TT Ads

කෙනෙකුගේ ජීවිත කාලයෙන් තුනෙන් එකක් පමණ ගත කරන්නේ නිදා ගැනීම සඳහා බව ප්‍රකට කියමනක් තිබෙනවා. මේ නිසාම නිවසක ප්‍රධාන අංගයක් වන නිදන කාමරය නිසි පරිදි ක්‍රමානුකූලව ඉදිකර ගැනීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන් දෛනිකව කෙනෙක් දිගු වේලාවක් රැඳෙන එකම තැන නිදන කාමරය වන බැවින් සාලයට තරම්ම සැලකිල්ලක් නිදන කාමරයටද ලබා දිය යුතුයි.

වාස්තු විද්‍යානුකූලව ගත්විට නිවසක ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවට ගනු ලබන අතර ඉඩ ප්‍රමාණය බෙදී යන ආකාරය අනුව සුදුසු පරිදී අනෙකුත් කාමර ස්ථානගත කරනු ලබනවා. කුමන විද්‍යාත්මක පදනමක පිහිටියත් ප්‍රායෝගිකව බලපාන කරුණු රාශියක් නිදන කාමරය හා සම්බන්ධව පවතිනවා.
නිදන කාමරයේ ප්‍රමාණයනිදන කාමරයක ප්‍රමාණය ඇඳ ඇල්මාරිය හා කණ්ණාඩි මේසය නිවැරදිව ස්ථානගත වන පරිදි පිහිටුවා ගත යුතුයි. විශේෂයෙන් කණ්ණාඩි මේසයෙන් ඇඳ පරාවර්තනය නොවන පරිදි භාණ්ඩ ස්ථානගත කිරීම වැදගත්.

ඇඳ තබන දිශාව
වාස්තු විද්‍යානුකූලව ඇඳ තැබීමේදී හිස තබන පැත්ත උතුරු දිශාව නොවිය යුතු බව පැවැසෙනවා. එයට හේතුව චුම්බක ක්ෂේත්‍රය උතුරු දිශාවෙන් ක්‍රියාත්මක වන බැව් එහි බලපෑම මොළයේ ක්‍රියාකාරීත්වයට කිසියම් බලපෑමක් එල්ල වේ යැයි විශ්වාසයක් පවතින නිසායි. එසේම සෑමවිටම හිස තබන පැත්ත බිත්තියකට එල්ල වන පරිද්දෙන් තබා ගැනීමටත් මතක තබා ගත යුතුයි.

බස්නාහිර දිශාවට හිස පිහිටන අන්දමින් ඇඳ තැබීමට බොහෝ දෙනෙක් මැලි කමක් දක්වනවා. එයට ප්‍රධානම හේතුව වන්නේ මියගිය විටද දේහයේ හිස බස්නාහිර දිශාවට පිහිටන ලෙස තැබීම වීමට පුළුවන්. එසේම හිරු බැස යන බස්නාහිර දිශාව අශුභ ගෙන දෙන දිශාවක් ලෙස සිත් තුළ දැඩි විශ්වාසයක් පැවැතීමයි. නමුත් එහි වාස්තු විද්‍යානුකූල පදනමක් නැහැ. උතුරු දිශාව හැර අනෙකුත් ඕනෑම දිශාවකට හිස පිහිටන ලෙස ඇඳ තබා ගත හැකියි.

ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීම
අල්මාරිය උතුරු දිශාවට විවෘත වන පරිදි ස්ථානගත කිරීම වාස්තු විද්‍යානුකූල ඉතා සුබදායක දෙයක් බව පැවැසෙනවා. ධනයට අධිපති කුබේරා දෙවියන්ගේ ඇල්ම බැල්ම ඒ තුළින් අල්මාරියට ලැබෙන බවයි විශ්වාසය වන්නේ. ඒ නිසා තැන්පත් ධනය වැඩිවීම, වැයවීම පාලනය වීම ඒ තුළින් අපේක්ෂා කෙරෙනවා.
කාමරයේ දොර කාමරය තුළට විවෘත වන ලෙස පිහිටුවා ගත හැකිනම් වඩාත් සුදුසු වෙනවා. කාමරයේ වර්ග අඩි ප්‍රමාණයෙන් 1/7 පමණ පිහිටන පරිද්දෙන් දොර හා පිටතට ඇරෙන ජනේල යෙදිය යුතු බවයි සාමාන්‍ය නීතියේද සඳහන් වන්නේ.

වාතාශ්‍රය
කාමර ස්ථානගත කිරීමේදී විශේෂයෙන් නිදන කාමරයට හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක් තෝරා ගැනීමට කටයුතු කළ යුතුයි. වාතාශ්‍රය ලැබීම මෙන්ම වාතාශ්‍රය හුවමාරු වන්නේ නම් එයද අප විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

වර්ණ ආලේපය
නිදන කාමරය නිදහස්, නිස්කලංක සුවදායී තැනක් විය යුතුයි. ඒනිසා බිත්තිවලට වර්ණ යෙදීමේදී සිහිල් ළා පැහැ වර්ණ ආලේප කිරීමට මතක තබා ගත යුතුයි. දිලිසෙන සුළු දීප්තිමත් වර්ණ නිදන කාමරවල ආලේප කිරීමට සුදුසු වන්නේ නැහැ. දහවල් කාලයේ අඳුරු ගතිය වැඩි වන තද පැහැ වර්ණත්, රාත්‍රී කාලයේ විදුලි එළියට දිලිසෙන දීප්තිමත් වර්ණත් නිදන කාමරවල ආලේප කිරීමට සුදුසු නැහැ.නිදන කාමර සඳහා ආදරණීය වර්ණය ලෙසින් සැලකෙන්නේ ළා දම් පැහැයයි. දම් පැහැය ආශ්‍රිත ළා වර්ණ මේ සඳහා තෝරා ගත හැකිය.

තිර රෙදි යෙදීම
පිටතට ඇරෙන ජනෙල් සඳහා ඝනකම් රෙද්දකින් මැසූ තිරරෙදි භාවිත කළ යුතුයි. තිර රෙදිවල වර්ණය කාමරයේ ආලේප කර ඇති වර්ණවලට අනුව තෝරා ගැනීම ඉතා සුදුසුයි.

ජනේලවල උස
නිදන කාමර සඳහා තනිමහල් නිවෙස්වල නම් ජනේල තැබිය යුත්තේ පොළව මට්ටමේ සිට අඩි තුනක් පමණ උසින්. නිවසේ පෙනුමට ගැළපෙන ලෙස ජනේල බිම් මට්ටමේ සිට යෙදිය යුතුනම් අඩි තුනක් දක්වා ජනේල පියන ලීවලින් වැසෙන ක්‍රමයක් යොදා ගත යුතුයි.
නිදන කාමරය ස්ථානගත කිරීමේදී සෑම විටම විසිත්ත කාමරයෙන් ඈත් වන ලෙසට යොදා ගත හැකිනම් වඩාත් සුදුසුයි.

ගොතටුව දිනුදා හෝම්ස්හි
ගෘහ නිර්මාණ ශිල්පිනී වාස්තු විද්‍යා උපදේශිකා
නිසංසලා කොළඹගේ

සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>