TT Ads

 

සාමාන්‍යයෙන් ලෝකයේ වයස්ගතම පුද්ගලයන් ගැන වාර්තාවන්නේ චීනයෙනි. ඒ අතර පසුගියදා චීනයේ සිටින අමුතුම වයස්ගත හාද‍යෙක් ගැන වාර්තා විය. ඔහු වාන්ග් ලේෂාන්ලග් ය. ඔහුගේ වයස අවුරැදු 80කි. නමුත් ඔහු තවමත් ඉලන්දාරියකුගේ පෙනුමැති හාදයෙකි. මේ නිසා ඔහු චීනය තුළ ප්‍රසිද්ධව සිටින්නේ “ඉලන්දාරි සීයා” හැටියට ය. හැට පැන්නත් වඳුරා බිම නොයයි කියන්නාක් ‍මෙන් අසූ හැවිරිදි වාන්ග් දැන් චීනයේ විලාසිතා ලෝකයේ තරුණයන් පරදවා අංක එකේ නිරූපණ ශිල්පියා බවට පත්ව සිටියි.
ඊසාන දිග චීනයේ ෂෙන්යැන්ග් නගරයේදී 1936 දී උපත ලබා ඇති වාන්ග් ජීවිතය අරඹා ඇත්තේ අභිරූපණ ශිල්පියකු ලෙසිනි. දැන් වයස 80ක් වුවත් ඉලන්දාරියකුගේ කඩවසම් පෙනුම රැකගැන්ම ඔහු ආරම්භ කර ඇත්තේ අවුරුදු 50 එළැඹීමත් සමගය. එදිනෙදා ජීවිතයේ මොන ගැටලු‍ව ආවත් දිනපතා කරන පිහිනුම් ව්‍යායාමය ඔහු අමතක කරන්නේ නැත. පසුගිය වසර 30ක කාලය තුළ ඔහු නොකඩවා එය පවත්වාගෙන විත් තිබේ. වාන්ග් විලාසිතා නිරූපණ ශිල්පියකු වී ඇත්තේද අහඹු සිදුවීමකිනි.
චීන විලාසිතා නිර්මාණකරුවකු වන “හූ ෂෙගුආන්“ තමන්ගේ 2015 වසරේ චීන විලාසිතා සතිය උදෙසා නිර්මාණ සකසමින් සිටි කාලයේ හදිසියේම වයස ගියත් ඉලන්දාරි පෙනුම ඇති වාන්ග් ගැන ඔහුට දැනගන්නට ලැබී තිබේ. හූ ගේ විලාසිතා දැක්මට සංගීතය සම්පාදනය කර ඇත්තේ ක්‍යු ක්‍යු වාන්ග්ය. ඔහුගේ ජංගම දුරකතනයේ පසුබිමට යොදා ඇත්තේ කඩවසම් තරුණ සිරුරක් ඇති මුහුණ පුරා වැඩුණු සුදු රැවුලක් සහිත හිත් කා වදින වයස්ගත තැනැත්තෙකුගේ ඡායාරූපයකි.
“කවුද මේ ඉලන්දාරි සීයා,” හූ; ක්‍යු ක්‍යු ගෙන් විමසා තිබේ. “මේ මගේ තාත්තා” ක්‍යු ක්‍යු ගේ පිළිතුරත් සමග හූ හට ජ්‍යෙෂ්ඨ වාන්ග් මුණ ගැසීමට අවශ්‍ය විය. ඒ තමන්ගේ 2015 විලාසිතා සතියේ “කැට් වෝක්” 11 දැක්මට මේ ඉලන්දාරි සීයා යොදා ගනිමින් පෙරැළියක් කරන්නට ය. සීයාද විලාසිතා ලෝකයට එළැඹෙන්නට එක පයින් කැමැති විය. 2015 චීන විලාසිතා සතිය නොසිතූ විරූ ආකර්ෂණයක් දිනා ගත්තේය. ඒ අතර ඉලන්දාරි සීයා වාන්ග් එක රැයින් තරුවක් බවට පත්වූයේය. දැන් ඔහු නැති විලාසිතා සංදර්ශනයක් චීනයේ නැති තරම්ය.


විලාසිතා ලොවට එන්නට පෙර වාන්ග් චීනයේ මෙන්ම හොලිවුඞ් චිත්‍රපට වලද රඟපා තිබේ. ඒවා බොහෝමයක් සටන් කලා චිත්‍රපටය. . වාන්ග් තවමත් ඉලන්දාරියකුටත් වඩා කඩිසරය. ඔහු වයස අවුරුදු 60දී චිත්‍රපට දර්ශනයක් සඳහා මාසයක කාලයකදී අශ්වයකු පිට යන්නට හොඳ පුහුණුවක් ලැබුවේය. වයස 72දී මෝටර් සයිකලයක් පැදවීමට පුහුණුව ලද්දේය. අලු‍ත් යමක් ඉගෙන ගන්නට වයස පරහක් නොවන බව ඔහුගේ අදහසය. “දැන් අපි වයසනේ, තරුණ කා‍ලේ වගේ බෑ” වැනි සිතිවිලි වාන්ග් දකින්නේ ජීවිතයෙන් පලායාමක් හැටියටය. “ඕනෑම දෙයක් කරන්න තාමත් පරක්කු නෑ,” යන්න වාන්ගේ අදහසයි.
“මගේ ළඟ ලොකු ප්ලෑන් නෑ. එන ඕනෑම දෙයක් බාරගන්නවා. ඒ වෙනුවෙන් උපරිමයෙන් කැපවෙනවා.” ඔහු කියන්නේ එවැනි කතාවකි.
චිත්‍රපට ලෝකය, විලාසිතා ලෝකය පමණක් නොව සමාජ වෙබ් අඩවි තුළද කැපිලා පේන හාදයෙක් බවට පත්ව සිටින වාන්ග් ලබන වසරේ ලෝක විලාසිතා සංදර්ශන සතියේදීද සුපිරි මට්ටමේ වැඩ ටිකක් පෙන්වන්නට සිතා සිටියි.

නිශානි අත්තනායක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>