TT Ads

විවාහාපේක්ෂිත යුවළකගේ හඳහන් පරීක්ෂා කර බැලීම අදටත් මේ සමාජය තුළ ප්‍රචලිතව පවතින සිරිතකි. එයට හේතුව එම විවාහයේ සාර්ථක අසාර්ථකභාවය, ගැළපීම් නොගැළපීම් කේන්ද්‍ර අනුව දැන ගත හැකි වේය යන විශ්වාසයයි.

 

මෙහි සඳහන් කොටුව බලන්න. කේන්ද්‍රයක විවාහ ජීවිතය පිළිබඳව කතා කරන්නේ හත්වැන්නයි.
හත්වැන්න ශුද්ධ වශයෙන් පැවැතියහොත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ හැකි බව ජ්‍යොතිෂයෙහි දැක්වේ. ශුද්ධ වශයෙන් පැවැතීම යනු හත්වැන්නේ පාපී ග්‍රහයකු නොසිටීමයි. පාප ග්‍රහයකු සිටීම විවාහයට බාධා ඇති කරවන්නකි.
දැන් ඔබට ඇති වන ගැටලුව පාපී ග්‍රහයන් කවුද යන්න විය හැකිය.
පාපී ග්‍රහයන් යනු කුජ, ශනි, රාහු සහ කේතුය. මේ ග්‍රහයන් හත් වැන්න දැක්මද විවාහයට බාධා ඇති කරවයි.

 

හත්වැන්න දැකීම යනු කුමක්ද?
ජ්‍යොතිෂයෙහි එය දක්වන්නේ මෙසේය.
කේන්ද්‍රයෙහි ලග්න කොටුවේ (ඉහත දක්වන ලද කොටුව) 1, 4, 12 යන ස්ථානයක කුජ ග්‍රහයා සිටියොත් එවිට හත් වැන්න කුජට පෙනෙයි. එය විවාහයට බාධා ඇති කරවන පිහිටීමකි.
එසේම කේන්ද්‍රයෙහි 1, 3, 10 යන ස්ථානයක රවි හෝ ශනි ග්‍රහයා සිටියොත් එවිටද එම ග්‍රහයන්ට හත්වැන්න පෙනේ. මෙයද යහපත් පිහිටීමක් නොවේ.පාපී ග්‍රහයන් වන රාහු සහ කේතුගෙන් නරකක් සිදු වන්නේ එය හත් වැන්නේ පිහිටියොත් පමණි.
විවාහයට බලපාන තවත් ස්ථාන දෙකක් නම් දෙවැන්න සහ අටවැන්නයි.අටවැන්නෙන් පැවැසෙන්නේ සහකරුගෙන්, සහකාරියගෙන් ලැබෙන ධනය ආදී දායාද පිළිබඳවයි. අටවැන්නේ රවි, ශනි, කුජ, රාහු, කේතු වැනි පාපී ග්‍රහයකු සිටියොත් විවාහයේදී සහකරුගෙන් හෝ සහකාරියගෙන් කිසිදු දායාදයක් නොලැබී යා හැකිය.

කේන්ද්‍රයෙහි දෙවැන්න
කුටුම්භස්ථානයයි. කුටුම්භය යනු නිවසයි. දෙවැන්නෙහි පාපී ග්‍රහයකු සිටීම යනු නිවස තුළ ප්‍රශ්න, අර්බුද ඇතිවීමය.
මේවා බාධා ලෙස සැලකුවත් ඔබ ඉන් සැලිය යුතු නැත. හේතුව, මෙම බාධා කැපී යන අවස්ථාද තිබේ. එසේ වන්නේ 2,7,8 යන ස්ථානවල අනෙක් පුද්ගලයාගේ (සහකරුගේ/සහකාරියගේ) පාපී ග්‍රහයන් සිටින විටය. මෙය විසෙන් විස නසන න්‍යාය ලෙස හැඳින්විය හැකිය.නමුත් ඉහතින් දැක්වූ අසුබ ස්ථානවල ගුරු ග්‍රහයා පිහිටියොත් සියලු දෝෂ නැතිවේ. ගුරුට තමන් සිටින ස්ථානයෙහි සිට ගණන් බලන විට 5, 7, 9 යන ස්ථාන පෙනෙයි. (නිදසුනක් ලෙස කේන්ද්‍රයෙහි ගුරු සිටින්නේ 3 වෙනි ස්ථානයෙහි නම් එතැන් සිට 5 වෙනි ස්ථානය යනු කේන්ද්‍රයෙහි 8 වන කොටුවයි) මෙසේ ගුරුට පෙනෙන තැනක පාපග්‍රහයෙක් සිටියොත් ගුරු නිසා එම දෝෂ කැපී යනු ඇත. එසේ නොතිබුණොත් එම විවාහයේ ගැටලු මතු වීමට ඉඩ තිබේ.විවාහයක් මූලික වශයෙන් සාර්ථකද අසාර්ථකද කියා සොයා බලන්නට මෙම පිහිටීම්වලින් හැකියාව ලැබෙන අතර වැඩි පුරම බලපාන්නේ කේන්ද්‍රයෙහි 7, 8 සහ 2 යන ස්ථානයි.පොරොන්දම් බැලීම යනු සුදුසු නුසුදුසු බව මැනීමය. පොරොන්දම් විස්සෙන් වැඩි ප්‍රමාණයක් ගැලපීම සාර්ථක විවාහ ජීවිතයකට අවශ්‍ය බව ජ්‍යොතිෂයෙහි දැක්වේ. එය කේන්ද්‍ර දෙකක් එකිනෙක විමසා බැලීමෙන් කිව යුතුය.

උපදෙස්
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
ශාස්ත්‍රාචාර්ය අමරසේන වේගිරිය

සැකසුම
ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>