගේ හිතවත් දේශපාලනඥයා ලවා ඇගේ රැකියාව නැති කරන බවයි.
සැමියාගේ රැකවරණයත් නැතිව ගිය ඇයට රැකියාව අහිමි වීම කියන්නේ කබලෙන් ළිපට වැටීමක්. එයින් ඇය වගේම ඇගේ දරුවනුත් අසරණ වෙනවා. අන්තිමේ සැමියා මියගොස් මාස තුනක් ගතවෙන්නටත් පෙරම ඇයට ඔහු සමග ලිංගික සම්බන්ධතාවකට එළඹෙන්න සිදුවුණා.
මේ තැනැත්තාට අවශ්‍ය වූයේ ඇය හා ප්‍රේම සම්බන්ධතාවකට එළඹෙන්නට හෝ ඇයට පිළිසරණක් වන්නට නොවෙයි. අවශ්‍ය විටෙක දී තම ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාණ්ඩයක් ලෙස ඇය පාවිච්චි කරන්නටයි. මෙහිදී තමන්ගේ සැමියා මියගොස් ඉතාම කෙටි කලකින් ඔහුට මෙතරම් ප්‍රබල ද්‍රෝහිකමක් කරන්නට සිදුවීම ගැන මේ කාන්තාව තදබල ලෙස මානසික පීඩනයකට ලක්ව සිටියා.
මේ සිද්ධිය ගැන අපි මඳක් සිතා බලමු. මේ කාන්තාවගේ පැත්තෙන් බැලුවොත් ඇය එවැනි වැරදි දේකට යොමු වුණේ තදබල ලෙස මානසික අසරණවීමකට ලක්ව සිටි නිසයි. නමුත් මෙම අයුතු සම්බන්ධතාවය ගැන දැන ගන්නා සමාජය ඇය දෙස බලන්නේ කොහොමද?
“මනුස්සයා මැරිලා මාස තුනක් යන්නත් කලින් ඒ ගෑනි වෙන මිනිහෙක්ව අල්ලා ගත්තා. මොනතරම් කුලප්පුවක් ඇතිද මේ ගෑනිට?”
“ඕක ඒ මනුස්සයා මැරෙන්න කලින් ඉඳලා පටන් ගත්තු දෙයක් වෙන්න ඇති. හොඳට හිටපු අර මනුස්සයට ඔය හදිස්සියේ හාට් ඇටෑක් එකක් ආවෙත් ඔය හිතේ අමාරුවටද කවුද දන්නේ ?”
ඕක තමයි අපේ සමාජය තුළ කාන්තාවට හිමි වී තිබෙන තැන.
අපේ රටේ කාන්තාවන්ට ඇඳුමක් ඇන්දත් පිරිමියෙක් ගැන හිතන්න වෙනවා. “මේ ඇඳුම ඇන්දම පිරිමි මොන විදිහට මගේ දිහා බලයිද?” යනුවෙන් කාන්තාවකට හිතා බලන්න වෙන්නේ ඇඳුම දිහා බලලා එහි ස්වරූපය අනුව ඇය නරක ගැහැනියක වශයෙන් මතයක් ගොඩනගන්නට මේ සමාජයේ පිරිමින් සාහසික වී ඇති නිසයි.
කාර්යාලවල විවාහක පිරිමින් හා විවාහක කාන්තාවන් අතරේ ඇතිවන අසම්මත සම්බන්ධතා ගැන බැලුවොත් බොහෝ කාන්තාවන් මේවාට නැඹුරු වන්නේ පිරිමින්ගේ බලපෑම මත. විශේෂයෙන් තමන්ගේ ප්‍රධානියා හෝ වෙනත් ඉහළ නිලධාරියෙක් අයුතු බලපෑම් කරන විට මෙහි මුලින්ම සඳහන් කළ සිද්ධියේදී මෙන් තමන්ගේ රැකියාව රැක ගැනීමට, කෙනෙහිලිකම්වලින් තොරව රැකියාව කරගෙන යාමට බොහෝ කාන්තාවන් එම බලපෑම්වලට යට වෙනවා. මේවා අනියම් සම්බන්ධතා ලෙස මතුපිටින් පෙනුණට ඇත්තටම කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන. ඉතින් කාටද මේවා ගැන පැමිණිලි කරන්නේ?
සමහර කාර්යාලවල විශ්‍රාම යන්නට ඔන්න මෙන්න වයසේ ඉන්න පිරිමින් තරුණ කාන්තාවන්ට අයුතු බලපෑම් කරනු දැකිය හැකියි. මේ පිරිමින්ට බොහෝ විටම විවාහක දරුවන් පවා ඉන්නවා. මේ සමහරුන් තරුණියකට එවැනි බලපෑමක් කරාවි කියා හීනෙකින්වත් හිතන්න බැරි තරම් බොහොම සදාචාරසම්පන්න අය විදිහට තමයි සමාජය හමුවේ පෙනී සිටින්නේ.
බැරි වෙලාවත් ඔහුට අර තරුණිය අවනත වුණොත් අනෙක් අය කියන්නේ “වයසක මිනිහෙකුටවත් ඉන්න දෙන්න බැරි තරම් පුදුම ගායක් ඒ ගෑනිට නම් තියෙන්නේ. අර තාපසයෙක් වගේ ඉන්න මිනිහවත් වරදට පොළඹවා ගත්තා” වැනි දේවලුයි. ඒ තරුණිය ඔහුට අවනත වුණේ නැත්නම් තමාගේ පරාජය නිසා ඇති වූ ලැජ්ජාව වසා ගන්න පිරිමියා කියන්නේ “ඒකී මේ වයසක මටවත් ඉන්න දෙන්නේ නැතුව මගේ පස්සෙන් එන්න පටන් ගත්තා” වැනි අහස පොළොව නුහුලන කතාවලුයි. මෙවැනි දෑ සම්බන්ධයෙන් හැම තැනකදීම ක්‍රියාත්මක වන්නේ පිරිමියාට වාසිදායක සමාජ මතයක්.
අවසානයේ මෙවැනි කාන්තාවන් මානසික ආබාධවලට වගේම කායික හේතු නොමැතිව මානසික බලපෑම මත හට ගන්නා කායික රෝගවලට (Psychosomatic Disorders) ගොදුරු වෙනවා. නිතර හැදෙන හිසරදය මෙලෙස මානසික පීඩාව නිසා බහුලව කාන්තාවන්ට වැළඳෙන රෝග තත්ත්වයක්. මානසික බලපෑම මත හටගන්නා බැවින් මේවාට කායික වෛද්‍ය ප්‍රතිකාර කළාට සුව වන්නෙත් නෑ. මූලික හේතුව ඉවත් නොකර කායිකව ප්‍රතිකාර කිරීමෙන් පමණක් මේ රෝග සුවකළ නොහැකියි. අන්තිමේ මේ මානසික පීඩාවන් නිසා අධි රුධිර පීඩනය වැනි රෝගද කාන්තාවන්ට පහසුවෙන් වැළඳෙනවා.
කාන්තාව කියන්නේ මවක්. ඇයට මුළු පිරිමි සංහතියේම කරුණාව සහයෝගය ලැබිය යුතුයි කියන ආකල්පය සමාජය තුළ ඇති වෙන තාක්කල්ම මේ පීඩාවලින් කාන්තාවන්ට මිදීම අපහසු වේවි. එය ඉතාම ඛේදජනක තත්ත්වයක්.

කොළඹ විශ්ව විද්‍යාලයීය
සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ජගත් වැල්ලවත්ත

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>