TT Ads

පාසල් යන දරුවෝ විෂය කරුණු මතක තබා ගැනීමේ උපක්‍රමයක් ලෙස භාවනා කරති. අධිරුධිර පීඩනය, හෘද රෝග ආදියෙන් පෙළෙන වැඩිහිටි රෝගීන්ට ද භාවනා කිරීම ඉතා යහපත් දෙයක් ලෙස වෛද්‍යවරු පවා උපදෙස් දෙති. තවත් අය තමන්ගේ යම් යම් පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීම සඳහාත් භාවනාවෙහි යෙදෙනු දක්නට ලැබේ.
මේ අනුව බලන විට භාවනාවෙහි යෙදෙන හැම දෙනාටම ඇත්තේ, ඒ හා බැඳුණු බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවන්ය. එයින් පැහැදිලි වන්නේ, භාවනා කරන බොහෝ දෙනා එහි මූලික හරය හඳුනා ගෙන නැති බවයි.
බෞද්ධ භාවනාවේ මූලික හරය කුමක්ද? ඒවා නම් සිත පිරිසිදු කිරීම, ශෝක පරිදේවයන් දුරු කිරීම, සත්‍ය අවබෝධය සහ ඉහත කී සියල්ලෙහි අවසන් ප්‍රතිඵලය වන නිවන සාක්‍ෂාත් කර ගැනීමය.
නමුත් නිවන සාක්‍ෂාත් කර ගැනීම පසෙකලා බොහෝ දෙනෙකු භාවනා කරන්නේ ඉහත කී පරිදි ලෞකික පරමාර්ථ මුදුන්පත් කර ගැනීම උදෙසාය. සුළු මානසික කම්පනයක් ඇති වුවත් ඉන් මිදීම සඳහා බොහෝ දෙනා භාවනා කරන්නට පෙළඹෙන්නේ මේ නිසාය.
එක අතකට මෙහි වරදක් නැත. නමුත් ඒ වෙනුවෙන්ම සිතා භාවනා කරන්නට අවශ්‍ය වන්නේද නැත. මෙය තවත් පැහැදිලි කර ගන්නට අපි උදාහරණයක් ගනිමු. බත් පිඟානක් කන තැනැත්තෙකු “මගේ කුස පිරේවා පිරේවා” ආදී වශයෙන් ප්‍රාර්ථනා කිරීම අවශ්‍ය නොවේ. ඔහු බත් කන නිසා එසේ ප්‍රාර්ථනා කළත් නැතත් කුස පිරීම සිදුවෙයි. එමෙන්ම භාවනාව නිසි ලෙස කරන විට යහපත් ප්‍රතිඵල ඉබේම අත්වනු ඇත.
සිත පිරිසිදු වීම, ලෙඩ රෝග සුවවීම, විභාග සමත් වීම සඳහා මනස නිරවුල්ව පවත්වා ගැනීම, පෞරුෂ වර්ධනය, එදිනෙදා ජීවිතයේ දියුණුව සැනසුම යන මේ ඕනෑම දෙයක් වෙනුවෙන් භාවනා කිරීම සෘජුව ප්‍රතික්‍ෂේප කළ නොහැකි වන්නේ භාවනාවෙන් කුසල සිතිවිලි වැඩෙන නිසාය. නමුත් ලෞකික ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් පමණක් කරන භාවනාව බුදු දහමින් අනුමත නොවේ. ඊට හේතුව, එමගින් තන්හාව වැඩි වීමය. නිදසුනක් ලෙස ඔබ රූමත් වන්නට සිතා ගෙන දිනපතා භාවනාවේ යෙදෙන්නේ යැයි සිතමු. එයින් සිදුවන්නේ, ලස්සන වීමේ ඇල්ම දවසින් දවසම ඔබ තුළ වැඩි වීමය. එසේම, ඔබ බලාපොරොත්තු වන කාලසීමාවේදී ඔබ ලස්සන නොවුණොත් ඔබ තුළ ඉතිරි වන්නේ දුක, කළකිරීම හා පසුතැවිල්ලයි. භාවනාවේ අදහස ලස්සන වීම නිසා, එතැන ඇත්තේ ආශාව නමැති අකුසල සිතිවිල්ලයි. එවිට භාවනාවෙන් නිසි ප්‍රතිඵල ලැබීම අසීරු වෙයි.
පාඩම් මතක තබා ගැනීමේ අරමුණින් භාවනා කිරීමත් මෙවැන්නකි. එහිදී භාවනා කරන්නේ එමගින් බලාපොරොත්තු වන ප්‍රතිඵලය කෙරෙහිම සිත දැඩිව බැඳ තබමිනි. ඒ අනුව ලෝභ ආදී අකුසල කර්ම වැඩීම නොවැළැක්විය හැකිය. මෙහිදී මතකය වැඩි දියුණු කර ගන්නට භාවනා කිරීම වරදක් දැයි කෙනෙකුට විමසන්නට පුළුවන. එහි වරදක් නැත. නමුත් අරමුණ විය යුත්තේ පාඩම් මතක තබා ගැනීම නොව, සිත පිරිසිදු වීමය. එලෙස සිතා භාවනා වැඩිය යුතුය. සිත පිරිසිදු වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉබේම මතක ශක්තිය දියුණු වනු ඇත.
රුධිර පීඩනය ආදී රෝග නිවාරණය වන්නට භාවනාවෙන් ලොකු පිටිවහලක් සැලසෙන බව ලෝකය පුරා දැන් පිළිගෙන තිබේ. භාවනාවෙන් සිදුවන්නේ සිත පිරිසිදු වීමය. එවිට ලේ ධාතුව ද පිරිසිදු වේ. ලේ ධාතුව පිරිසිදු වනවිට ප්‍රතිශක්තිකරණය වැඩි වනු ඇත. ප්‍රතිශක්තිකරණය වැඩි වීම තුළින් රෝගවල ශක්තිය හීන වෙයි. භාවනාව ලෙඩ සුවකරන ප්‍රබල ඖෂධයක් බඳු වුවත් බුදුරජාණන් වහන්සේ අගය කළේ භාවනාවෙන් මනස ලෙඩ කරන රෝගකාරක විෂබීජ වන කෙලෙස් දුරු කරගැනීමය. ලෝභ, ද්වේෂ, මෝහ වැනි කෙලෙස්වලින් පිරුණු විට රෝගී වන්නේ ඉබේමය. මේ රෝග කාරක විෂබීජ පළවා හැරියොත් බොහෝ රෝගවලින් මිදීමේ හැකියාව ලැබේ.

රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති,
පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණෝ අවධාරණය කරති

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>