TT Ads

 

අපි සිතනවාටත් වඩා අපේ සිරුර පුදුමාකාරයි. වැඩිදෙනෙක් නොදන්නවා වුණාට සිරුරේ සමබරතාව රැකගනිමින්, තමන් විසින්ම තමාව සුවකර ගැනීමේ අපූර්ව හැකියාවක් අපේ සිරුරට තිබෙනවා. ඒ සිරුරේ ස්වභාවිකවම පිහිටලා තිබෙන ගතික ශක්තින්වල ආධාරයෙන්. විශේෂයෙන්ම සාම්ප්‍රදායික චීන ප්‍රතිකාර ක්‍රමය තුළදී ‘චී’ යනුවෙන් හැඳින්වෙන, සිරුරේ නිරෝගි පැවැත්මට ඉවහල්වෙන මෙම ධනාත්මක ශක්ති ධාරාවන් උත්තේජනය කිරීම මගින් රෝග රැසකට සහනය ගෙනදීමක් සිදුවෙනවා. මේ ‘චී’ ශක්තිය උත්තේජනය සඳහා යොදාගන්නා එක් චිකිත්සාවක් තමයි ‘ගුවාෂා’ සත්කාරය කියන්නේ. මෙහිදී සිදුවෙන්නේ පැතලි කාඞ්බෝඞ් කැබැල්ලක ස්වභාවයෙන් යුතු මෙවලමක් ආධාරයෙන් සිරුරේ නොයෙකුත් ස්ථාන මතට යම්කිසි පීඩනයක් යොදමින් සීරිම මගින්, ගලායාම අවහිරවී ඇති ‘චී’ ශක්ති ධාරාවන් යළි පණගැන්වීමක්. මින් සිරුරේ නිරෝගිකම රැකෙනවා විතරක් නෙවෙයි රූ සපුව සුන්දරවීමකුත් සිදුවෙනවා. රුව රැකගැනීම සඳහා මුහුණට සිදුකරන ‘ගුවාෂා ෆේෂල්’ සත්කාරය අද වන විට බටහිර රටවල ඉතාම ජනප්‍රිය රූපලාවන්‍ය සත්කාරයක්. දැන් දැන් මෙය ලංකාවේත් ක්‍රමයෙන් ප්‍රචලිත වෙමින් තිබෙනවා.
ගුවාෂා චිකිත්සාවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද ? පවතින රෝගී තත්ත්වය අනුව ගුවාෂා සත්කාර ලබාදෙන සිරුරේ ස්ථානත්, ලැබෙන ප්‍රතිඵලයත් වෙනස් වෙනවා. අක්මාවේ ප්‍රදාහ තත්ත්ව, මිග්රේන්, ටූරට් නැමැති ස්නායු රෝගී තත්ත්වය වගේම කාන්තාවන්ගේ ආර්තවහරණයට පෙර ඇතිවන අසහනකාරී තත්ත්ව මඟහරවා ගැනීමටත් ගුවාෂා සත්කාරය සාර්ථකව භාවිතා කෙරෙනවා. සිරුරේ විවිධ ස්ථානවල ඇතිවන දීර්ඝකාලීනව පවතින වේදනා සමනය කරන්නත් ගුවාෂා චිකිත්සාවට පුදුමාකාර හැකියාවක් තිබෙනවා. ගුවාෂා ෆේෂල් සත්කාරය මගින් මුහුණේ රුධිර ගමනාගමනය ක්‍රමවත් වීමකුත් සිදුවෙන නිසා තරුණ පෙනුම රැකදීමටත් එය ඉවහල් වෙනවා.
ගුවාෂා මෙවලමක් තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගුවාෂා මෙවලම මගින් සිරුර හෝ මුහුණ සීරීමේදි ඇතිවන ඝර්ෂණය තුළින් අතිධ්වනි කම්පන නිපදවීමක් සිදුවෙනවා. එහෙම නිපදවෙන කම්පනවල තීව්‍රතාව හා සංඛ්‍යාතය තීරණය වෙන්නේ ඒ සඳහා යොදාගන්නා මෙවලමේ ස්වභාවය අනුවයි. හොඳම ප්‍රතිඵල ලබාගන්න පුලු‍වන් වෙන්නේ කම්පනවල තීව්‍රතාව හා සංඛ්‍යාතය ඉහළ ගිය තරමටයි. මොකද එතකොට උත්පාදනය වෙන අනුනාදයත් ඉහළ යන නිසා. ඒ වගේම සිරුර මත යෙදෙන පීඩනයත් ලැබෙන ප්‍රතිඵල කෙරෙහි සෘජුවම බලපෑම් කරන නිසා වැඩි පීඩනයක් යෙදිය හැකි, වැඩි බරකින් යුතු මෙවලමක් තෝරාගන්නත් සැලකිලිමත් විය යුතුයි. නමුත් මුහුණ සඳහා ඒතරම් ලොකු පීඩනයක් යෙදීමක් අවශ්‍ය නොවන නිසා සැහැල්ලු‍ මෙවලක් භාවිතා කරන්න පුලු‍වන්. ඔබේ අවශ්‍යතාවය හා පහසුව අනුවයි මෙය තීරණය කරන්න වෙන්නේ. ඒ වගේම දීර්ඝ කාලයක් භාවිතා කෙරෙන නිසා කල්පවතින නිමාවෙන් යුතු මෙවලමක් වීමත් වැදගත්.
ගුවාෂා මෙවලම් වර්ග ‘බයන්’ (ඊස්බ ීඑදබැ) යනුවෙන් හැඳින්වෙන විශේෂිත ගල් වර්ගයෙන් නිමවූ ගුවාෂා මෙවලම් තමයි අතිධ්වනි තරංග නිපදවීමේ වැඩිම හැකියාවෙන් යුතු මෙවලම් විදිහට සැලකෙන්නේ. ගුවාෂා සත්කාරයේ පුරෝගාමීන් වන ඉපැරණි චීන වෙදැදුරන් විසින් භාවිතා කළ ගුවාෂා මෙවලම් පවා තනා තිබුණේ මේ කියන පාෂාණ වර්ගයෙනුයි. නමුත් මේවා එතරම් සුලබව නැති නිසා ඊට බෙහෙවින් සමාන යැයි සැලකෙන මීහරක් අඟෙන් තැනූ ගුවාෂා මෙවලමක් වුණත් භාවිතා කළ හැකියි. සම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවට අනුව ‘කටුක ගුණාංගවලින්’ සමන්විත යැයි සැලකෙන මීහරක් අඟින් තැනු ගුවාෂා මෙවලම්වලින් සිදුකරන චිකිත්සාවේදි සිරුරේ ‘චී’ ශක්තියේ ගමනාග මනය ක්‍රමවත් කරමින්, හානිකර විෂ සංඝටක සිරුරින් ඉවත්කිරීමක් සිදුවන බව පිළිගැනෙනවා. මීට අමතරව ජේඞ්, රෝස තිරිවානා මෙන්ම මෑත භාගයේදී මල නොකන වානේවලින් තැනූ ගුවාෂා මෙවලම්ද භාවිතයට පැමිණ ඇති බවක් පෙනෙන්කට තිබෙනවා. ජේඞ් පාෂාණවල සිරුරේ ඇති ‘චී’ ශක්තියට බෙහෙවින් සමාන ශක්තියක් ගැබ්ව ඇති බවට විශ්වාසයක් චීන ජාතිකයන් අතර පවතින නිසා, සුවකිරීමේ හැකියාවැති පාෂාණ
විශේෂයක් ලෙසයි ජේඞ් සැලකෙන්නේ. රෝස තිරිවානා මගින් සිරුරේ ‘හෘද චක්‍රය’ විවෘත කිරීමක් සිදුවෙන බව විශ්වාස කෙරෙනවා. එමෙන්ම වානේවලින් තැනූ ගුවාෂා මෙවලම් යොදාගැනීම අතිශයින්ම ජනප්‍රියවෙලා තිබෙන්නේ ‘මෙවලම් ආධාරිත මෘදුපටක සංචලනය’ නැමැති ගුවාෂා චිකිත්සාව සඳහායි. මේ කියපු මෙවලම් තරම් සාර්ථක නොවුනත්, දැන් දැන් භාවිතයේ පහසුව නිසාවෙන් ප්ලාස්ටික් ගුවාෂා මෙවලම්ද කරළියට පැමිණිලා තියෙනවා.
කොහොමද මේ ගුවාෂා මෙවලමක් භාවිතා කරන්නේ ? නිවැරදි පිළිවෙළට සම්බාහන ක්‍රියාවලිය සිදුකිරීම මෙහිදී ඉතාම වැදගත් වෙනවා. මේ සඳහා මුලින්ම මුහුණ හොඳින් පිරිසිදු කොටගෙන, ක්‍රීම් හෝ ජෙල් වර්ගයක් ආලේපකර දෑතින් සම්බාහනය කරන්න. ඉන්පසුව ගුවාෂා මෙවලම මෘදු ලෙස, ‘තෙවන ඇස’ ලෙස හැඳින්වෙන ඇහිබැම දෙක අතර පිහිටි ප්‍රදේශයේ මැද සිට ඉහළට ගෙන යන්න. මෙය පස්වරක් කිරීමෙන් පසු නළල මැද සිට පටන්ගනිමින් කන් දෙක දක්වාත්, ඇහිබැමට යටින් පිහිටි අස්ථිමය ප්‍රදේශයත්, ඇස් යටත්, කම්මුල්, නිකට, මුව වටා පිහිටි ප්‍රදේශය, නිකට හා බෙල්ලත් මෙයාකාරයටම සම්බාහනය කළ යුතුයි. මේ සෑම සම්බාහනයක්ම අදාළ ප්‍රදේශයේ මැදින් පටන්ගෙන මුහුණෙන් ඉවතට ඇදී යන ආකාරයටයි සිදුකල යුත්තේ. සෑම සම්බහානයක්ම පස්වාරයක් බැගින් සිදුකිරීම ප්‍රමාණවත්. මින් ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. 100% ක්ම ස්වභාවික චිකිත්සාවක් නිසා කිසිදු අතුරු ආබාධයක් ඇතිවෙන්නෙත් නැහැ.
රුක්ලන්ති පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>