TT Ads

තම සැමියා වන හේෂාන් පසුගිය දිනයෙක රාත්‍රියේ මුහුණ කට තුවාල කරගෙන නිවසට පැමිණෙනු දුටු නිමල්කා මහත් පුදුමයටත් සංවේගයටත් පත් වූවාය. තොල පිපිරී රුධිරය ගලමින් තිබූ ඔහුට හරිහැටි කතා කර ගැනීමට පවා නොහැකි විණි.

“මොකද මේ වුණේ?” හේෂාන් දුටු සැණින් නිමල්කා එසේ අසන ලද අතර, “මම එනකොට බයික් එකට බල්ලෙක් පැන්නා” යැයි කී ඔහු තමන් කෙරෙන් මුහුණ සඟවා ගැනීමට වෙර දරනු නිමල්කාට පෙනුණි.
“දැන් ඉතින් අපි ඉක්මනට ඕකට මොනවා හරි කරමු. මම හිතන්නේ හොස්පිටල් එකට යන එක තමයි හොඳම දේ. පොඞ්ඩක් ඉන්නකෝ මාත් ලෑස්ති වෙනකම්”, තම සැමියාගේ මුහුණට සිදුව තිබූ බරපතළ හානිය නිවසේ විදුලි එළියෙන් පරීක්‍ෂා කළ නිමල්කා හනික කීවාය.

“නැහැ, නැහැ, එපා මේක ඒ හැටි දෙයක් නෙවෙයි” හේෂාන් එසැණින් පවසන ලද්දේ මහත් අපහසුවෙන් මෙන් තමන් වෙතින් මුහුණ ඉවතට හරවා ගැනීමට වෙර දරන අතරේ බව නිමල්කාට හොඳින්ම වැටහුණි.
“ඊයේ රෑ මොකක්ද අනේ ඔයාගේ හස්බන්ඞ් ඇති කරගත්තය කියන ප්‍රශ්නේ ?. අර ෆ්‍රැන්සිස් ලේන් එකේ කොල්ලෝ කට්ටියක් එයාට වට කර ගෙන හොඳටම ගහලලු නේද? එයා ගෙදර ඇවිත් කියන්න ඇතිනේ විස්තරේ ?”. පසුදා උදේ නිමල්කාට දුරකථන ඇමතුමක් දුන් මිතුරියක කීවාය. ෆ්‍රැන්සිස් පටුමග යනු ප්‍රධාන පාරේ සිට මුහුද දෙසට වැටීගත් පටු මඟක් වන අතර දෙපස පදිංචිව සිටිනුයේ අනවසරයෙන් ඉඩම් අල්ලාගෙන පදිංචි වූ ජනතාවකි. එහෙත් තම සැමියා හා ෆ්‍රැන්සිස් පටුමගේ පදිංචිකරුවන් අතර කිසිදු දැන හැඳුනුම්කමක් නොමැති බවද නිමල්කා දැන සිටියාය.

එහෙත් තම සැමියාට කුමක් සිදුවීද ඔහු කුමන හේතුවක් නිසා තමන්ට සිදුවූ දෙය වසන් කරන්නේද යන්න නිමල්කාට සිතා ගැනීමට පවා නොහැකි විය. ඒ අනුව ඉන්පසු කිහිපවරක්ම හේෂාන්ගෙන් සිදුවූයේ කුමක්ද යන්න නිමල්කා අසා සිටි මුත් ඊට කිසිදු පිළිතුරක් ලබා ගැනීමට ඇය අසමත් වූවාය.
“අර ෆ්‍රැන්සිස් ලේන් එක පැත්තේ ඔයාගේ හස්බන්ඞ් ගැන මහ නරක ආරංචි පැතිරෙනවා නිමල්කා, එයා දැන් සෑහෙන කාලෙක ඉඳලා රෑට රෑට ඒ ලේන් එකේ ගෙවල් අස්සේ රිංගනවා ඒ ගෙවල්වල කොල්ලෝ හොරෙන් බලාගෙන ඉඳලා තියෙනවා.” ඊට පසු දිනයෙක නිවසට වුවමනා ආහාර කළමනා කිහිපයක් ගෙන ඒම පිණිස කඩපොළට යමින් සිටි නිමල්කාට ඒ ආසන්නයේ පදිංචි තම පැරණි මිතුරියක් කීවාය.
“දෙයියනේ ඒ කියන්නේ හේෂාන් ඒ පැත්තේ කවුරු හරි ගෑනු කෙනෙක් එක්ක එෆෙයාර් එකක්වත් ඇති කරගෙනද?” තම මිතුරිය කී දෙය කුමන ලෙසකින්වත් වටහා ගත නොහැකි නිමල්කා ලැජ්ජාවෙන් සහ සංවේගයෙන් ඇළලී යමින් ඇසුවාය.

“මමත් ඔය කතාව අහනකොටම හිතුවේ එහෙම තමයි. ඒත් මට අපේ හස්බන්ඞ් තමයි පස්සේ විස්තරේ කිව්වේ. ඔයාගේ හස්බන්ඞ් ඒ විදිහට ගිහින් ඔය හුළං කවුළු වගේ තැන්වලින් ඒ ගෙවල්වලට එබිකම් කරනවලු. ඒ ගෙවල්වල මිනිස්සු නින්දට යන වෙලාවට එයා ඔහොම එබිකම් කරනවය කියන්නේ වයසට නොගිය ජෝඩු ඉන්න ගෙවල්වලටලු. ඉතින් ඔයාට හිතාගන්න පුළුවන් නේ කාරණේ මොකක්ද කියලා”. තම මිතුරිය එසේ පවසත්ම තම සිරුර එක්වරම ශීතලව අප්‍රාණික වන්නාක් මෙන් නිමල්කාට වැටහුණි.
“හැබැයි ඉතින් එයා ගෙදර දී මං ගැන වුණත් එහෙම ලොකුවට උනන්දුවෙන කෙනෙක් නෙවෙයි. මට ඒක හොඳට තේරිලා තියෙනවා. ඒකයි මට මේ හිතාගන්න බැරි” ඇය කීයේ අන්දමන්ද වූ ලෙසිනි.
“හැබැයි ඉතින් මගේ හස්බන්ඞ් නම් ඔහොම ලෙඩක් ගැන ගොඩක් විස්තර කිව්වා. කෝකටත් නිමල්කා එයාව පුළුවන් තරම් ඉක්මනට මනෝ වෛද්‍යවරයෙක් ළඟට එක්ක යන්න. මොකද එයා කියපු විදිහට ඔයාගේ හස්බන්ඞ් එදා අර ෆ්‍රැන්සිස් ලේන් එකේ කොල්ලන්ගෙන් බේරිලා තියෙන්නෙත් අනූ නවයෙන්. තව ඩිංගෙන් මිනී මැරුමක් වෙන්නත් ඉඩ තිබුණලු” මිතුරිය කීවාය.

හේෂාන් පිළිබඳව ප්‍රදේශයේ පැතිර යන කටකතා සම්බන්ධයෙන් ඔහු දැනුවත් කළ නිමල්කා මනෝ වෛද්‍යවරයකු හමුවීමට යාමට හේෂාන් කැමති කරවා ගත්තේ මහත් ආයාසයෙනි.
“මේ තත්ත්වය මනෝ වෛද්‍ය විද්‍යාත්මකව හැඳින්වෙන්නේ දර්ශාස්වාදය (voyeurism) කියලා. ඒ කියන්නේ මේ තත්ත්වයේ පසුවන අය ලිංගික වශයෙන් සතුටක් ලබන්නේ කාන්තාවන්ගේ නිරාවරණය වන ශරීරාංග දිහා බලලා. එහෙම නැත්නම් කාන්තාවන්ගේ පිරිමින්ගේ පෞද්ගලික හැසිරීම් දිහා රහසින් බලා ඉඳලයි. සමහරුන් මේ දෙකෙන් එක අංශයකට වැඩිපුර යොමුවෙන අතරේ තවත් පිරිසක් තුළ මේ අසාමාන්‍ය ආශාවන් දෙකම පවතිනවා. මේ වගේ අයව ලෝකය පුරාම Peeping tom කියලත් හැඳින්වෙනවා. ඒ වගේම මේ ආශාවන් වැඩි වෙන තරමට ඒ තැනැත්තා සාමාන්‍ය අඹුසැමි සබඳතාවලට තියෙන උනන්දුව ටිකෙන් ටික අඩු කරනවා. ඒ ඔස්සේ මේ වගේ අයගේ පවුල් ජීවිත අසාර්ථක වෙනවා වගේම මේ තත්ත්වය නිසා මේ වගේ අය බරපතළ සමාජමය ගැටලුවලටත් මුහුණ දෙනවා” මනෝ වෛද්‍යවරයා කීය.

එමෙන්ම එහිදී හේෂාන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරනු ලදුව ඔහු මනෝ වෛද්‍යවරයා හමුවේ කියා සිටියේ තමන් මුලදී අන්තර්ජාලය ඔස්සේ මෙබඳු ස්ත්‍රී – පුරුෂ රහස් සබඳතා නැරඹීමට පුරුදුව සිට පසුව ඉන් ලැබෙන ආශ්වාදය මඳ වීම මත මෙලෙස එම දර්ශන සජීවී ලෙස නැරඹීමට උත්සාහ කළ බවය. දිනපතා කුමකින් හෝ මුදල් උපයන එම ෆ්‍රැන්සිස් පටුමග දෙපස නිවෙස්වල පිරිස් මත්පැන් භාවිතයට පුරුදු වී හිඳින අතර ඔවුන්ගේ අඹු සැමි සබඳතා තුළද එතරම් රහස්‍ය ස්වරූපයක් නොමැති බව තමන්ට දැන ගන්නට ලැබුණු බව හෙතෙම කීය. ඒ අනුව තමන් මෙලෙස රාත්‍රී කාලවලදී එම නිවෙස් තුළට රහසින් එබිකම් කිරීමට යොමු වූ බව හේෂාන් මනෝ වෛද්‍යවරයා හමුවේ හෙළිකර සිටියේය.

“මිනිස්සු කවුරුත් වගේ සමහර වෙලාවල දී හැඟීම් ආවේගවලට මුල් තැන දීලා කටයුතු කරනවා. නමුත් අවශ්‍ය අවස්ථාවල දී ඒ හැඟීම් ආවේග පාලනය කර ගන්න බුද්ධියේ උපකාර ලබා ගන්නවා. නමුත් මේ වගේ රෝග තත්ත්වයකදී ඒ හැඟීම් ආවේගය බුද්ධිය යටපත් කරගෙන ඉස්මතු වෙන හින්දයි මේ වගේ දේවල්වලින් තමන්ට සිද්ධ වෙන ලජ්ජාව අවමානය වගේම ජීවිතාවදානම පවා නොතකා මේ වගේ දේවල්වලට පෙළඹෙන්නේ”.
එසේ කී මනෝ වෛද්‍යවරයා හේෂාන් තුළ පිබිදෙන, පාලනය කර ගත නොහැකි ආවේගය පාලනය කිරීම පිණිස වන ඖෂධ නියම කළ අතර ඉන්පසු ඒ අස්වාභාවික රුචිය මැඩලීමට ඉවහල්වීමට ඥානක චර්යාත්මක චිකිත්සාවන් (cognitive behaviour therapy) කෙරෙහි හේෂාන් යොමු කරන ලද්දේ ජීවිතයට අතිශය අහිතකර මෙම අස්වාභාවික පුරුද්ද දුරු කර ගැනීම පිළිබඳ දැඩි අධිෂ්ඨානයක් සිතු තුළ ධාරණය කර ගන්නා මෙන් උපදෙසක්ද ලබා දෙමිනි.

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ

විශේෂඥ මනෝ වෛද්‍ය රුමී රූබන්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>