TT Ads

 

සාමාන්‍යයෙන් යුවළක් පෝරු මස්තකයේ නැගී, නෑදෑයන්ට බුලත් දී ආශිර්වාදය ලබාගෙන යුගදිවි ගමන ඇරඹෙන්නේ සිය මංගල දිනයේදීය. කෙසේ වෙතත්, අපේ රටේ ප්‍රවීණ කලාකරු යුවළක් පසුගියදා යෙදී තිබූ සිය පනස් වැනි විවාහ සංවත්සරය නිමිත්තෙන් නැවත වරක් එම චාරිත්‍රවල නියැලුණේ පනස්වසරකට පෙර පැවැත්වුණු සිය විවාහ මංගලෝත්සවයේ මතකයන් නැවතත් අලුත් කර ගනිමිනි. එම ප්‍රවීණ කලා ශිල්පී යුවළ වන්නේ විජේරත්න වරකාගොඩ සහ චිත්‍රා වරකාගොඩය. මේ අපූරු උත්සවය පැවැත්වුණේ ගල්කිස්ස මහහෝටලයේදීය. මෙම සැමැරුම් උළෙලේ මෙන්ම සිය පනස්වසරක විවාහ දිවියේ මතක සටහන් අලුත් කරමින් “රැජිනිය” සමග මෙලෙස කතාබහට එක් වූයේ ප්‍රවීණ කලා ශිල්පී විජේරත්න වරකාගොඩය.

 පනස් වැනි විවාහ සංවත්සරය මේ විදිහට සමරන්න ඕන කියලා හිතුනේ ඇයි ?
මේක මමවත් මගේ බිරිඳවත් සැලසුම් කරපු උත්සවයක් නෙවෙයි. මගේ පුතාත්, දුවත්, පුතාගේ බිරිඳත් තමයි විවාහ සංවත්සරය මේ විදිහට සමරමු කියලා යෝජනා කළේ. හැබැයි මම නම් ඒකට මුලින්ම කැමති වුණෙත් නැහැ.

 ඇයි ඒ ?
ලොකුවට උත්සව පවත්වන්න ඕන නැහැ කියලයි මම කිව්වේ. එතකොට පුතා කිව්වා, “අම්මගෙයි තාත්තගෙයි පනස්වැනි සංවත්සරයක් ආයේ එන්නේ නැහැනේ. ඒ නිසා අපි මේ අවස්ථාව විශේෂ විදිහට සමරමු”කියලා. ඒ නිසා අපිත් දරුවන්ගේ ආසාවට ඉඩ දුන්නා.

 මුලදී ඒ විදිහට අකමැති වුණත් එදා ඔබට ජීවිතයේ තවත් අමතක නොවන දවසක් බවට පත්වෙන්න ඇති නේද?
අනේ ඔව්, අපේ දරුවෝ එදා සාමාන්‍ය මඟුල් ගෙදරක කරන චාරිත්‍ර පවා සැලසුම් කරලා තිබුණා. නෑදෑ හිත මිතුරන් එක්ක අපි එදා ගොඩක් සතුටු වුණා.

 ඒ සැමරුමේදී ජීවිතයේ සමහර මිහිරි මතකයනුත් නැවත අලුත් වෙන්න ඇති නේද?
ඔව්, ඒ අතරින් එකක් තමයි මීට අවුරුදු පනහකට කලින් අපේ විවාහ උත්සවයේ දෙවැනි මනාලයත්, මනාලියත්, මල් කුමාරයා සහ මල් කුමරිය කියන මේ හැමදෙනාම මේ උත්සවයට එක්ව සිටීම. අපිට අවුරුදු පනහක් ගත වෙලත් ඒ හැමදෙනාම එක්ක එදා මතකය ආයෙමත් අලුත් කරගන්න වාසනාව උදා වුණා.

විවාහ ජීවිතයේ ගතවූ වසර පනහක කාලය දිහා හැරිලා බලද්දී ඔබට දැන් මොනවද හිතෙන්නේ ?
විවාහ වෙලා අවුරුදු පනහක් ගෙවුණා කියලා මට නම් දැනුණෙවත් නැහැ. දරුවෝ දෙන්නත් හදාවඩා ගෙන, අඬදබර නැතුව බොහොම සාමයෙන් සහ සමගියෙන් අපි දෙන්නා පසුගිය අවුරුදු පනහ ගත කළා.

 දෙදෙනාම කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ අය වීමත් පවුල් ජීවිතයේ සමගියට බලපාන්න ඇති කියලා හිතෙනවාද?
ඔව්, මටත් හිතෙනවා දෙන්නාම කලා ක්‍ෂේත්‍රයේ හින්දා ඇතිවුණු අන්‍යෝන්‍ය අවබෝධයත් අපේ පවුල් ජීවිතයේ සාර්ථකත්වයට හුඟක් දුරට හේතු වෙන්න ඇති කියලා.

 දෙදෙනා මුලින්ම මුණ ගැහුණේ කොහොමද?
විවාහ වෙලා අවුරුදු පනහක් වුණාට ඊටත් අවුරුදු හතකට කලින් ඒ කියන්නේ 1963 අවුරුද්දේ තමයි අපි මුණ ගැහුණේ. ඒ “කුවේණි” වේදිකා නාට්‍යයේ රඟපාන්න ගිහින්. අවුරුදු හතක් තිස්සේ ආශ්‍රය කරලා දෙමව්පියන්ගේ ආශිර්වාදයත් ඇතිවයි අපි විවාහ වුණේ.

 විවාහයෙන් ඔබ දෙදෙනා දූ දරුවන් වගේම මුනුපුරු මිනිපිරියනුත් ලැබුවා. පියෙක් සහ සීයා කෙනෙක් විදිහට ඔවුන් දිහා බලද්දී ඔබට අද සතුටු වෙන්න පුළුවන්ද?
ඇත්තටම ඔව්. අපේ පුතා සහ දුව ඒ කියන්නේ ජනනාත් සහ වින්ද්‍යා අපි වගේම කලාවට සම්බන්ධයි. පුතාට අවුරුදු දහයක දුවෙකුත්, අවුරුදු අටක පුතෙකුත් ඉන්නවා. දරු මුනුපුරෝ හැමෝම හොඳින් ජීවත් වෙනවා දකිද්දී අපට ගොඩක් සතුටුයි.

 දැන් ඔබ රඟපෑමෙන් සමු අරන්ද ඉන්නේ ?
එහෙම තීරණයක් අරගෙන නැහැ. නමුත් හුඟක් අය හිතනවා ඇති මට දැන් වයස නිසා රඟපාන්න අමාරුයි කියලා. ඒ නිසා වැඩිය ආරාධනා නම් දැන් ලැබෙන්නේ නැහැ. හැබැයි මට තවමත් රඟපාන්න පුළුවන්. ඒ වගේම කටහඬත් එදා වගේම තියෙනවා. ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය වෙන “මුවන්පැලැස්ස” නාට්‍යයට මම තවමත් කෝරළේ මහත්තයා විදිහට හඬ ලබාදෙනවා. “මුවන්පැලැස්ස” ආරම්භක ශිල්පීන් අතරින් තවමත් ඊට එක්වන්නේ මම විතරයි.

 ඔබේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මට දැන් වයස අවුරුදු අසූහතක්. දැන් මගේ ජීවිතයේ ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. මොකද ජීවිතේ කියන්නේ බොහොම අවිනිශ්චිත දෙයක්. එහෙම කියලා මම ජීවිතය අත්හැරලා දාලත් නැහැ. සාමාන්‍ය විදිහට එනදේට මුහුණදෙමින් ඉදිරි කාලය ගත කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

කිෂාන් කනංකෙ
ඡායාරූප – උපුල් නිශාන්ත

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>