TT Ads

 

මේ දිනවල ඔබට පුංචි තිරයේ ලැබිලා තියෙන ඉඩකඩ මොන වගේද?
මේ දවස්වල මම රඟපාන “ඇය” ටෙලිනාට්‍යය ස්ර්ණවාහිනියෙන් විකාශය වෙනවා. සමන් කුමාර ලියනගේගේ අධ්‍යක්ෂණයක්. එහි මම රඟපාන්නේ මුදල් පසුපසම හඹා යන, ටිකක් නපුරු වෛද්‍යවරියකගේ චරිතයක්.
“ඇය” ටෙලි නාට්‍යයේ රූ ගත කිරීම් වලට සම්බන්ධවෙන අතරතුරේ, සුදන්ත තිලකසිරිගේ “ටවුම” කියන ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායක වෙනවා.

 අශිකා කියන්නේ රඟපෑමේදී බොහොම සීරුවෙන් චරිත තෝරා බේරා ගන්න රංගන ශිල්පිනියක් කියලා කීවොත් නිවැරදිද?
මම රඟපෑමට ඇවිත් දැන් අවුරුදු 15ක් විතර වෙනවා. ඒ කාලය තුළදි ප්‍රේක්ෂකයෝ මාව විවිධ විදිහේ චරිතවලින් දුටුවා. මොකද චරිතාංග නිළියක් විදහට, එකිනෙකට වෙනස් ආකාරයේ චරිත රඟපාන්න තමයි මම කැමති. එක් එක් චරිත වලට අපි හැඩ ගැහෙන්න ඕන කොහොමද කියන කාරණා ගැන අනෝජා වීරසිංහ මහත්මියගේ “අභිත” රංගන පාඨමාලාවෙන් මම හෙඳට හැදෑරුවා. ඒ නිසා මට ලැබෙන්නෙ මොන විදිහේ චරිතයක් වුනත් ඒ චරිතයේ ස්වභාවයට අනුව හැඩ ගැසෙන්න මට පුළුවන්. හැබැයි කොච්චර ආරාධනා ලැබුණත් මම එක්වරකට ටෙලි නාට්‍ය දෙකක විතර තමයි රඟපාන්නේ.

රඟපෑමේදී ඔබ කරන කැපවීමට මෙතෙක් ලැබී තිබෙන ඇගයීම් ගැන තෘප්තිමත් වෙන්න පුළවන්ද?
සම්මතයක් විදිහට ගත්තොත් මට ලැබිලා තියෙන ප්‍රේක්ෂක ඇඟයීම් සතුටුදායකයි කියලා මට හිතෙනවා. නමුත් සමහර අවස්ථා තියෙනවා සමහර චරිත වෙනුවෙන් මම කරපු කැපවීමේ තරමට ඒ සඳහා ප්‍රේක්ෂක ඇගැයුම් ප්‍රමාණවත් ලෙස නොලැබුණු ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ “හේඩි” ටෙලි නාට්‍යය එයින් එක් අවස්ථාවක්. මම කාලයක් අනුරාධපුරයෙයි පදිංචි වෙලා හිටියේ. ඒ කාලේ මට, මම රඟපාන චරිත ගැන පුවත්පත් ආදියෙන් ජනතාව දැනුම්වත් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මම හිතන්නේ මගේ ඒ චරිත ජනතාව අතරට වැඩිපුර නොයන්න ඒක හේතු වෙන්න ඇති?

 

ඔබත් තරගකාරිනියක් ලෙස සහභාගි වූ “Mrs. Sri Lanka” තරගයේ කිරුළ දිනාගත් කැරොලින් ජූරි පසුගියදා “ලෝක රූ රැජින” කිරුළත් ලංකාවට ගෙනැවිත් දුන්නා. ඇය වෙනුවෙන් “Sri Lanka” තරගයේදී ලැබුණු තීරණ ගැන ඔබට අද මොනවද හිතෙන්නේ?
“මිසිස් ශ්‍රී ලංකා” කිරුළ දිනා ගන්න ඕන කියලා ලොකු බලාපොරොත්තුවක් මගේ හිතෙත් නොතිබුණා කීවොත් ඒක වැරදයි. නමුත් අවසානයේ මට තෙවැනි ස්ථානය තමයි ලැබුණේ. ඒ තරගය ජයග්‍රහණය කරපු කැරොලයින් අපේ රටට ලෝක විවාහක රූ
රැජින කිරුළත් ගෙනාවා. ඒ ගැන මට හුඟක් සතුටුයි. ඇය කිරුළ දිනාගෙන ලංකාවට ආපු මොහොතේ මම ඇයට මගේ හදවතින්ම සුබ පතනවා. මම පිළි ගන්නවා කැරොලයින් මට වඩා දක්ෂයි කියලා ඒ විතරක් නෙවෙයි උසයි, ලස්සනයි, ඒ වගේම බුද්ධිමත්. මමත් දැන් ඇය වගේ මගේ දැනුම් වැඩි කරගන්න උත්සාහ කරනවා.

රංගන ශිල්පිනියන් කියන්නේ බොහෝ විට තමන්ගේ නිවසේ ඉවුම් පිහුම් ආදියට පවා දායක නොවන පිරිසක් කියලා මතයකුයි සමාජයේ සුලබව පැතිරිලා තියෙන්නේ. ඔබ සම්බන්ධයෙන් ගත්තොත් ඒ මතය නිවැරදිද?
මම පොඩි දරුවෝ තුන්දෙනෙකුගේ අම්මා කෙනෙක්. ඒ තුන්දෙනාගේ වැඩ කටයුතු මගේ අතින්ම තමයි කෙරෙන්නේ. ඒ අයගේ කෑම වේල පවා පිළියෙල වෙන්නේ මගේ අතින්. මොකද කඩවල්වල කෑම කාලා දරුවෝ අසනීප වුණොත් මට තවත් කරදර විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා පාන්දර 5ට ෂූටිං යන්න තිබුණොත් 3.30ට වත් ඇහැරිලා දරුවන්ගේ කෑම ටික හදලා තමයි මම ගෙදරින් එන්නේ.

ඒ විදිහට කප්පරක් තරම් වැඩ රාජකාරි ඉටු කරන්න තිබියදි ඒ වැඩ තත්පරෙන් නිම කරලා නිදහසක් ලබා ගත හැකි තරමට ඔබේ කාලය කළමනාකරණය කර ගන්න ඔබට පුළුවන්ද?
අපට යමක් කරන්න වුවමනාවක් තියෙනවා නම් ඒ දේ කරන එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. මට ඉන්නේ මාව හොඳින් තේරුම්ගත් සැමියෙක්. ඒ නිසා ඔහුගේ සහයෝගයත් මට ලැබෙනවා. අම්මලා විදිහට අපි දැන ගන්න ඕන අපේ දරුවන්ගෙත් හිත දිනාගෙන අපේ වැඩ රාජකාරි හරිහැටි කරන්නේ කොහොමද කියලා. ඉතින් මට පැවරෙන හැම වගකීමක්ම කොහොම හරි ඉටු කරනවා කියන අධිෂ්ඨානයේ තමයි මම හැමදාමත් ඉන්නේ. අනික රංගන ශිල්පිනියන් වන අපටත් වඩා කාර්යබහුල රැකියාවක් කරන කාන්තාවන් මම සමාජයේ දැකලා තියෙනවා. ඒ අය තමන්ගේ වෘත්තිය කටයුතු සහ පවුල් කටයුතු කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා මම අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් ඒ චරිතවලිනුත් පාඩම් ඉගෙන ගෙන තමයි මම අද හොඳ මවක් සහ බිරිඳක් විදිහට මගේ වැඩකටයුතු කරගෙන යන්නේ.

කිෂාන් කනංකෙ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>