TT Ads

සමහර කාන්තාවන් සුන්දර රූසපුවක් ලබාගන්නට නොකරන දෙයක් නැති තරම්. ඒත් එහෙම හිතෙන හිතෙන විදියට රූපලාවණ්‍ය කටයුතු කිරීම නම් නුවණට හුරු දෙයක් නෙවෙයි. මොකද රුව වඩන සත්කාර කිරීමේ දී සමට උචිත සත්කාරය මොකක්ද කියලා වටහා නොගත්තොත්, ඒක අපි නොහිතන විදිහේ සෞඛ්‍ය ගැටලු ඇති කරන්නත් හේතු වෙනවා. විශේෂයෙන් සමේ ස්වභාවය මොනවගේද කියලා හඳුනාගැනීම ඉතා වැදගත්. ඒ නිසා අද මුලින්ම අපි වියළි සමක් හිමි අයෙකුට ගැළපෙන සත්කාර පිළිබඳව අවබෝධයක් ලබා ගනිමු.

සත්කාරය ප්‍රවේශමෙන් ….

වියළි සමකට සත්කාර කිරීමේ දී ආලේපන තෝරාගත යුත්තේ බොහොමත් ප්‍රවේශමෙන්. විශේෂයෙන් වියළි සමක් හිමි ඔබ සබන් භාවිතයට පුරුදුව සිටින්නේ නම් අදම ඔබ ඒ පුරුද්ද අත් හරින එක නුවණට හුරුයි. මොකද සබන් භාවිතයෙන් සිදුවෙන්නේ සමේ පවතින වියළි බව තවත් වැඩිවීම පමණයි. එවැනි සමකට කැරට් සාරය, කෝමාරිකා, මීපැණිවල සාරය අඩංගු කැරට් ෆේස් වොෂ් එකක් භාවිතය ඉතා සුදුසුයි. ඇත්තටම එවැනි ෆේස් වොෂ් එකක් භාවිතයෙන් ඔබගේ පෙනුම නොහිතන අන්දමට වෙනස් වෙන්න පුළුවන්. අපේ රටේ විතරක් නෙවෙයි රුවැත්තියන් බහුල ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකම කාන්තාවන් තම රුව වඩවා ගැනීමේදී කැරට්වලට ලබා දෙන්නේ සුවිශේෂී ස්ථානයක්. හිතාගන්නත් බැරි විදියට සමේ පැහැපත්කම ඇති කරවන්නට කැරට්වල අඩංගු කැරටින් සංයෝගයට පුළුවන්. ආලේපනයෙන් පමණක් නෙවෙයි ආහාරයට එකතුකර ගැනීමෙනුත් ඔබ බලාපොරොත්තු වෙන සුන්දරත්වය ළඟාකර ගැනීම බොහොම පහසුවෙන් කරන්නට හැකියාව තිබෙනවා.

කාන්තාවන් විදිහට අපි නොහිතන බොහෝ දේ අපේ මුළුතැන්ගෙයින්ම සොයා ගන්නට අපට පුළුවන් . නමුත් ඒ ගැන සිතනවාට වඩා වෙළෙඳපොළේ තිබෙන ආලේපනයක් නැත්නම් කැප්සියුල් එකක් භාවිත කරන්නයි අපේ රටේ බොහෝ කතුන් උත්සාහ කරන්නේ. ඒත් වියළි සමක් සහිත අයෙකුට වඩාත් ගැළපෙන්නේ නිවෙසේ දී සකසාගත හැකි නිපැයුම්ම තමයි. මොකද ඉන් සමට සිදුවෙන හානිය අවමයි. සම වියළි වූ විට බොහොම ඉක්මනින් හානිකර තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඒ නිසා වෙළෙඳපොළෙන් නොදන්නා නිෂ්පාදනයක් අරගෙන භාවිත කිරීමෙන් ඇතිවෙන ආසාදනවලට මුහුණ දෙනවාට වඩා දන්නා කියන ස්වාභාවික පෝෂකයක් දෙයක් භාවිතයට යොමුවීම ඉතා සුදුසුයි.

ස්ක්‍රබ් එක වැදගත්..

ඇත්තටම සමේ අක්‍රීය සෛල තැන්පත් වීම සමේ වියළි බව ඇතිවීමට බලපාන තවත් හේතුවක්. ඒ නිසා ස්ක්‍රබ් එකකින් මැරුණු සම ඉවත් කිරීම කළ යුතු වෙනවා. ඒ සඳහා රත් හඳුන්, ඉරිඟු සාරය හා රෙඞ් ස්ට්‍රෝබෙරි අඩංගු ස්ක්‍රබ් එකක් භාවිතා කරන්නට හැකියාව තියෙනවා. ස්ක්‍රබ් එකකින් රෝම කූපවල අවහිරතා දුරලනවා. සුදු සහ කළු ලප ඉවත් කරනවා. එමගින් සම සුමුදු කරනවා.

කොහොමත් වියළි සම ඉතාමත් ඉක්මනින් රැලි වැටෙන්නට ඉඩ තියෙනවා. විශේෂයෙන් ඇස් වටා රැලි වැටුණොත් වයසට වඩා වයස්ගත පෙනුමක් ගෙන එනවා. මේ තත්ත්වය පාලනය කරගන්න නම් ඒ වෙනුවෙන් අන්ඩර් අයි ක්‍රීම් එකක් භාවිතයට ගන්නට වෙනවා. එසේ ඇස් වටා රැලි ඇතිවී ඇත්නම්, එයට ප්‍රතිකර්මයක් ලෙසින් ආමන්ඞ්, ඉඟුරු, දාස්පෙතියා සහ ඔලිව්වල ක්‍රියාකාරී ශාකසාර සහිත අන්ඩර් අයි ක්‍රීම් එකක් භාවිතයට ගන්නට පුළුවන්. එවිට ඔබ නොසිතන අයුරින් ඔබේ පෙනුම වෙනස් වේවි.

ශාකසාර මොයිස්චරයිසර්…

ස්ක්‍රබ් එකකින් පසුව සමේ තෙතමනය ආරක්ෂා කරගන්නට මොයිස්චරයිසර් එකක් ආලේප කරන්නට ඕනේ. සැබැවින්ම මොයිස්චරයිසර් එකකින් සමේ තෙතමනය ආරක්ෂා කරනවා විතරක් නෙවෙයි, සම පෝෂණය කරනවා. එය ඉතාම වැදගත් වගේම අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසාමයි ස්ක්‍රබ් එකකින් පස්සේ විටමින් ඊ අඩංගු මොයිස්චරයිසර් එකක් භාවිතයට ගැනීම සුදුසුයි කියා කියන්නේ.

එවිට සම මනා සේ පෝෂණය කරනවා. ඉතින් ඔබ මෙහිදී භාවිතයට ගන්නට ඕනේ ශාකසාර අඩංගු විටමින් ඊ සහිත දිවා මොයිස්චරයිසර් එකක්. අලිගැටපේර, සෝයා ආමන්ඞ් සහ කෝමාරිකා අඩංගු විටමින් ඊ ක්‍රීම් එකකින් වියළි සම මනා සේ පෝෂණය කරනවා.

මෙසේ සමට ගැළපෙන ආලේපන වර්ග තෝරාගන්නවා වගේම අලුත් එළවළු, පලතුරු, පලා වර්ග ආහාරයට ගැනීමත් ප්‍රමාණවත් ජලය පානය කිරීමත් බොහෝ වැදගත් බව නම් තේරුම් ගත යුතු වෙනවා. එහෙම නොවුණොත් කොතෙක් රූපලාවන්‍ය සත්කාරක කළත් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ළඟාකර ගැනීම අසීරුයි.

තමාරා කල්හාරි

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>