TT Ads

 

පබිලිස් සිල්වා යන නම අද වන විට මෙරට පමණක් නොව එතෙරටද පැතිර ගොස් තිබෙන්නේ ඔහු හෙළ සූපවේදයේ විප්ලවීය වෙනසක් ඇති කළ ප්‍රවීණ සූපවේදියෙකු වන නිසාය. කෙසේවතුදු, එකී කීර්තිය අත්පත් කර ගැනීම දක්වා ඔහු ආ ගමන් මග රෝසමල් අතුරා තිබූ එකක් නොවේ. එම ගමනේදී ඔහු අසලම හිඳිමින් ඊට ශක්තිය ලබා දුන්නේ ඔහුගේ දයාබර බිරිඳ වන විමලා රාජකරුණාය. මේ සිය ආදරණීය සැමියා සහ හැට වසරකට අධික කාලයක් වන යුගදිවි ගමන ගැන ඇය කියන කතාවය.

 සූපවේදයෙන් අද රටම දන්නා හඳුන පබිලිස් සිල්වා, විවාහ වෙන කාලේ මොනවගේ  කෙනෙක්ද?
ඒ කාලේ එයා ගමේ හැදුණු වැඩුණු බොහෙම සාමාන්‍ය තරුණයෙක් . එයා මේ වගේ ප්‍රසිද්ධියක් ලබාවි කියලා ඒ කාලේ මට හීනෙකින්වත් හිතිලා තිබුණේ නැහැ.
 ඒ සාමාන්‍ය  තරුණයාගේ බිරිඳ වෙන්න ඔබ එදා කැමති වුණේ ඇයි?
අපි දෙදෙනාම ඉපදුනේ සහ හැදුනේ වැඩුනේ එකම ගමේ. ඒ ගාල්ලේ, රත්ගම. අපි පොඩි කාලේ ගියෙත් එකම ඉස්කෝලෙකට. ඉතින්, ඒ දැන හැඳුනුම්කම මත තමයි අපේ විවාහය සිද්ධ වුණේ.

ඒ කියන්නේ ඒ විවාහය සිදු වුණේ ප්‍රේම සම්බන්ධයකින්ද?
එහෙමම කියන්නත් බැහැ. එයාගේ තාත්තා තමයි අපි දෙන්නා විවාහ කර දෙන්න ගොඩක්ම උනන්දු වුණේ. අපේ පවුල්වල සමහරුන්ගෙන් නම් මුලදී විවාහයට යම් යම් විරෝධතාත් එල්ල වුණා. හැබැයි පොඩි කාලේ ඉඳන්ම දන්නා හඳුනන කෙනෙක් නිසා මම එයාට අකමැති වෙන්න තරම් හේතුවක් මට තිබුණේ නැහැ.

එදා ඇරඹු යුගදිවි ගමනට දැන් දශක හයකටත් වැඩි කාලයක් ගත වෙලා නේද?
අනේ ඔව්. හරියටම කියනවා නම් අවුරුදු 63ක් වෙනවා. දැන් එයාගේ වයස අවුරුදු 83යි. මට 81යි.

විවාහ වුණ මුල් කාලේ ඔබ දෙදෙනාගේ ජීවිතය ගත වුණේ කොහොමද?
අපි විවාහවෙද්දී එයාට අවුරුදු 20ක් විතර ඇති. ඒ කාලේ එයා ස්ථිරව කියලා කිසිම රැකියාවක් කළේ නැහැ. පවුලේ අයත් එක්ක එකතු වෙලා පොඩි පොඩි වෙළහෙළඳාම් කළා. කුලී වැඩ එහෙමත් කළා. හැබැයි ස්ථිර රැකියාවක් නොතිබුණා කියලා ලොකු ගැටලුවක් ඒ කාලේ අපට තිබුණෙත් නැහැ. මොකද, ඒ කාලේ බෙහොම සරලව තමයි හැමෝම ජීවත් වුණේ.

ඒ කාලෙත් ඔහුට හොඳට උයන්න පිහන්න එහෙම පුළුවන්කම තිබුණාද?
අපොයි නැහැ. ඒ හැමදේම එයා ඉගෙන ගත්තේ හෝටලයේ රැකියාවට ගියාට පස්සෙයි.

ඔහුගේ ජීවිතය වෙනස් කළ ඒ රැකියාව ඔහුට ලැබුණේ කොහොමද?
ඒ කාලේ අපේ අයියා කෙනෙක් ගල්කිස්ස මහ හෝටලයේ වැඩ කළා. ඔහු තමයි ඒ හෝටලයේ කම්කරු රැකියාවක් සඳහා මහත්තයාව යොමු කළේ. ළිපට ගල් අඟුරු අදින එක තමයි ඔහුට පැවරිලා තිබුණු රාජකාරිය වුණේ.

පබ්ලිස් සිල්වා කියන සූපවේදියා ගැන හැමෝම කතා බහ කරන්න පටන් ගත්තේ කොයි කාලයේදීද?
රැකියාවට ගිහින් අවුරුදු 20ක් විතර ගත වෙද්දියි එයා හෝටලයේදී ඉවුම් පිහුම් ගැන පර්යේෂණ කරමින් ටික ටික ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ. ඒ හැමදෙයක්ම එයා ඉගෙන ගත්තේ තමන්ගේම උත්සාහයෙන්.

ඉවුම් පිහුම් ගැන ඔහු ඔබෙන් ඒ කාලේ ගුරුහරුකම් ලබා ගත්තේ නැද්ද?
අපිට පුතාලා දෙන්නෙක් සහ දුවෙක්න්වා. මේ කියනා කාලය වෙද්දී ලොකු පුතා සහ දුව ලොකුයි. ඉතින් අපි හැමෝම එකතුවෙලා එයාට උපරිම සහයෝගයක් ලබා දුන්නා. සමහර සිංහල කෑම ජාති හදන හැටි එහෙම කියලා දුන්නා.

රටේ ජනප්‍රිය චරිතයක බවට පත්වෙද්දී ඔහුට දරු පවුල වෙනුවෙන් වෙන් කරන්න තරම් කාලයක් තිබුණාද?
එයා හැමදාමත් ජීවිතයේ මුල් තැන දුන්නේ රැකියාවටයි. ඉස්සර රස්සාවට ගිහින් මාස දෙක තුනට සැරයක් තමයි ගෙදර එන්නේ. කොළඹ පදිංචියට ආවාට පස්සේ උදේ පහමාරට රැකියාවට පිටත් වෙන්න පටන් ගත්තා. හැබැයි එන්නේ හොඳටම රෑ වෙලා. අදටත් එයා උදේ පහමාරට ගෙදරින් පිට වෙනවා. අපට සැපපහසු ජීවිතයක් ලබාදෙන්න තමයි ඔහු ඒ තරම් වෙහෙස මහන්සි වුණේ. ඉතින් දරුවෝ ටිකත් බලා කියාගෙන මම ඔහුගේ වැඩ කටයුතු වලට අවශ්‍ය උපරිම සහයෝගය හැමදාමත් ලබා දුන්නා.

ගෙදර ඉන්නා වෙලාට ඔහුගේ අතින් පිළියෙල වන රසවත් කෑමබීම ඔබට රස විඳින්න ලැබෙනවා ඇති නේද?
අපොයි නැහැ. ගෙදරදි එයා ඉවුම් පිහුම් වැඩ කරන්නේ නැහැ. එයා අදටත් උදේ දෙකට තුනට අවදි වෙනවා. ඒ අවදි වුණාම මටත් තේ කෝප්පයක් හදලා දෙනවා. ඒ ඇරුණාම, ගෙදර ඉන්නා වෙලාවට මහත්තයා කන්නේ බොන්නේ මගේ අතින් උයන පිහන කෑම බීම තමයි.

පබිලිස් සිල්වා නම් වූ සුප්‍රකට සූපවේදියාගේ ජීවිතයේ සිදුවූ පෙරළියට දිරිදුන් ජීවන සහකාරිය විදිහට ඔහු අද ඉන්න තැන ගැන ඔබට මොනවද හිතෙන්නේ?
ඒ ගැන මේ ලෝකේ මා තරම් සතුටු වෙන වෙන කෙනෙක් නැතුව ඇති.

කිෂාන් කනංකෙ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>