TT Ads

 

ශෝකය, සංවේගය සහ කලකිරීම යනු මිනිසත් බව ලැබූ අපට ඉතාමත්ම සමීප දේවල්ය.
අපට හිමි වී තිබී අහිමිව ගිය දේවල් වෙනුවෙන් අපි ශෝක කරමු. එසේම මෙතෙක් හිමි කර ගන්නට නොහැකි වූ නමුත් කෙසේ හෝ හිමි කර ගැනීමේ තදබල ආශාවකින් පසුවන දේවල් කෙරෙහිත් අපි ශෝක කරමු. මෙලෙස ජීවිතයේ බොහෝ දේවල් ගැන සිතා බලන කල අප අපගේ ජීවිත කාලය තුළ සතුටින් සිටිනවාට වඩා වැඩි කාලයක් ශෝක කිරීම සඳහා වෙන් කරන බව පෙනේ. ඒ කෙලෙස් වලින් භරිත පෘථග්ජන මනුෂ්‍ය ස්වභාවයයි.
කලකිරීමත් එසේමය. විවිධාකාර හේතු මත මනුෂ්‍යයෝ අනුන් පිළිබඳව සේම තමා පිළිබඳවද කලකිරෙති.
ශෝකය සහ කලකිරීම යන දෙකම එකට අත්වැල් බැඳ යන දෙයකි. මේ දෙක තුළම ඇත්තේ තරහවයි. ඒ හේතුවෙන් ශෝකය මෙන්ම කලකිරීමද අකුසලයක් සේ සැලකේ.
සංවේගය මීට වඩා වෙනස්ය. තමන්ගේ සමීපතමයකු මිය ගිය කල අපේ සිතේ වේදනාවක් ජනිත වීම ස්වභාවයයි. නමුත් ඉපදුණු අයුරින්ම මිය යාම පොදු ධර්මතාවයක් බව හඳුනාගෙන එම වියෝ දුක තුළම වාසය නොකර හිඳීම සංවේගය උපදවා ගැනීමයි.
රාත්‍රියට හිටි හැටියේ ඔබේ නිවසේ විදුලිය විසන්ධි වූයේ යැයි සිතන්න. එවිට කලබලයට පත් වන ඔබ මුලින්ම කරන්නේ fදාර ජනෙල් විවර කර අවට නිවෙස්වලත් විදුලිය විසන්ධි වී තිබේදැයි සොයා බැලීමය. ඒ නිවෙස්වලත් ඒ අයුරින්ම විදුලිය විසන්ධි වී තිබේ නම් අර මුලින් තිබූ කලබලය ඔබ වෙතින් තුරන් වේ. කුමන මොහොතක හෝ විදුලිය යථා තත්ත්වයට පත් වන තුරු ඔබ සංසුන්ව හිඳිනු ඇත. නමුත් විදුලිය විසන්ධි වී තිබෙන්නේ ඔබේ නිවසේ පමණක් නම් ඔබ තුළ පුදුම විදිහේ නොඉවසුමක් කලබලයක් ඇති වන්නේ නැද්ද?
සංවේගය තුළ කලබලය නොසංසුන් බව නැත. හරියටම ඔබේ නිවසේ සහ ඒ අවට විදුලිය විසන්ධි වූ කලෙක මෙනි. ශෝකය යනු ඔබේ නිවසේ පමණක් විදුලිය විසන්ධි වී අවට හැම තැනම විදුලිය තිබෙන විට දැනෙන නොඉවසුම කලබලය වැන්නකි. මේ දෙකෙහි වෙනස දැන් ඔබට පැහැදිලිය. මේ ආකාරයට සංවේගය උපදවා ගැනීම
පෘථග්ජනයන්ට අපහසුය. තමන්ගේම කෙනෙකු මිය ගිය කලෙක වුවත් එය ලෝක ස්වභාව යැයි සිතා සංවේගය උපදවා ගත හැක්කේ රහත් ඵලයට පත් වූ උතුමන්ට පමණි. කෙලෙස් භරිත වූ සාමාන්‍ය පෘථග්ජනයන්ට ඒ තත්ත්වයට යා නොහැකි මුත් ඔබට යම් තාක් දුරකට මේ තත්ත්වයට යාම අසීරුවෙන් වුවත් කළ හැකිය. දුක,සංවේගයක් බවට පත් කරගන්නට නම් දුක පිළිබඳ අවබෝධය තිබිය යුතුවේ. අප නොදන්නා යම් පුද්ගලයකු මියගිය විට අපට දුකක් නොදැනේ. නමුත් සමීපතමයකු මිය ගිය විට අපි බෙහෙවින් වේදනාවට පත් වෙමු. සමීපතමයා මිය ගිය විටත් නොදන්නා පුද්ගලයා මිය ගිය විට දැනෙන හැඟීමම ඇති කර ගත හැකි නම් එය මොන තරම් අස්වැසිල්ලක්ද? මෙය පෘථග්ජනයකුට කළ නොහැකි බව සැබෑය. නමුත් රහතන්වහන්සේලා අත්විඳින්නේ ඒ අස්වැසිල්ලය. ඒ මට්ටමට පැමිණීම අසීරු වුවත් ඔබ ධර්මය පරිශීලනය කරන අයෙක් නම් යම් තරමක මට්ටමකටවත් පැමිණීම අසීරු වන්නේ නැත.
ඔබට ඔබේ සිත මීට වඩා දියුණු තත්ත්වයකට පත් කර ගැනීම අපහසු නොවේ.
එය මේ ආකාරයෙන් විස්තර කළ හැකිය.
රාත්‍රී ආහාර පිඟානත් රැගෙන ඔබ ඔබේ සාලයේ රූපවාහිනිය ඉදිරියේ වාඩි වන්නේ නැද්ද? හොඳයි ඔබ රූපවාහිනිය ඉදිරියේ රාත්‍රී 8.00ට වාඩි වුණේ යැයි සිතන්න. ඔබ එතැනින් නැගිටින්නේ රාත්‍රී 11.00ට නැතහොත් 11.30ට විය හැකිය. ඔබ පැය තුනක්, තුනහමාරක් පමණ රූපවාහිනිය දෙස එක දිගට අවධානය යොමු කර ගෙන හිඳ මනසට උකහා ගත්තේ මොනවාදැයි මඳක් සිතා බලන්න. තරහ, ද්වේෂය, වෛරය, ඊර්ෂ්‍යාව මේ හැම දෙයක්ම නොඅඩුව සිතට පුරවා ගත්තා නේද? මම රූපවාහිනිය ඉදිරියේ පැය කීපයක් වාඩි වෙලා ලබා ගත් දෙයක් නැහැනේද? කියා සිතන්නට ඔබට හැකි නම් අටට එය ඉදිරියේ වාඩි වූ ඔබට අඩු තරමින් 8.45ට වත් නැගිටින්නට සිතෙනු ඇත.
ඔබ චිත්‍රපටයක් බලන විට සිදු වන්නේ කුමක්ද? ප්‍රවෘත්ති නරඹන විට සිදු වන්නේ කුමක්ද? හොඳින් සිතා බලන්න. එහි දකින දේවල්වලින් ඔබේ සිතට සතුටටත් වඩා ඇතුළු වන්නේ තරහ, ක්‍රෝධය, වෛරය වැනි සිතුවිලි නොවේද?
අපි නිදසුනක් ගනිමු.
පසුගිය කාලයේ පුවත්පතක තිබූ එක්තරා ප්‍රවෘත්තියකට අනුව තියුණු ආයුධයක් භාවිත කර එක් තරුණ පුතකු සිය මව ඝාතනය කර තිබිණ. එසේ ඝාතනය කිරීමට හේතුව පෙම්වතියට ත්‍යාගයක් ගැනීම සඳහා මුදල් නැතිව ඒ මුදල මවගෙන් ඉල්ලා මව එය ලබා නොදීමය. මෙහිදි ඒ තරුණයා ආනන්තරිය පාප කර්මයක් කරගෙන ඇත. එය වෙනම කතාවකි. මේ ප්‍රවෘත්තිය කියවන ඔබ තුළ ඇති වන්නේ කුමන හැඟීමක්ද? නිසැක වශයෙන්ම මේ තරුණයා කෙරෙහි තදබල ද්වේෂයක් සහ ඔහු අතින් මිය ගිය මව කෙරෙහි දැඩි කම්පාවකුත්ය.
මොහොතක් සිතා බලන්න.
මවගෙන් මුදල් ඉල්ලුවේ පුතාය. ඔහුට මවගෙන් මුදල් ඉල්ලා ගන්න යැයි ඔබ කීවේ නැත. එසේම “පුතාට මුදල් දෙන්න එපා” යැයි ඔබ මවට කීවේත් නැත. මුදල් නොදුන් නිසා “මව මරා දමන්න” යැයි ඔබ කීවේත් නැත. එලෙස මරා දැමීම සඳහා ඔබ එම පුතුට ආයුධ දුන්නේත් නැත. ඔබ සිතුවිල්ලකින්වත් සම්බන්ධ නොවූ අහක යන දෙයක් වෙනුවෙන් ඔබේ සිත තුළ දැඩි ද්වේෂයක් උපදවා ගෙන තිබේ. එසේ නම් පුවත්පත කියවා ඔබ ඔබේ සිත තුළ උපදවා ගත්තේ අකුසලයකි.
ඔබ රූපවාහිනියේ විකාශය වන දේශපාලන සාකච්ඡා නරඹනවාද? මේවායේ හිඳ එකිනෙකාට බැණ වදිමින් අතපය විසි කරමින්, දඟලමින් දේශපාලනඥයන් කියන කතා අසා ඔබ කී වතාවක් දත්මිටි කන්නට ඇතිද? ඔබේ හොඳට තිබූ ඔළුව නරක් කර ගත් හැටි සිතා බලන්න. දැන් ඔබ අපෙන් පැනයක් විමසනු ඇත.
“හාමුදුරුවෝ කියන විදිහට අපට පත්තර බලන්නත් බෑ. ටී. වී. බලන්නත් බෑ. මොකක්ද අපි කරන්න ඕනේ?”
ඇත්තය. ඔබ කීවා හරිය. ඔබට සුගතිගාමී වීමට හෝ නිවන් දැකීමට අවශ්‍ය නම් මේ කිසිවක් අවශ්‍ය නැත. නමුත් රටේ පවතින තත්ත්වය දැන ගන්නට ඒ ගැන අවබෝධයකින් පසුවන්නට අවශ්‍ය නම් ඔබ පත්තර කියවිය යුතුය. රූපවාහිනියත් නැරඹිය යුතුය. නමුත් නිවන් දැකීමට තබා සුගතිගාමී උප්පත්තියක් ලැබීමටවත් මේවායින් ඔබට කරුණු සැලසෙන්නේ නැති බවත් කිව යුතුය.

මහරගම සිරි වජිරඥාන
ධර්මායතනවාසී
පූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද හිමිපාණෝ
අවධාරණය කරති

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>