TT Ads

නවසිලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඞ්න් කොරෝන් වසංගතයෙන් තමන්ගේ රට ආරක්ෂා කර ගන්න ගත් දැඩි තීරණ නිසා ලෝකයේම රාජ්‍ය නායකයන්ගේ ප්‍රශංසාවට ලක් වුණා. ඒ වගේම කොරෝනා වෛරසය පැතිරීම පාලනය කළ පළමු රට නවසිලන්තය කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්තා කරලා තිබෙනවා. මේ නිසාම බීබීසී සේවයේ සුප්‍රකට මාධ්‍යවේදිනි වික්ටෝරියා ඩර්බයිෂයර් විසින් ජසින්ඩා ආඞ්න් සමග සම්මුඛ සාකච්ඡාවක් සිදු කරනු ලැබුවා.
සාර්ථකව වසංගතය පාලනය කිරීම නිසා ඔබ නැවත වරක් ලෝක බලවතුන්ගේ අවදානයට ලක් වුණා?
මේ විදියට තීරණ ගත්තේ මම තනියම නෙවෙයි. මේ වගේ අවස්ථාවක කරන්න ඕනෙ දේවල් ගැන මම අවුරුද්දේ මුල් කාලයේම වෛද්‍ය විශේෂඥයන් එක්ක සාකච්ඡා කළා. ඒ අනුව කරන්න පුළුවන් සුදුසුම දේ සුදුසුම වෙලාවෙ ක්‍රියාත්මක කරපු එක තමයි මම කළේ.
රටක් වසා දැමීම ආර්ථිකයට විශාල පාඩුවක්. කොහොමද ඔබ ඒ තත්වය සැළකා බැලුවේ?
ආර්ථිකයට වඩා මිනිස් ජීවිත වැදගත් වෙන්නේ නැද්ද? එදා මම ඒ තීරණය ගත්තේ නැති වුණා නම් අද මේ රටෙත් මරණ සංඛ්‍යාව ඉලක්කම් පහේ හයේ අගයක් වෙන්න තිබුණා.
මේ නිසා ඔබ විපක්ෂයේ දෝෂදර්ශනයටත් ලක් වුණා?
ඒක සාමාන්‍යයි. විපක්ෂයක් ඉන්නේ ඒකටනෙ. කළ යුතු හොඳම දේ කරනවා මිස බහුතර කැමැත්ත විමසන්න පුළුවන් තත්වයක් නෙවෙයි මේ වසංගතය.
ඔබ කාලයක් නිරාගමිකව හිටියා නේද?
ඔව්. මම එක්තරා කතෝලික නිකායකට සම්බන්ධ වෙලා හිටියා. 2005 අවුරුද්දේ නිකායේ ප්‍රධානීන් මට ඉන් ඉවත් වෙන්න කියලා බල කළා. ඒ නිසා මම ඉන් ඉවත් වෙලා නිරාගමිකව හිටියා.
ඇය ඔවුන් ඔබට ඉවත් වෙන්න කියලා බල කළේ?
මගේ සමාජ සේවා වැඩ කටයුතු ඔවුන්ගේ නිකායට පටහැනි වීම. මම සමාජ ක්‍රියාකාරිනියක බවට පත් වුණේ සමලිංගික අයිතීන් ගැන ප්‍රසිද්ධියේ ක්‍රියා කිරීම නිසයි. සමලිංගිකත්වය පාපයක් කියන තැන ඔවුන් හිටියේ.
ඇයි ඔබ ඔය තරම් සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නේ?
යමෙකුට උපතින් සමලිංගික හැඟීම් ඇතිවීම හෝ පසුකාලීනව එවැනි හැඟීම් ඇතිවීම වරදක් නෙවෙයි. එය ඔවුන්ගේ වුවමනාවට සිදුවෙන දේකුත් නෙවෙයි. ඒක ස්වභාවික සංසිද්ධියක්. ඉතින් ඇයි අපි ඒ ස්වභාවික සංසිද්ධියට පිටුපාන්නේ? අපිට පුළුවන් ද ස්වභාවික සංසිද්ධියකට විරෝධය දක්වන්න?
ඔබත් සමලිංගික ලෝලියෙක් කියලා ඒ දවස්වල චෝදනා එල්ල වුණා?
ඒක සාමාන්‍ය දෙයක්නෙ. ඔය කතාබහ ඇති වෙද්දි මම හිටියේ විවාහ වෙන වයසේ. මගේ විවාහය ප්‍රමාද වීම මම සමලිංගික කෙනෙකු බවට පත් කිරීමට ඔවුන් හේතුවක් කර ගත්තා. මම එහෙම කෙනෙක් නම් ඒ බව ප්‍රසිද්ධියේ කියන්න මම කිසිසේත්ම ලැජ්ජා වෙන්නේ නැහැ. ඒක මානසික තත්වයක් මිස අසනීපයක් නෙවෙයි.
ඉන් අවුරුදු 15 කට පස්සෙත් තාමත් ඔබ විවාහ වෙලා නැහැ?
ඔව්. මගේ පෙම්වතා ක්ලාක් ගේෆෝල්ඞ්ට දාව මට අවුරුදු දෙකක දුවෙක් ඉන්නවා. අපි තාම පෙම්වතුන්. විවාහ වෙන්න ඕනෙම කියලා හිතුණොත් අපි විවාහ වෙනවා. තාම එහෙම හිතිලා නැහැ. සමහරටවි එහෙම හිතෙන එකකුත් නැහැ.
ඔහු කාන්තා ආකර්ශණය දිනාගත් සුප්‍රසිද්ධ රූපවාහිනී නිවේදකයෙක්. ඔහු කොහොමද ඔබේ ආකර්ශණය දිනා ගත්තේ?
මම මිතුරෙකුගේ මාර්ගයෙන් ඔහුව හඳුනාගත්තේ 2012 දි. ඒ වෙද්දි ඔහු රූපවාහිනී චරිතයක් කියලා දැනගෙන හිටියත් ඒ තරම් ප්‍රසිද්ධ කෙනෙක් කියලා හිතුණේ නැහැ. කොහොම වුණත් ඔහුගේ මිත්‍රත්වය මට ඉතාම ප්‍රිය වුණා. ඒ සමාගමය නැතිව බැරි තත්වයට පත් වුණා කිව්වොත් හරි. ඉන් පස්සේ එය ආදරයක් බවට පත් වුණා.
ඔබේ සමලංගික අයිතීන් සුරැකීමේ ක්‍රියාවලිය නිසා ඔබත් එවැනි කෙනෙක් කියලා හිතලා ඔහු ඔබට විවාහ යෝජනාවක් නොකර ඉන්නවා වෙන්න බැරිද?
මම විරුද්ධ ලිංගික හැඟීම් සහිත කාන්තාවක් බව ඔහු හොඳින්ම දන්නවා. අනිත් එක ඔබ කිව් දේ ඔහුට හිතෙනවා නම් ඔහුගෙන් මට දරුවෙක් ඉන්න විදියක් නැහැනෙ.
මේ වෙද්දි ඔහු නවසිලන්තයේ ප්‍රබලම කාන්තාවගේ පෙම්වතා. ඒ ගැන ඔහුට දැනෙන්නේ කොහොමද?
අපේ ගෙදර ප්‍රසිද්ධ නිවේදකයෙක්වත් අගමැතිවරියක්වත් නැහැ. ඉන්නේ ඔහුයි මමයි අපේ දුවයි විතරයි. ඔහුට මාව දැනෙන්නේ ඔහුගේ පෙම්වතිය සහ දුවගේ අම්මා විදියට විතරයි. මටත් එහෙමයි.
ඔබේ ගෙදර සේවකයෝ නැහැ කියලා මාධ්‍යවල වාර්තා වෙනවා. ඒ ඇත්තද?
මට කාර්යාලීය වැඩවලට පෞද්ගලික ලේකම් කෙනෙක් ඉන්නවා. වෙන කිසිකෙනෙක් නැහැ. අඩුම තරමින් පෞද්ගලික ආරක්ෂකයෝ පවා නැහැ. ගෙදර වැඩ අපි දෙන්නා පුළුවන් විදියට කරගන්නවා. මම වැඩවල නම් ඔහු දුව බලා ගන්නවා. අපි දෙන්නම වැඩවල නම් දුව එයාගෙ ආච්චි අම්මා එක්ක ඉන්නවා. ගොඩක් වෙලාවට මම පාර්ලිමේන්තු සැසිවාරවලට යන්නෙත් දුව එක්ක.
දුව නිසා ඔබ වාර්තාගත වුණා නේද?
ඔව් ඇයි නිසා මම අග්‍රාමාත්‍ය තනතුරේ ඉද්දි දරු ප්‍රසූතිය සිදුකළ නවසිලන්තයේ පළමු කාන්තාව සහ ලෝකයේ දෙවෙනි කාන්තාව විදියට වාර්තාගත වුණා. (අග්‍රාමාත්‍ය තනතුරේ ඉද්දි දරු ප්‍රසූතිය සිදුකළ ලෝකයේ පළමු කාන්තාව පාකිස්ථානයේ බෙනාසීර් භූතෝ මහත්මියයි). ඊටත් වඩා මාව අම්මා කෙනෙක් කරපු සහ අපේ ආදරය ශක්තිමත් කරපු බැම්ම තමයි ඇය.
දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>