TT Ads

වර්තමානයේ බොහොමයක් ආයතනවලට ඇතුළුවීමේදී නළලට සමීප කර තබන යම් උපකරණයක් මගින් ශරීර උෂ්ණත්වය මනින ආකාරයක් දකින්නට ලැබේ. සාමාන්‍යයෙන් අප දන්නා උෂ්ණත්වමානවලින් ශරීර උෂ්ණත්වය මැනීමේ දී එය විනාඩි කීපයක් රෝගියාගේ ශරීරයට ස්පර්ශ කර තැබිය යුතු නමුත් මෙකී උපකරණය රෝගියාගේ සිරුරේ ස්පර්ශ කිරීමකින් තොරව ඉතා අඩු කාලයකින් ශරීර උෂ්ණත්වය පිළිබඳ පාඨාංක ලබා දේ. මෙම උපකරණය මගින් කොතෙක් දුරට නිවැරදි පාඨාංක ලබා ගත හැකිද යන්න පිළිබඳව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය දිනේජ් සුදර්ශන චන්ද්‍රසිරි මහතා පැහැදිලි කළේ මෙසේය.

වර්තමානයේ වගේ වසංගත තත්ත්වයකදී රසදිය උෂ්ණත්වයමානය භාවිත කිරීම යම් ආකාරයක අවදානම් තත්ත්වයක්. රසදිය උෂ්ණත්වමානයෙන් රෝගියෙකුගේ උෂ්ණත්වය මනිද්දී රෝගියා සහ උෂ්ණත්වය මනින පුද්ගලයා අතර ඇතිවන සම්බන්ධතාව වැඩියි. ඒ කියන්නේ වෛරස රෝගයක් නම් බෝ වීමේ ප්‍රවණතාව ඉතාම වැඩියි.”
ඒ නිසා රෝගියා ඍජුව ස්පර්ශ නොකර උෂ්ණත්වය මැනිය හැකි උපකරණයක අවශ්‍යතාව ඇති වුණා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි අද බහුලවම දකින්න ලැබෙන අධෝරක්ත උෂ්ණත්වමානය නිර්මාණය වෙන්නේ. මෙය 80 දශකයේ නිර්මාණය වුණත් පේටන්ට් බලපත්‍රය ලබාගෙන වෙළෙඳපොළට නිකුත් කරලා තියෙන්නේ 2002 අවුරුද්දේදියි. අයි ආර් උෂ්ණත්වමාන මිනිසා සඳහා විතරක් නෙවෙයි කාර්මික ක්ෂේත්‍රයේත් පාවිච්චි කරනවා.”
“අධෝරක්ත උෂ්ණත්වමාන වර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි අතේ තියාගෙන රෝගියාගේ නළලට සමීප කර උෂ්ණත්වය මනින අපි මේ දවස්වල දකින්න ලැබෙන වර්ගය. අනිත් එක එකතැනක සවි කර තැබිය හැකි Thermal scanner නමින් හඳුන්වන ගුවන්තොටුපළ, වරායවල සවි කර මගීන්ව ස්කෑන් කර උෂ්ණත්වය මනින එක.”

“මෙය භාවිතය ඉතාම පහසුයි. එය රෝගියාට ස්පර්ශ වෙන්නේ නැති නිසා මෙමගින් රෝගය බෝ වීමක් සිදු වෙන්නේ නැහැ. එය රෝගියාගේ සිට සෙන්ටිමීටර් 3ත් 5ත් අතර දුරකින් තබා උෂ්ණත්වය මනින්න පුළුවන්. නමුත් අනිත් උෂ්ණත්වමානවලින් පාඨාංක ලබාගන්න දිගු වෙලාවක් යනවා. නමුත් මෙය තත්පරයකට අඩු කාලයකදී පාඨාංක ලබා දෙනවා. ඒ වගේම අනිත් උෂ්ණත්වමාන වීදුරු නිසා ඕනෑම වෙලාවක බිඳෙන්න පුළුවන්. රසදිය උෂ්ණත්වමානයේ රසදිය විෂ වුණු අවස්ථා ඕනතරම් තිබෙනවා. මෙය අනිත් උෂ්ණත්වමාන වගේ රෝගියාගෙන් රෝගියාට පිරිසිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.”

“නමුත් විවිධ හේතු නිසා මෙහි පාඨාංක වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට වඩා වැඩි නම් අධෝරක්ත උෂ්ණත්වමානයෙන් නිවැරදි පාඨාංක ලබා ගන්න බැහැ. පරිසරයේ ආර්ද්‍රතාව සියයට 85 ට වඩා වැඩි නම් නිවැරදි පාඨාංක ලබා ගන්න බැහැ. මෙය ප්‍රබල විද්‍යුත් චුම්බක තරංග සහිත ප්‍රදේශයකදී නිවැරදි පාඨාංක ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ මොබයිල් ෆෝන් එක ළඟ තබාගෙන මෙයින් ලබා ගන්නා පාඨාංක නිවැරදි නැහැ. ඒ වගේම මෙහි තිබෙන සංවේදකය නිසා බිම වැටුණොත් ක්‍රියා විරහිත වෙන්න පුළුවන්. මේ වගේ හේතු නිසා අධෝරක්ත උෂ්ණත්වමාන නිෂ්පාදනයේදීම දෝෂ පරාසයක් විදියට සෙල්සියස් අංශක දෙක බැගින් ඉදිරියටත් පසුපසටත් ලැබෙන්න පුළුවන් කියලා නිෂ්පාදකයන් කියනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුගේ උෂ්ණත්වය දෙවතාවක් මැන පාඨාංක ලබා ගැනීම අනිවාර්ය වෙන්න ඕනේ.”

“අධෝරක්ත උෂ්ණත්වමානයෙන් උෂ්ණත්වය මැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක්ම තියෙනවා. පළමුවැන්න තමයි අධෝරක්ත උෂ්ණත්වමානයකින් ශරීර උෂ්ණත්වය මනින්න කලින් ඒකේ උපදෙස් පත්‍රිකාව කියවලා ඒ උෂ්ණත්වමනයට අදාළව උෂ්ණත්වය මැනිය යුතු ස්ථානය ගැන හරියට දැන ගන්න ඕනේ. සමහර විට නළල ඉදිරිපස වෙන්න පුළුවන්, නළලේ පැත්තකින් වෙන්න පුළුවන්. ඒ නිසා උපදෙස් පත්‍රිකාවේ සඳහන් ස්ථානය මැන පාඨාංක ලබාගත යුතුයි. දෙවැන්න නළලේ දහඩිය තිබීම, කෙස් ගස් වැටී තිබීම, හිස් ආවරණවලින් වැසී තිබීම කියන කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නළලට කෙළින්ම ඉර අව්ව වැටී නොතිබිය යුතුයි. වේගයෙන් දුවගෙන ආපු කෙනෙක්ගේ උෂ්ණත්වය මනිනවා නම් විනාඩි කීපයක් ඒ කෙනාව නිෂ්චලව තැබීමෙන් පස්සේ තමයි පාඨාංක ලබා ගත යුතු වන්නේ. අනිවාර්යයෙන්ම දෙවතාවක් පාඨාංක ලබා ගැනීමත් වැදගත්. ඒ වගේම අධෝරක්ත උෂ්ණත්වමානයකින් මාදිලි 3 ක් ඔස්සේ උෂ්ණත්වය මැන ගන්න පුළුවන්. ඒ තමයි Body mode  ශරීර උෂ්ණත්වය,Surface mode යම් පෘෂ්ඨයක උෂ්ණත්වය, Room mode පරිසරයේ උෂ්ණත්වය. මේ තුනෙන් ගැළපෙන(mode) මාදිලිය තෝරා උෂ්ණත්වය මැනීම වැදගත්.Body mode එකට දාලා පෘෂ්ඨයක උෂ්ණත්වය මැනීමෙන් හෝ Room mode එකේදී ශරීරයේ උෂ්ණත්වය මැනීමෙන් නිවැරදි පාඨාංක ලැබෙන්නේ නැහැ.

දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>