TT Ads

තංගල්ල මූලික රෝහලේ
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය
හිරෝමල් ද සිල්වා

 

ළමා වයස පසුකර ක්‍රමයෙන් නව යොවුන් වියට එළැඹෙන දරුවන් සම්බන්ධයෙන් සමාජය විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු යුගයක් එළඹ තිබේ. මෙම වයස්වල පසුවන දරුවන් සිටින පවුල්වල වැඩහිටියන් දරුවන්ගේ මේ සංක්‍රාන්ති අවධිය ගැන දැනුවත්ව සිටිය යුතුමය. වයස අවුරුදු 12-14 පමණ වන විට පිරිමි දරුවන්ගේ සේම ගැහැනු දරුවන්ගේද, ද්විතීයික ලිංගික ලක්ෂණ පහල වීම ආරම්භ වෙයි. ලිංගික ප්‍රදේශවල වෙනස්කම්, ශරීර හැඩයේ, කටහඬ, සිතන පතන ආකාරයේ වෙනස්කම් බොහොමයකට ඔබේ දරුවන් යොමුවන සමයකි මේ. ශරීරගත හෝමෝන මට්ටම් වල සිදුවන තීව්ර වෙනස්වීම් හේතුකරගෙන සිදුවන මේ ශාරීරික වෙනස්කම් සේම පිටතට නොපෙනෙන මානසික වෙනස්කම්ද බොහොමයක් මේ කාලයේදී සිදු වෙයි. දරුවන් ලෙස කල්ගත කරමින් සිට නව යෞවනයට එළැඹෙන මායිමේ ගතවන කාලපරාසය මේ දරුවන්ට දරා ගැනීමට අසීරු තරමේ වෙනස්කමකි. යොවුන් වියට එළැඹෙන බිහිදොරින් ඇතුළු වන්නට, ගත සිත කරන බලපෑම් හමුවේ අමුතුම චකිතයක් දැනීම මේ කාලයේදී මේ දරුවන්ට අත්විඳින්නට සිදු වෙයි. එය ඔබ මා සිතනවාට වඩා ව්‍යාකූල තත්ත්වයකි.

තම ශරීරයේ සිදුවන සුළු වෙනස්කමක් පවා මහා පෙරළියක් සේ දැකීම, මේ දරුවන් තුළ දැකිය හැකි ලක්ෂණයකි. තම ශරීරයේ මුහුණේ මතුවන කැළලක්, කුරුලෑවක්, අවපැහැවීමක් පවා විශාල ගැටලුවක් ලෙස භාර ගන්නට මේ දරුවන් උත්සාහ කරන්නේ මේ ශාරීරිකව සිදුවන හෝමෝන වෙනස නිසාය. විශේෂයෙන් ඔවුනට තම රූප සොබාව ගැන, බොහෝ ගැටලු මතු කරන සමයක් ලෙස මේ කාලය හඳුනා ගත හැකිය. මේ නව යෞවනයේ පසුවන දරුවන් නිතර දෙවේලේ කැඩපත හා කරන ගනුදෙනු වැඩි වන්නේද ඒ නිසාමය. ජීවිතය, අනාගතය ගැන කුතුහලයෙන් පිරි කාලයක් බැවින් අලුත් අත්හදා බැලීම් වලට යොමු වීමේ වැඩි ප්‍රවණතාද දැකිය හැක. යෞවනත්වයේ සලකුණු උරුම වුවද, මොළය සම්පූර්ණයෙන් වැඩී නොමැති නිසා ඔවුන් හා කටයුතු කිරීමේදී ඉතා සීරුමාරුවෙන් වැඩිහිටියන් හැසිරිය යුතුමය.

මේ කාල වකවානුවේ පසුවන දරුවන් තුළ තමන්ගේ රූප සම්පත්තිය ගැන මතුවන ගැටලු වලට පිළිතුරු සොයාදීමේ මාහැඟි භාරදූර කාර්යයද දැනුමක් ඇති වැඩිහිටියන් විසින්ම කළ යුතුය. එසේ නොමැති වුවහොත් ඔවුන් තම යහළු යෙහෙළියන්ගෙන් හෝ කිසියම් මාධ්‍යයක් හරහා හෝ ලැබෙන නිවැරදි නොවන ප්‍රතිකර්ම වලට යොමු විය හැකිය. විශේෂයෙන් නව යොවුන් වියේදී සමේ මුහුණේ මතුවන ගැටලු බොහොමයකට නිවැරදි ප්‍රතිකාර විධි නොලබා තරුණ, වැඩිහිටි වයස් වලදී ගැටලු ව්‍යාකූල වන තත්ත්වයන්ද ඉතා සුලභව දැකිය හැක්කකි. හෝමෝන වෙනස්වීම නිසාම තරමක ආවේගශීලී ගති ලක්ෂණ මේ අය තුළ දැකිය හැකිවේ. එබැවින් මේ ගැටලු වලට පිළියම් සෙවීම සේම ඒවා මේ දරුවන්ට ඒත්තු ගැන්වීමද කළ යුත්තේ උපක්‍රමශීලීවමය.
මේ වයසේ පසුවන දරුවන් පාසල් දරුවන් වීම නිසාම මතුව තිබෙන ගැටලුද රැසකි. මේ කාලසීමාවේද අධ්‍යාපන කටයුතු නිසා සිතට දැනෙන ආතති තත්ත්වද මෙම ගැටලු වැඩි කිරීමට හේතුවෙයි.

මේ කාලයේ සමේ, හිසකෙස් වල සිදුවන වෙනස්කම් දරුවන් තුළ මානසික ආතති තත්ත්ව මතු කිරීමට පවා හේතු විය හැකිය. එබැවින් සමේ අවපැහැවීම් “සුදුවීම”ම ලස්සන යැයි මේ දරුවන් තුළ තිබෙන සිතුවිලි වලට හේතු කවරේදැයි විමසිලිමත්ව ඒවාට නිවැරදි ප්‍රතිකර්ම හඳුන්වාදීමද මව්පිය වැඩිහිටියන් සතු කාර්යයකි. විශේෂයෙන් මේ වයස්වල දරුවන්ට බොහෝ පෝෂණ ගැටලු තිබෙන්නට පුළුවන. පාසල් අධ්‍යාපනය, අමතර පන්ති, විභාග ආතති වැනි හේතු නිසා නිසි පෝෂණයක් නොලැබීමේ අවස්ථා මතු වන්නට පුළුවන. එසේම ක්ෂණික ආහාර වර්ග නිතරම ලබා ගැනීමද තරබාරු වී සමේ ගැටලු මතුකරවීමට හේතු විය හැකිය. දරුවා කිසියම් පෝෂණ ඌනතාවයකට ගොදුරු වී ඇත්නම්, ඒ ගැන අවධානයෙන් කටයුතු කිරීමද අතිශයින් වැදගත්ය. මන්ද එය දරුවාගේ අධ්‍යාපනයට සේම මුළු අනාගතයටම අහිතකර ප්‍රතිඵල රැගෙන එන්නට හේතුවක් විය හැකි බැවිනි.

නිර්මලා කුමාරි සේනාරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>