TT Ads

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හොඳින් වතුර පානය කරන්න” යන්න ඔබ කොතෙකුත් අසා ඇති කතාවකි. එහෙත් සමහර ක්‍රියාවන්ට පෙරාතුව, පසුව මෙන්ම එහි නියැළෙන අතර තුරදීද වතුර පානය කිරීම එම සෞඛ්‍ය සම්පන්න බව නැතිකර දමන්නට හේතුවන අවස්ථාද වේ. එබඳු වතුර පානය කිරීම හිතකර නොවන අවස්ථා සහ එවිට අපේ ශරීරය තුළ සිදුවන්නේ කුමක්ද යන්න අපි විමසා බලමු.

ආහාර ගන්නා අතරතුර වතුර බීම
ආහාර ගන්නා අතරතුර වරින්වර වතුර බිබී ආහාර ගන්නට පුරුදු වී සිටින අය අප අතර කොතෙකුත් සිටිති. එහෙත් එය හොඳ පුරුද්දක් නම් නොවේ. ආහාර අනුභව කරන විට ආහාර ජීර්ණ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය විවිධ වූ එන්සයිම වර්ග මුඛය තුළ නිපදවෙන අතර ආහාර ගන්නා අතරතුර ජලය පානය කරන විටදී එම එන්සයිමයන්හි ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු නොවේ. එවිට ආහාර ජීර්ණ ක්‍රියාවලියද නියම ආකාරයෙන් සිදු වන්නේ නැත. එය යම් යම් අජීර්ණ තත්ත්වයන් ඇතිකර වන්නටද හේතු වන අවස්ථා තිබේ. ආහාර ගන්නා අතරතුර ඔබ අයිස්වතුර බොන්නට පුරුදු වී ඇති නම් එහි අහිතකර බව ඊට වඩා වැඩි බව අවධාරණය කළ යුතු වේ.

රාත්‍රී නින්දට පෙර වතුර බීම
වකුගඩුවල ක්‍රියාකාරීත්වය දහවල් කාලයට සාපේක්‍ෂව රාත්‍රී කාලයේදී අඩුය. දිගු රාත්‍රී නින්දකට පසුව උදෑසන අවදිවන විටදී බොහෝ අයගේ මුහුණු තඩිස්සී වූ ආකාරයක් දිස්වන්නට හේතුව එයයි. රාත්‍රී නින්දට පෙරාතුව වතුර වැඩිපුර පානය කළ විට මෙම ස්වභාවය වඩා වැඩිපුර ඉස්මතු වේ.
තවත් පැත්තකින් රාත්‍රී නින්දට පෙරාතුව වතුර පානය කිරීම නින්දට බාධා පමුණුවමින් මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවන්ද ඇති කරවයි. එය සුවබර නින්දක් ඔබට අහිමි කරවයි.

දැවිල්ල නැතිකර ගන්නට වතුර බීම
මිරිස් වැනි සැර අධික ආහාරයක් ගත් විට දැනෙන බඩ පපුව දැවිල්ල නැති කර ගන්නට යැයි කියා අපි කවුරුත් වැඩි වැඩියෙන් වතුර බීමට පෙළඹී සිටිමු.
එහෙත් එවිට ජලයේ ස්වභාවය හේතුවෙන් සිදුවන්නේ එම දැවිල්ල අඩුවනවා නොව තව තවත් වැඩි වීමයි. එබඳු සැර ආහාරයකට පසුව හට ගන්නා බඩ පපුව දැවිල්ලට කිරි වැනි නිර්ධ්‍රැවීය පානයක් මිස වරින්වර වතුර බීම සුදුසු නොවේ.

අධිකව සිරුර වෙහෙසන විට වතුර බීම
ව්‍යායාම, ක්‍රීඩා හෝ වෙනත් සිරුර වෙහෙස කරවන ක්‍රියාවන්හි නියැලෙන විටදී අධික පිපාසයක් දැනීම ස්වභාවිකයි. කය වෙහෙසවන එබඳු ක්‍රියාවන්හිදී සිරුරේ උෂ්ණත්වයද දැඩි සේ ඉහළ නැංවෙන අතර එවිට හට ගන්නා පිපාසය සංසිඳවා ගන්නට වැඩි වැඩියෙන් වතුර බීම නම් කිසිසේත් සුදුසු නොවේ. එය හිසරදය, වමනය, කරකැවිල්ල වැනි අපහසුතාවයන් පමණක් නොව හදවත් රෝගවලින් පෙළෙන්නෙකුට හදිසි හෘදයාබාධයක් වුව හට ගන්නට හේතු විය හැකි බව අවධාරණය කළ යුතුය.

උත්පලා සුභාෂිණී ජයසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>