TT Ads

නිර්මාණි උදෑසන පිබිදුනේ මුළුතැන්ගෙයින් නැගෙන සුපුරුදු හඬිනි. ඉරිදා දවසක් වුවද අදද අම්මා රැකියාවට යාමට ලහිලහියේ සූදානම් වෙමින් සිටියාය. ඇඟලුම් කම්හලක සේවය කළ නිරිමාණිගේ අම්මාට නිවාඩුවක් ලැබුණේ නම් ඒ ඉතා කලාතුරකිනි. “මේ මිනිස්සු අපිව මරව මරවා වැඩ ගන්නවා. මොනවා කරන්නද? රස්සාව නැති වුණොත් කොහොමද මම මේ තාත්තත් නැති අහිංසක දරුවො දෙන්නගේ බඩ පුරවන්නේ” නිර්මාණිගේ අම්මා දන්නා හඳුනන අයට එසේ පැවැසුවේ වරක් දෙවරක් නොවේ. පියාගේ හදිසි අභාවය නිසා බාල වියේදීම පිය සෙනහස අහිමි වූ නිර්මාණිටත්, ඇගේ නැගණියටත් එකම රැකවරණය වූයේ මව පමණි. දිනපතාම හිමිදිරි පාන්දර පිබිදෙන අමමා නිවසින් පිටව යන්නේ පාසල් යන සිය දියණියන් දෙදෙනා වෙනුවෙන් උදෑසන සහ දහවල් කෑමවේල පිළියෙළ කිරීමෙන් අනතුරුවය.
නිර්මාණිට එදින දහවල් වෙනතුරු නිදා ගැනීමට තරම් නිදහසක් ඇති දවසක් නොවේ. මන්ද, සාමාන්‍යයෙන් නම් උපකාරක පන්ති දෙකකටම එදින ඇයට සහභාගි වීමට සිදුව තිබෙන නිසාය. දහහතර වියැති නිර්මාණි ඉගෙනුම ලබන්නේ නව වැනි ශ්‍රේණියේය. තමන්ගේ පවුල වැටී සිටින වළෙන් ගොඩ ගැනීම සඳහා සිය වැඩිමහල් දියණිය හොඳින් ඉගෙනුම ලබා කවදා හෝ පවුලේ බර කරට ගනීයැයි නිර්මාණිගේ මව තරයේ විශ්වාස කළාය. කොතෙකුත් නම් අගහිඟකම් තිබුණද, සිය දියණියගේ අමතර පන්ති වෙනුවෙන් වියහියදම් කිරීමට අම්මා කිසිවිටෙකත් පසුබට නොවූයේ එබැවිනි.
පාසල් නොයනදාට හිමිදිරියේ පිබිදීම සාමාන්‍යයෙන් නම් නිර්මාණිට ඉතා අපහසු දෙයක් වුවද, අද නම් ඇය පිබිදුණේ ඊට හාත්පසින්ම වෙනස් හැඟීමකිනි. ඊට හේතුව වූයේ පෙරදින තමන් දුන් පොරොන්දුව නින්දෙන් අවදි වූ වහාම ඇයට සිහිපත් වූ නිසාය. “නංගී …. හෙට වැලන්ටයින් ඬේ එකනේ. ඒ හින්දා අපි පොඩි ගමනක් යමු. ඔයා හෙට පන්ති යන්න ඕන නෑ. හෙට දවසෙම අපි දෙන්නා එකට ඉමු” ඇයට එසේ කීවේ ඇගේ පෙම්වතා වූ හෂේන්ය. බොලිවුඞ් නළුවකුට සමාන කඩවසම් පෙනුමක් සහිත හෂේන් 26 වියැති තරුණයෙකි. ඔහු ජීවත් වූයේද නිර්මාණිගේ නිවසට යාබද නිවසකය. දෙමවුපියන්ගෙන් ලැබෙන මුදල් අත දිගහැර වියදම් කරමින් නිතරම ජේත්තුවට ඇඳ පැළඳ සිටි හෂේන් තවමත් ස්ථිර
රැකියාවක නියැළුණේ නැත. සෙල්ලක්කාර තරුණයකු ලෙස හෂේන් මුළු ගමේම ප්‍රසිද්ධව සිටියද නිර්මාණි කුඩා කල සිටම ඔහුගේ ඒ ගතිගුණවලට ප්‍රිය කළාය. දෙදෙනා අතර තිබූ කිට්ටු දැන හැඳුනුම්කම ප්‍රේම සම්බන්ධයක් බවට පෙරළී දැන් කලක් ගත වී තිබුණද, නිර්මාණිගේ මව ඒ ගැන හාංකවිසියක් නොදැන සිටියේ සිය දියණියගේ යන එන ගමන් ගැන ඕනෑවට වඩා ඇස ගසාගෙන සිටීම සහ ඒවා ගැන විමසීම නුවුමනායැයි ඇය තරයේ ඇදහු නිසාය. එබැවින් නිර්මාණිට ඇගේ වයසේ ගැහැනු ළමුන්ට නොලැබෙන තරමේ අසීමිත නිදහසක් මේ වන විට හිමිව තිබිණි.
“අම්මේ …. චතුමිණි කිව්වා අම්මා උයන කෑම හරි රහයි කියලා. අද මට එයාටත් එක්කම බත් පාර්සලයක් බැඳලා දෙනවද?” නිර්මාණි නිදි ඇඳේ සිටම ඇගේ මවට කීවේ අම්මා තමන් වෙනුවෙන් දැන් බත් මුලක් පිළියෙළ කරන බව හොඳින් දැන සිටි නිසාය. සිය හොඳම මිතුරිය වෙනුවෙන් බව කීවද ඇත්තටම ඒ බත් මුල සිය පෙම්වතා වෙනුවෙන් බව දැන සිටියේ ඇය පමණි. අම්මාද බත් මුල් දෙකක්ම සකස් කර තබා “පරිස්සමින් පන්ති ගිහින් එන්න දුවේ” කියමින් රැකියාවට පිටත්ව ගියාය.
පොරොන්දු වූ වේලාවටම නිර්මාණි, හෂේන් හමු වූවාය. “අපි අද යන්නේ අර හෝටලේට. එතන අපි දෙන්නාට නිදහසේ ඉන්න පුළුවන්” හෂේන් කීවේ නුදුරේම පිහිටි නමගිය හෝටලයක් දෙසට ඇඟිල්ල දිගු කරමිනි. මොහොතකට නිර්මාණිගේ හිතට චකිතයක් ඇතුළු විය. ඇය මින් පෙර කිසිදා ඔහු සමග මෙවැනි ගමනක් ගොස් නැත. එහෙත් ඒ විශේෂ දිනයේ සතුට විඳ ගැනීමට ඇති ආසාව නිසාම ඇය කිසිදු කතා බහකින් තොරව ඔහු පසුපස ඇදුණාය.
      
දහවල් කෑම වේලාවද පසුවෙමින් තිබුණද නිර්මාණිට කුසගින්නක් අහලකවත් තිබුණේ නැත. හෂේන් සමග පැය ගණනාවක්ම හෝටල් කාමරයේ ගත කළ ඇය තව මොහොතකින් ඔහු හැර යාමට සිදුවන්නේය යන සිතිවිල්ල නිසා අසතුටින් පසුවූවාය. ඇගේ කැමැත්ත වූයේ දවස ගෙවී, රැයපහන් වෙන තුරුම වුවද ඔහුගේ ඇසුරේ ගත කිරීමය. කෙසේවතුදු, ඔවුන්ගේ දැහැන බිඳුණේ කාමරයේ දොරට තට්ටු කරන ශබ්දයකිනි. “හෝටලේ කෙනෙක් වෙන්න ඇති” මෙසේ කියූ හෂේන් වහාම fදාර විවෘත කළේය. එහෙත් පිටත සිටියේ ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අමුත්තන් පිරිසකි. එනම්, පොලිස් නිලධාරින් සහ නිලධාරිනියන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමකි.
“අපි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයෙන්. අපට තොරතුරක් ලැබුණා මේ කාමරේ බාලවයස්කාර ගැහැනු ළමයෙක් තියාගෙන ඉන්නවා කියලා” මෙසේ පැවැසුවේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපතිවරයාය. “මේ ඉන්නේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඞ්. මෙයා බාලවයස්කාර කෙනෙක් නෙවෙයි. මෙයාට අවුරුදු 19යි.” හෂේන් වහාම පිළිතුරු දුන්නේය. හොඳයි එහෙනම් කියන්න බලන්න ඔයාගේ උපන් දිනය කවදාද කියලා.” ස්ථානාධිපතිවරයාගේ ක්ෂණික ප්‍රශ්නය ඉදිරියේ නිර්මාණිට ගොත ගැසුණේ තමන්ගේ වයස 19ක් නම් උපන් අවුරුද්ද කුමක්දැයි යන්න ඇයට එක්වරම කිව නොහැකි වූ නිසාය. කාමරයේ තැන තැන දමා තිබූ නිර්මාණිගේ පාඩම් පොත් වලින් ඔවුන්ගේ බොරුව තවදුරටත් තහවුරු විය.
“මේ ඉන්නේ අපේ ගෙවල් ළඟ ඉන්න අයියා කෙනෙක්. අපේ සම්බන්ධය අම්මාත් දන්වා. අපි දෙන්නා කවදාහරි බඳින්නයි ඉන්නේ” ළමා හා කාන්තා අපයෝජන නිවාරණ මූලස්ථානය වෙත යන අතරතුර නිර්මාණි කීවේ හඬා වැටෙමිනි. “හොඳයි එහෙනම් අම්මාට එන්න කියන්නකෝ” ස්ථානාධිපතිවරයාගේ ඒ ඉල්ලීමට අනුව නිර්මාණි මවගේ සේවාස්ථානයට දුරකථන ඇමතුමක් ලබා දුන්නාය.
      
නිර්මාණිගේ මව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණියේ නීතිඥවරයකුද සමගිනි. “මගේ දුවව මේ විදිහට අරන් එන්න මොකක්ද තියන අයිතිය? මේ පිරිමි ළමයාව තමයි මගේ දුව බඳින්න ඉන්නේ. දුව මේ ගමන ආවෙත් මට කියලයි “නිර්මාණිගේ මව ස්ථානාධිපතිවරයාට දෝෂාරෝපණය කරන්නට වූවාය. “හොඳයි, එහෙනම් ඔය කියන කරුණු කාරණා ඔක්කොම අපට ප්‍රකාශයක් විදිහට සටහන් කර ගන්න දෙන්න. එතකොට මේ මොහොතේම අපිට, බාලවයස්කාර දැරියකට ලිංගික කටයුතු සඳහා දැන දැනම ආධාර උපකාර අනුබල ලබාදීම කියන චෝදනාව යටතේ අම්මාවත් අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒක රංචු ගැසී ස්ත්‍රී දූෂණය දක්වා යන බරපතළ ගණයේ වරදක්” යනුවෙන් ස්ථානාධිපතිවරයා ඊට පිළිතුරු දුන්නේය. නිර්මාණිගේ මව මොහොතකට නිරුත්තර වූවාය. “අනේ මම මේ කිසිදෙයක් දැනගෙන සිටියේ නැහැ. මට මගේ දරුවා යන එන තැන් ගැන හොයන්න බැරි වුණා. මම හිතුවා මේ ගැන මම දන්නවා කීවොත් දරුවා ගෙදර එක්කර ගෙන යන්න පුළුවන් කියලා.”
ටික වේලාවකින් මව පිළිතුරු දුන්නේ හැඬුම්බරවය. අධිකරණ කටයුතු සඳහා හෂේන් වහාම අත්අඩංගුවට ගනු ලැබූ අතර, යළි නිවසට යාමට ඉඩ ලැබුණු නමුත් නිර්මාණිගේ නමට මේ සිදුවීමෙන් කිසිදා නොමැකෙන අන්දමේ කැළලක් එක් විය.

(ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපති මනෝජ් සමරසේකර
සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි)

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>