TT Ads

සුවඳ විලවුන් භාවිතය මුළු ලෝකය පුරාම ප්‍රචලිත වී තිබෙන දෙයක්. බොහොමයක් දෙනා විලවුන් භාවිතකළාට තමන්ට සුදුසු විලවුන් වර්ගය තෝරා ගන්න දන්නේ නෑ. ප්‍රවීණ ඉන්දියානු රූපලාවන්‍ය ශිල්පිනියක් වන අධූනා හබානි අක්තාර් සුවඳ විලවුන් තෝරා ගන්න කලින් සලකා බැලිය යුතු කාරණා කිහිපයක් පිළිබඳව මේ විදියට කරුණු දක්වා තිබුණා.

ගල්වන වේලාව

සුවඳ විලවුන් වර්ග තෝරා ගන්න කොට එය ගල්වන වෙලාව අනුව වෙනස් සුවඳවලින් යුක්ත වෙන්න ඕනේ. උදාහරණයක් විදියට දිවා කාලයේ ගල්වන සුවඳ විලවුන් තද හෝ සැර සුවඳකින් යුතු විය යුතු නැහැ. බොහොම චාම් සුවඳක් ඒ කියන්නේ ළඟින් ඉන්න අයට යන්තමින් දැනෙන සුවඳක් වහනය වුණාම ඇති. ඒ නිසා දිවා කාලයට වඩාත්ම ගැළපෙන්නේ ෆ්ලෝරල් නමින් නිෂ්පාදනය වන මල් සුවඳ හමන සුවඳ විලවුන් වර්ගයි. උදාහරණ විදියට ගාඩිනියා, ඬේසි, ලැවැන්ඩර්, කැම්ලියෝ, බාබටන්ස්, ඉංග්ලිෂ් රෝස්, ජැස්මින් වගේ මල් වර්ගවල සුවඳ වහනය වන සුවඳ විලවුන් වර්ග තෝරා ගන්න උත්සාහ කළ යුතුයි.
ඒ වගේම රාත්‍රී කාලයේ ගල්වන සුවඳ විලවුන්වල සුවඳ ටිකක් සැර වුණාට කමක් නැහැ. ඒ කියන්නේ තද සුවඳක් තිබීම වැදගත්. රාත්‍රී කාලයට ගැල්වීමට වඩාත්ම සුදුසු වෙන්නේ පලතුරු වර්ගවල සහ ශාකවල සුවඳ වහනය වන සුවඳ විලවුන් වර්ගයි. උදාහරණ විදියට ස්ට්‍රෝබෙරි, ඔරේන්ජ්, සැන්ඞ්ල් වුඞ්, ඇපල් වගේ විලවුන් වර්ග පාවිච්චි කිරීම තමයි සුදුසු වෙන්නේ.

ගැල් වූ පසු යන ස්ථාන

අනිත් කාරණය තමයි ඔබ සුවඳ විලවුන් ගල්වා ගෙන යන තැන ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ රැකියාවට යන තරුණියක් නම් අනිවාර්යයෙන්ම ඔබට ගල්වන්න වෙන්නේ සෞම්‍ය සුවඳක් තිබෙන විලවුන් වර්ගයක්. සැර සුවඳක් තියෙන විලවුන් වර්ග නිසා හිසරදය, කැරකිල්ල වගේ අසනීප පවා ඇති වෙන්න පුළුවන්. ඔබට විතරක් නෙවෙයි ඔබේ අවට ඉන්න අයටත් එහෙම වෙන්න බැරිකමක් නැහැ. ඒ නිසා දිනපතා දිවා කාලයේ රැකියාවට යන කෙනෙක් නම් ඔබට රැකියාවට යද්දී ගල්වන්න එක් විලවුන් වර්ගයකුත්, රාත්‍රී සාදවලට යද්දී ගල්වන්න තවත් විලවුන් වර්ගයකුත් විදියට සුවඳ විලවුන් වර්ග දෙකක් පාවිච්චි කළ යුතු වෙනවා.

ගල්වන ස්ථාන

අනිත් කාරණය තමයි විලවුන් ගල්වන ස්ථාන අනුවත් තෝරා, බේරා ගැනීමක් සිදු කළ යුතුයි. ඔබ පුරුද්දක් විදියට සුවඳ විලවුන් ගල්වන්නේ ඇඳුමේ අත් යට ප්‍රදේශවල නම් ඒ සඳහා යොදා ගත යුතු වන්නේ විලවුන් පැල්ලම රැඳෙන ආකාරයේ විලවුන් වර්ගයක් නෙවෙයි. ඒ කියන්නේ සමහර විලවුන් වර්ග ගැල්වුවාම ඒ පැල්ලම ඇඳුමේ වදිනවා. එය ඉවත් වෙන්නේ සේදුවට පස්සේ. ඉතිං එ වගේ විලවුන් ඔබ ගල්වන්න ඕනේ ඇඳුමේ වැදෙන්නේ නැති ප්‍රදේශවලයි. උදාහරණයක් විදියට මැණික් කටුව, වැලමිට වගේ ප්‍රදේශවල. කොහොම වුණත් තත්ත්වයෙන් උසස් සුවඳ විලවුන් වර්ග නම් සාමාන්‍යයෙන් ස්ප්‍රේ කරපු ගමන්ම පැල්ලම පෙනුණත් විනාඩියක් දෙකක් යද්දී පැල්ලම නැති වෙලා යන විදියට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ.

කාලගුණික තත්ත්වය

කාලගුණික තත්ත්වය අනුවත් ඔබ ගල්වන විලවුන් වර්ග වෙනස් වෙන්න ඕනේ. තද අව්ව තියෙන දවස්වලට දහඩිය දැමීම වැඩියි. ඒ නිසා ටිකක් සුවඳවත් විලවුන් වර්ගයක් පාවිච්චි කිරීම වැදගත්. නමුත් මේ වගේ දවස්වලට ඒ කියන්නේ අවුරුද්දේ අන්තිම කාලෙට අව්ව අඩු වෙමින් සීතල සුළං හමන්න පටන් ගන්නවා. ඒ නිසා පරිසරය සීතලයි. ඒ වගේ කාලෙට සාමාන්‍ය මෘදු සුවඳක් සහිත සුවඳ විලවුන් වර්ගයක් පාවිච්චි කිරීම ප්‍රමාණවත්.

ප්‍රතිභා රත්නසූරිය

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>