TT Ads

මොන සැප සම්පත්, ධනය, බලය මේ හැමදේම තිබුණත් අපට ලෙඩ රෝග වලින් බේරී සිටීමට හැකියාවක් නැත. අද අපි ඔබේ කේන්ද්‍රයට අනුව ඔබට හට ගත හැකි ලෙඩ රෝග ගැන කතා කරමු.

ජ්‍යොතිෂයට අනුව ලෙඩ රෝග පිළිබඳව කතා කරන්නේ කේන්ද්‍රයේ හයවෙනි කොටුවෙනි. එනිසා මෙය රෝග ස්ථානය මෙන්ම සතුරු ස්ථානය ලෙසින්ද හැඳින් වෙයි. මෙහි රෝග යනු අභ්‍යන්තර රෝගයි. සතුරන් යනු බාහිරින් පැමිණෙන උවදුරුය.

ඒ අනුව හයවෙනි කොටුව මේ ස්ථාන දෙකටම අයත් වේ.

කේන්ද්‍රයක රාශි හෙවත් කොටු 12ක් පවතින බව ඔබ දනී. ශරීරයද ඒ අනුව කොටස් 12කට වෙන් කෙරේ. ශරීරය ඒ ඒ කොටස් බෙදෙන්නේ හිසේ සිට වම් පැත්තට යන ආකාරයටය. ඒ මෙසේය.

1. – හිස
2. – බෙල්ල, මුඛය වැනි කොටස
3. – උරහිස සහ අත්
4. – පපුව
5. – හෘදය
6. – උදරය
7 සහ 8 – උදරයෙන් පහළ කොටස් සහ ලිංගික ප්‍රදේශ
9. – කලවා
10. – දණහිස
11. – විලුඹ
12. – පතුල්

ඔබේ ලග්නය තුලා යැයි සිතමු.

එවිට ඔහුගේ පළවෙනි කොටස, එනම් හිස තුලාය. ඒ අනුව ශරීරයේ ඒ ඒ කොටස්වලට අධිපති වන ලග්නය මෙසේ වෙයි.

1. හිස – තුලා
2. බෙල්ල, මුඛය වැනි කොටස් – වෘශ්චික
3. උරහිස සහ අත් – ධනු
4. පපුව – මකර
5. හෘදය – කුම්භ
6. උදරය – මීන
7., 8 – උදරයේ පහළ කොටස් සහ ලිංගික ප්‍රදේශ – මේෂ සහ වෘෂභ
9.    කලවා -මිථුන
10.  දණහිස – කටක
11.  විලුඹ – සිංහ
12.  පතුල් – කන්‍යා

මේ අනුව ඔබේ ලග්නයට අනුව ශරීරයේ ඒ ඒ කොටස් කුමන ලග්නයට අයත්දැයි ඔබටම සොයා ගත හැකි වනු ඇත.

සෑම ලග්නයකටම අධිපති ග්‍රහයකුද සිටින බව අපි මීට පෙර සඳහන් කර ඇත්තෙමු. නැවතත් අපි එය මතක් කර ගනිමු.

මේෂ අධිපති – කුජ
වෘෂභ අධිපති – සිකුරු
මිථුන අධිපති – බුද
කටක අධිපති – සඳු
සිංහ අධිපති – රවි
කන්‍යා අධිපති – බුද
තුලා අධිපති – සිකුරු
වෘශ්චික අධිපති – කුජ
ධනු අධිපති – ගුරු
මකර අධිපති – ශනි
කුම්භ අධිපති – ශනි
මීන අධිපති – ගුරු

දැන් ඔබේ ලග්නයට අධිපති ග්‍රහයා ඔබට සොයා ගැනීමට පුළුවන.

කේන්ද්‍රයක හය වැනි ස්ථානය රෝග ස්ථානය බව ඉහත දැක්වීමු.

හය වැන්නෙන් කියවෙන්නේ ආමාශයයි. ආමාශය තුළ ආහාර ජීර්ණ වීමේ ක්‍රියාවලිය ඇතුළු බොහෝ දෑ හය වැන්නෙන් පැවැසේ. සාමාන්‍යයෙන් කේන්ද්‍රයක සුබ ග්‍රහයන් හිඳීම බොහෝ විට සුබඵල ගෙන දීමට සමත් වුවත් හය වැන්නේ සුබ ග්‍රහයන් හිඳීම එහි ප්‍රතිවිරුද්ධ ඵල ලබා දීමට හේතු වෙයි. ඒ අනුව කේන්ද්‍රයේ හය වැන්නේ බුද, සිකුරු, බුද වැනි සුබ ග්‍රහයකු හිඳීම අයහපත් ප්‍රතිඵල ඇති කිරීමට සමත් වෙයි. දිරවීමේ ශක්තිය අඩුවීම ඇතුළු ආමාශයට සම්බන්ධ රෝග තත්ත්වයන් මෙහිදී හට ගනු ඇත. එසේම හය වැන්න සතුරු ස්ථානය ලෙසද සලකන නිසා හය වැන්නේ සුබ ග්‍රහයන් හිඳින විට සතුරු කරදරද ඇති විය හැකිය.

නමුත් විශේෂයෙන් කිවයුත්තක් වන්නේ මේ සෑම දෙයක්ම නියතයක් නොවේ. අනෙක් කොටුවල සිටින ග්‍රහයන්ගෙන්ද අසුබ ඵල උදාවන්නට පුළුවන. එසේම අනෙක් කොටුවල ග්‍රහයන්ගෙන් අසුබ ඵල කැපී සුබ ඵල උදා වන්නටද හැකි බව සිහි තබා ගත යුතුය.
හය වැන්නේ පාප ග්‍රහයන් හිඳීම හොඳය. හොඳින් ආහාර දිරවයි. ආහාර රුචියත් වැඩිය. සතුරු කරදරත් අඩුය. ඒ අනුව හය වැන්නේ අසුබ ග්‍රහයන් හිඳීම සුබඵල උදා කරවන්නක් ලෙස ජ්‍යොතිෂයෙහි දැක්වේ.

ඔබ මේ පිළිබඳව පුදුම වීමට පුළුවන. නමුත් එය සැබෑවකි. කේන්ද්‍රයක හයවැන්න යනු අයහපත් ස්ථානයකි. අයහපත් තැනක අයහපත් ග්‍රහයන් සිටින විට අසුබ කැපී යන ලෙස සැලකේ. ඒ අනුව සිරුරේ ප්‍රතිශක්තියන් වැඩිවේ.

හය වැන්නේ තත්ත්වය හැරුණු විට වෙනත් ග්‍රහ පිහිටීම්ද රෝග ඇති කරවීමට බලපායි. නිදසුනක් ලෙස කේන්ද්‍රයේ සිව්වෙනි කොටුවේ සඳු සිටීම නිතර සෙම් රෝග හට ගැනීමට බලපායි. සඳු යනු සෙම කාරක ග්‍රහයෙකි. හතර වැන්න යනු අපේ ශරීරයේ පපුව ප්‍රදේශයයි. හතර වැන්නේ සඳු සිටින විට සෙම් රෝග හට ගන්නේ එනිසාය.

එසේම කේන්ද්‍රයක කුජ දුර්වලව සිටින විට රුධිරය සම්බන්ධ රෝග සඳහා හේතුවක් වේ. කුජ සහ ශනි යෝගයක් (එක කොටුවක හිඳීම) තිබුණොත් ඒ ග්‍රහයන් දෙදෙනාම දුර්වල මට්ටමක හිඳීම විවිධාකාර රෝග ඇති කරවයි. එසේම ඕනෑම කොටුවක ගුරු දුර්වල වී හිඳීම සෙංගමාලය වැනි රෝග හට ගැනීමට හේතුවක් වෙයි.

ලග්න කොටුවේ දුර්වල ග්‍රහයන් හිඳීම මෙන්ම ලග්න අධිපතියා දුර්වලව හිඳීමත් හිස සම්බන්ධ රෝගවලට බලපායි.
හය වැන්න අධිපතියා අසුබ දෘෂ්ටියක හිඳීමත් ලෙඩ රෝග වලට හේතුවකි. නිදසුනක් ලෙස තුලා ලග්නය ගතහොත් හය වැන්නේ අධිපති ගුරු ග්‍රහයාය. ගුරුට අඟහරුගේ හෝ සෙනසුරුගේ අසුබ දෘෂ්ටීන් වැටීම හෙවත් ගුරු ග්‍රහයා අඟහරු හෝ සෙනසුරු දැකීම (දෘෂ්ටිය ලැබීම) ලෙඩ රෝග බහුල වීමට හේතුවෙයි.

ග්‍රහයින් – ග්‍රහයින් අතර සුබ මෙන්ම අසුබ දෘෂ්ටීන්ද පවතියි. නක්ෂත්‍ර විද්‍යාව හැදෑරූ අය මේ පිළිබඳව ගැඹුරින් දනිති. කෙසේ වුවද සුබ ඵල හෝ අසුබ ඵල ඒ ආකාරයටම ක්‍රියා නොකළ හැකිය. හේතුව අනෙක් ග්‍රහ පිහිටීම් අනුව සුබ, අසුබ ඵල කැපී යාමට තිබෙන හැකියාවය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ශාස්ත්‍රාචාර්ය
අමරසේන වේගිරිය

සැකසුම
ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>