TT Ads

මෙරට පුරා විසිරී තිබෙන ආදිවාසී ගම්මාන හැට දෙකක ජීවත් වන ලක්ෂ හයකට ආසන්න ආදිවාසී ජනතාවට නායකත්වය ලබාදෙන ඌරුවරිගයේ වන්නියලැත්තන්ගේ ජීවන ගමනට අත්වැල වී සිටින්නී ඔහුගේ දයාබර බිරිඳ වන හීන්මැණිකේය. දරුවන් හත් දෙනෙකුද හොඳින් උස්මහත් කරගෙන සාර්ථක පවුල් ජීවිතයක මිහිර විඳින ඔවුන්ගේ යුග දිවියට දැන් වසර 54කි.
වැද්දන්ගේ රජු වුවද තමන්ගේ ස්වාමිපුරුෂයා ගැන ඇයට පවසන්නට ඇති දේ බොහෝය. කිසිවෙකුට නොකී රහස්ද ඒ අතර වෙයි.

ඔබ දෙදෙනා විවාහ වුණේ ආදර සම්බන්ධයකින්ද? එහෙමත් නැත්නම් දෙමව්පියන් ගෙනා යෝජනාවකින්ද?
අපි දෙන්නා විවාහ වුණේ ආදර සම්බන්ධයකින්. හැබැයි අපේ දෙපාර්ශ්වයේම වැඩිහිටියෝ මුලදී අපේ සම්බන්ධයට විරුද්ධ වුණා මිස කැමැත්ත දුන්නේ නැහැ. ඒ හින්දා ඒකාලේ තරුණකම නිසාම වෙන්නැති ඔහු හිතුවක්කාරකමට මාව කැන්දාගෙන ගියා. එයාට ආදරේ නිසා මමත් විරුද්ධ වුණේ නැහැ. හැබැයි තිසාහාමිලැත්තන්ගේ පැල් කොටේටම තමයි මාව කැන්දන් ගියේ. එහෙම ගෙදරට ගියාම නම් දෙමවුපියන්ගෙන් විරෝධයක් ආවේ නැහැ. මාස හයක් ඒ අයත් එක්ක එකට හිටියා. ඊට පස්සේ අපි දවුගොල්ල කියන ගමේ පැලක් හදා ගෙන ගිහින් හේන් වැව්වා.

ඔබ විවාහ වුණේ එවකට මෙරට ආදිවාසී නායකයාගේ වැඩිමහල් පුතා සමගයි. ඒ වනවිට ඔහු රැහේ උප නායකයා. ඒ කාලේ ඔහුගේ දඩබ්බර ගති පැවතුම් එහෙම තිබුණේ නැද්ද?
ඒ විදිහේ ගතිගුණ නොතිබුණාමයි කියන්නත් බැහැ. මොකද අපි විවාහ වෙන කොට ඔහුට වයස අවුරුදු 18යි. කොල්ලොත් එක්ක ඇවිදින්න යන්නත් විහිළුවෙන්, විනෝදෙන් ඉන්නත් තමයි ඔහු වැඩිපුර කැමැත්තෙන් හිටියේ. මම ඒවාට තදින්ම විරුද්ධ වුණේ නැහැ. හැබැයි ඒ අය අතරේ නරක යාළුවෝ හිටියොත් ඒ අය නිසා ඇතිවෙන නරක ප්‍රතිඵල මම ඔහුට ආදරෙන් පෙන්නලා දුන්නා. මගේ වාසනාවට කිසිම දවසක ඔහු වැරදියි කියන කිසිම දෙයක් කළේ නැහැ.

ආදිවාසීන්ගේ ප්‍රධාන නායකයා වන ඔහුගේ වැඩ රාජකාරිවලට ඔබෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
ඔහු රාජකාරි වැඩකට කොහේ ගියත් ඒ යන්නේ කොහේද? මොනවගේ වැඩකටද යන්නේ කියලා මා සමග කියනවා. ඒ උත්සව වලදී කරන්න හිතාගෙන ඉන්න කතාවත් කියනවා. ඒ වෙලාවට මම මගේ අදහසුත් එයාට කියනවා. ඒ වෙලාවට මේක හරි, මේක වැරදියි කියලා අපි අදහස් හුවමාරු කර ගන්නවා.

ඔබ සැමියාත් එක්ක කැලේ දඩයමේ ගිහින් තියෙනවාද?
අපොයි ඒ වගේ ගමන් නම් ඕන තරම් ගිහින් තියෙනවා. හැබැයි ඒ අපට දරුවෝ ලැබෙන්න කලින්. ඔහු දැන් සම්පූර්ණයෙන්ම සත්ව ඝාතනයෙන් ඈත්වූ කෙනෙක්.

එහෙම ගිය ගමන් වලදී මුහුණ දීපු අමතක නොවන බිහිසුණු සිදුවීම් එහෙමත් ඇති.
අපි විවාහ වුණු අලුතම කැලේ ඇවිදින්න ගියා. සතෙක් දඩයම් කරගන්න, මීවදයක් කඩා ගන්න, අල හාරන්න තමයි අපි කැලේ යන්නේ. දවසක් එහෙම යද්දී මහ කැලේ මැද දිය කඩිත්තක් ළඟ ලොකු ගලක් තිබුණා. නායකතුමා වේගෙන් ගල උඩට නැග්ගා. මම බිමට වෙලා උඩ බලාගෙන ගලට නගින්න බැරුව හිටියා. ඔහු එක පාරටම කෑ ගැහුවා” ඕන් එනෝ …” කියලා. තත්පර ගාණයි ගියේ මම නායකතුමා ළඟ. පහළ බලන කොට බොටකඳා, ඒ කියන්නේ අලියා වතුර බොනවා. බොටකඳා එනෝ …. කීවානම් මම කලබල වෙලා එහෙ මෙහෙ දුවයි කියලා තමා අර විදියට කියලා තියෙන්නේ. ඔහු හරිම බුද්ධිමත්නේ. දුරදිග බලලා වැඩ කරන කෙනෙක්.

වන්නියලැත්තන් අදටත් සිහිපත් කරමින් ඔබට ස්තුති කරන සිදුවීම් තිබෙනවාද?
ඔව්. එහෙම අවස්ථා කිහිපයක්ම තියෙනවා. දවසක් කොටබකිණියේ ගෙදර ඉඳලා තිසාහාමිලැත්තෝ හිටිය ගෙදරට යන්න මම පාන්දරින් ලොකු ළමයි දෙන්නත් අතින් අල්ලාගෙන අඩි පාරක් දිගේ යමින් හිටියා. කැලේ පොඩිවෙනවා වගේ ඇහිලා ඒ පැත්ත බලන විට මහා සද්ධන්ත අලියෙක් හොඬවැලත් උස්සගෙන අපේ දිහාට එනවා. මම ළමයි දෙන්නා කිහිල්ලේ ගහගෙන කැලේ මැද්දට පැනලා දිව්වා. මොන හයියක් ඒ වෙලාවේ ආවද කියලා මට තේරෙන්නේ නැහැ. කැලේ හැංගිලා ඉඳලා බොටකඳා ගියාට පස්සේ අපි ආපහු කොටබකිණියේ ගෙදරට ගියා. ගෙදර ඇවිත් බලනකොට ඇඟ හැම තැනම සීරිලා ලේ යනවා. මම එදා බය වුණානම් අපි තුන්දෙනාම ඔහුට අහිමි වෙනවනේ කියලා නායකතුමා අදටත් මට ස්තූති කරනවා.

වන්නියලැත්තෝ නිතර නිතර විදේශ ගත වෙනවා. ඒ වගේම විවිධ දේශනවලට සහ උත්සව වලට යනවා. බිරිඳ විදිහට ඔහුගේ මේ කාර්යබහුලත්වය ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඒ ගැන මට අහිංසක සතුටක් දැනෙනවා. අද මේ රටේ ජනතාවගෙන් විශාල පිරිසක් ඔහුට ගරු කරනවා. ඔහුගේ ජීවන රටාව සහ ගතිපැවතුම් අගය කරන නිසා රට පුරා උත්සව වලට ඔහුව ප්‍රභූවරයෙක් විදියට දේශනවලට කැඳවනවා. මම පමණක් නෙමෙයි මේ පරපුරේ හැමෝම ඔහු ගැන ආඩම්බරෙන් කතා කරනවා. ඔහු හරිම කරුණාවන්තයි. පරපුරේ හැමෝම වෙනුවෙන් දවා රෑ වෙහෙසෙනවා. මම හැකි සෑම වෙලාවකම ඔහුගේ හෙවණැල්ල වගේ ඉඳන් ඒ වෙහෙස නිවනවා.

සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව විවිධ කට කතා නිර්මාණය වීම සාමාන්‍ය දෙයක්. ඔබටත් එවැනි අත්දැකීම් තිබෙනවාද?
ඔව්. වතාවක් ස්වීඩනයේ සිට මෙරටට පැමිණි කාන්තාවක් සමග මගේ සැමියාගේ නම ඈඳෙමින් බොරු කතාවක් රටේ පැතිර ගියා. ඇගේ නම විවේකා ස්ටේගේ බෝන්. අදටත් ඇය නායකතුමාට දුරකථනයෙන් කතා කරනවා. අපි තවමත් හිතවතුන්. මගේ මතකයේ හැටියට 1977 දී විතර තමයි ඔය කටකතාව පැතිරුනේ. එතකොට මට දරුවෙක් ලැබෙන්නත් හිටියා. විවේකා ආවේ ලෝකයේ ජීවත් වෙන ආදිවාසීන්ගේ ගැටලු පිළිබඳව තොරතුරු සොයන්නයි. නායකතුමා එයාව අවශ්‍ය තැන් වලට එක් කරගෙන ගියා. නොදන්නා දේ කියලා දුන්නා. අනෙක් අතට අපි ලෝකය ගැන නොදන්නා දේ එතුමිය අපිට කියලා දුන්නා. ඒ නිසා අපේ නායකතුමාට එක්සත් ජාතීන්ගේ සමුළුවට යන්නත්, අපේ ගැටලු එහි කියන්නත් හැකිවුණා. ඒ ගැන ඉව වැටිලා තමයි සමහරු නායකතුමාට කයි කතන්දර හැදුවේ. ඒ කාලයේ අපිව පාගාගෙන හිටිය රටේ පාලකයෝ තමයි ඔය වැරදි කතා පතුරවා හැරියේ.

ඔබ මේ රටේ ජනප්‍රිය රජෙකුගේ රැජිනියක්ද, නායකයෙකුගේ ආර්යාවක්ද?
ඒ පාර්ශ්ව දෙකටම මම අයිති නැහැ. මම සාමාන්‍ය කාන්තාවක්.

එහෙමනම් ඔබ මේ රටේ ආදිවාසී නායකයාගේ බිරිඳවීම ගැන ඔබට මොකද හිතෙන්නේ?
ආදිවාසී නායකයාගේ බිරිඳ කියලා මට විශේෂ හැඟීමක් දැනෙන්නේ නැහැ. හැබැයි ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුම්ගත්, හිත හොඳ සැමියෙක් ලැබීම ගැන නම් මම ගොඩක් සතුටු වෙනවා.

කමලා අතරගල්ල

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>