TT Ads

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ

විශේෂඥ මනෝවෛද්‍ය

රූමී රූබන්

 

හතළිස් වියැති තම පුතු වන කුමාරට ඔහුගේ වෙන්ව හිඳින බිරිඳ වන සාමාගේ බාල සොයුරකු විසින් පහර දී ඇතැයි යන පුවත සැලවූ සැණින් කුමාරගේ දෙමාපියෝ මහත් සේ කලබලයට පත්වූහ. ඒ අනුව ඒ වනවිටත් නිවසින් පිටත ඇවිදින්නට ගොස් සිටි කුමාර හමුවූ ඔහුගේ මාපියෝ සිදුවූයේ කුමක්ද යන්න ඔහු වෙතින් විමසා සිටියේ කිසිවක් තේරුම් ගත නොහැකිවය.

එවිට කුමාර තමන්ට කිසිවකු පහර නොදුන් බවත් මුහුණේ දක්නට ලැබෙන සුළු තුවාල ලිස්සා වැටීමක් නිසා ඇති වූ ඒවා බවත් සිනාසෙමින් කියන්නට විය. දැන් වසර කිහිපයක සිට ඔහු එලෙස ජීවිතය පිළිබඳ කිසිදු බරක් පතලක් නොමැතිව කටට එන එන දේ කියමින් සිනාසෙන බව කුමාරගේ දෙමාපියන්ට ද රහසක් නොවිණි. හිටිහැටියේ පාසල් යෑමට නොහැකි බවත්, පාසල් යාමට තබා ජීවත් වීමට ආසාවක්වත් තමන් තුළ නොමැති බවත් කියමින් සාමාන්‍ය පෙළ ඉගෙනුම ලබන අවධියේ ජීවිතයේ බොහෝ කටයුතුවලින් ඉවත් වී නිවස තුළම සිරවී සිටි කුමාරගේ ඒ ස්වභාවය වසර කිහිපයකින් මඳින් මඳ දුරුවිය. නමුදු ඔහුගේ සමවයසේ මිතුරන්ට මෙන් උසස් අධ්‍යාපනයට පිවිසීමට නොහැකි වූ ඔහු වයස අවුරුදු විසි දෙකේදී රියැදුරු බලපත්‍රයක් ගෙන එම ප්‍රදේශයේම ව්‍යාපාරිකයකු යටතේ ලොරි රියැදුරකු වශයෙන් රැකියාවට පිවිසුණි. එහෙත් වසර පහකට පමණ පසු ඔහු ඒ අතරේ අළු කෙසෙල් කැන් දෙක තුනක් ගොවීන්ගෙන් මිලට ගෙන වෙළෙඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපාරයකට මුල පිරීය. එය මඳින්මඳ දියුණු වීමෙන් වසර කිහිපයකින් පසු ප්‍රදේශයේ ලොකුම අළු කෙසෙල් තොග සැපයුම්කරුවා වීමට කුමාරට හැකි විය. ඔහුගේ මෙම ප්‍රගතිය කොතෙක්ද යත් ඔහු සමග පාසල් අධ්‍යාපනය ලත් මිතුරන් පසුව විශ්වවිද්‍යාල උපාධි ලබා රැකියා විරහිතයන් වී නිවෙස්වලට වී සිටින අතරේ නව නිවසක සහ වාහන කිහිපයක හිමිකරු වීමටද කුමාරට හැකියාව ලැබිණි.

පාරම්පරික ඉඩම් හිමි වැවිලිකරුවකුගේ පවුලේ වැඩිමල් දියණිය වන සාමා කුමාරට විවාහ කර දීම සඳහා ඇගේ පාර්ශ්වයෙන් විවාහ යෝජනාවක් පැමිණියේ ඔය අතරේය.
කිසිවෙකුගේ ආධාර උපකාර නොමැතිව ඉතා කෙටිකලක් තුළ ස්වෝත්සාහයෙන් ජීවිතය ගොඩ නගා ගැනීමට කුමාරට තිබූ හැකියාව පිළිබඳව ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබීම සාමා පිළිබඳ මෙම විවාහ යෝජනාව ගෙන ඒම කෙරෙහි ඇගේ මාපියන් උනන්දු කරවන්නට ඇත.

කෙසේ හෝ වයස අවුරුදු තිස් හතරේදී සාමා සමග යුග දිවියට එළැඹුණු කුමාර ගත වූ වසර පහ තුළ දරු දෙදෙනකුගේ පියකු බවට ද පත්විය. එහෙත් මීට වසරකට පමණ පෙර සිට කුමාරගේ හැසිරීම් මඳින් මඳ වෙනස් විය. කලින් මනාව සැලසුම් කොට සිදුකළ ව්‍යාපාරික කටයුතු පිළිවෙළකින් තොරව සිදුකිරීම නිසා ඒවා දිනෙන් දින අඩාල විය. ඒ අතර පසුගිය කාලය තුළ අළුකෙසෙල් සැපයුම්කරුවන්ට ඔහු මුදල් ගෙවා නොමැති බවද දැන ගන්නට ලැබිණ. එහෙත් එවිට ඔහු දී තිබෙන පිළිතුර වූයේ තමන්ට එවැනි ගනුදෙනුවක් ගැන මතකයක් නොමැති බවය. එමෙන්ම සැමියෙකු, පියෙකු වශයෙන් එතෙක් ඉටුකළ පවුලේ වගකීම්වලින්ද අත්මිදුණු කුමාර කිසිදු තේරුමක් නොමැතිව නන්දෙඩවීමටත්, සෑම විටම නිවසින් පිටව මඟතොට කඩපිල් ගාණේ රස්තියාදු වීමටත් පුරුදු විය.

ඔහුගේ මෙම වටහාගත නොහැකි වෙනස සම්බන්ධයෙන් බිරිඳ සාමා සහ ඇගේ පවුලේ සාමාජිකයන් සේම කුමාරගේ මාපියෝද බලවත් සේ වික්‍ෂිප්ත වූහ. ඒ අනුව ඔවුන්ගේ පොදු මතය වූයේ කුමාරගේ දියුණුව බලා සිටිය නොහැකි කිසිවකු විසින් කුමාරට හූනියමක් කොට ඇති බවකි. පසුව එම වැඩිහිටියන් විසින් ඒ සම්බන්ධයෙන් අසන ලද ශාස්ත්‍ර, පේන, නිමිති ආදියෙන්ද ඒ බව තහවුරු කෙරිණ. මේ අතර තවත් පිරිසක් කියා සිටියේ හරි හැටි අධ්‍යාපනයක් නොලත් ඔහු ව්‍යාපාර ගැන නොදැන ඒවාට බැසීමෙන් රුපියල් ලක්‍ෂ කෝටි ගණන් ණය වී දැන් ඒවා ගෙවා ගත නොහැකිව බොරු ඔල්මාදයක් පෙන්වා “රඟපෑමක්” කරන බවකි.

ඒ කෙසේ හෝ සාමාගේ බාල සොයුරු විසින් කුමාරට මෙසේ පහර දීම බොරුවක් නොවන බවත් ඊට හේතුව ඒ වනවිට පවුල් ජීවිතයෙන් ඉවත්වී දහවල පුරා ඉබාගාතේ යන දිවියකට මුල පිරූ ඔහු කඩපිල්වල දී හමුවන විවිධ පුද්ගලයන් සමග තමන් විවාහ ජීවිතය තුළ සාමා සමග පැවත්වූ ලිංගික සබඳතා අකුරක් නෑර විස්තර කොට ඇති නිසා බවත් පසුව අනාවරණය විය. ඔහු විසින් කළ එම කතාබහ කිසිවකු විසින් පටිගත කොට ඒවා සාමාගේ බාල සොයුරා වෙත අසන්නට සලස්වා තිබීමෙන් ඉන් කිපුණු ඔහු කුමාර සොයා ගොස් ඔහුට පහර දී තිබිණ.කුමාරගේ මෙම විපර්යාසය සම්බන්ධයෙන් බලි, තොවිල්, ශාන්ති කර්ම සඳහා සුවිසල් මුදලක් යට කර සිටි ඔහුගේ මාපියෝ කුමාර මනෝ වෛද්‍යවරයකු හමුවට පත්කරන ලද්දේ ඉන්පසුවය.

“මේක ලෝකයේ සුලබ මානසික රෝග ගණයට වැටෙන මන්දෝන්මාදය (Hypomania) කියන රෝගයයි. ජීවිතයේ වගකීම්වලින් ඉවත් වෙන එක, ඉබාගාතේ ඇවිදින්න පෙළඹීම, ලැජ්ජාව වගේ දේවල් නැති වීම, තමයි මේකේ මූලිකම ලක්‍ෂණ.”කුමාර තුළ පැවැති රෝග ලක්‍ෂණ මුල් කොට මුල් අවස්ථාවේ ඔහු සීටී ස්කෑන් පරීක්‍ෂණයකට යොමු කොට එය මොළය තුළ පවතින කායික අර්බුදයක් නොවන බව නිශ්චය කරගත් වෛද්‍යවරයා කීය.
ඒ වගේම සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලේ එක සැරේ පාසල් යාම එපා වීමත් මානසික රෝග ලක්‍ෂණයක් වෙන්න පුළුවන්. නමුත් ඒක ස්වාභාවිකවම යටපත් වෙලා. ඊට පස්සේ මෙයා තුළ තිබුණු දක්‍ෂතා යළිත් ඉස්මතු වෙලා තියෙනවා” මනෝ වෛද්‍යවරයා කීය. “ඒත් බෙහෙත් බිව්වම මේවා සනීප වෙනවද ඩොක්ට?” කුමාර තුළ පවතින රෝග තත්ත්වය සඳහා ඖෂධ නියම කිරීමෙන් පසු කුමාරගේ පියා ඇසීය.

හුඟක් මානසික රෝගවලට මුල් වෙන්නේ මොළයේ තියෙන ජෛව රසායනික වෙනස් වීම්. නමුත් ඒ වෙනස්වීම් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් නවීන බෙහෙත් වර්ග දැන් අපේ රටේත් තියෙනවා. ඕනෑම මානසික රෝගයක් හැදුණු මුල් අවස්ථාවේ ඒවා ග්‍රහදෝෂ, අනවින, හදිහූනියම් කියලා හිතාගෙන වෙන වෙන දේවල් කරලා, අන්තිමට මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැසීම. එතකොට මනෝ වෛද්‍යවරයා නියම කරන බෙහෙත් නිසි පිළිවෙළට නොගැනීම වගේ දේවල්වලින් නම් නිසි ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. එසේ කී මනෝ වෛද්‍යවරයා කුමාර සඳහා මාසයකට ඖෂධ නියම කොට එම බෙහෙත් අවසානයේ කුමාර යළි තමන් වෙතට පමුණුවන ලෙසට ඔහුගේ මාපියන්ට අවවාද කළේය.ඒ එලෙස බෙහෙත් වට්ටෝරු කිහිපයකින් පසු කුමාරගේ ජීවිතයෙන් ගිලිහී ගිය සාර්ථකත්වය යළි උදාකරලිය හැකිය යන විශ්වාසය මතිනි.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>