TT Ads

උමායා මහතන්තිල ක්‍රීඩා ක්‍ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අත්කර දීමට සිහින දකින තරුණියකි. කෙසේ වෙතත් ඇය යොමුවී සිටින්නේ මෙරට කාන්තාවන් අතර එතරම් ප්‍රචලිත ක්‍රීඩාවක් වෙත නම් නොවේ. බොහෝ කාන්තාවන් සිරුරේ හැඩය පවත්වා ගැනීමම අරමුණු කරගනිමින් ව්‍යායාම්වල නියැළෙද්දී, උමායා සිය ව්‍යායාම පුහුණුවීම්වල යෙදෙන්නේ ශරීරයේ මාංශපේශී වර්ධනය කරගෙන ඒ හරහා කායවර්ධන ක්‍රීඩිකාවක ලෙස සිය නම ජාත්‍යන්තරය කරා රැගෙන යාමටය.

* කාය වර්ධන ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයගන්න අපේ රටේ කාන්තාවන්ට පුළුවන්ද?

ඔව්. ඒ හැකියාව අපේ කාන්තාවන්ට තියෙනවා. ඒ බව ඔප්පුකරන්න තමයි මම මේ සූදානම් වෙන්නේ.

 

* ඒ කියන්නේ මීට කලින් ලංකාවේ කිසිම කාන්තාවක් එවැනි දස්කමක් පෙන්වා නැද්ද?

කායවර්ධන ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර මට්ටමේ දක්‍ෂතා දැක්වූ අපේ රටේ කාන්තාවෝ නැතිවා නෙවෙයි. හැබැයි ඒ හැමෝම විදෙස් රටවල ජීවත් වෙමින් මේ ක්‍රීඩාවේ නියැලෙන අය. ලංකාවේ ජීවත් වෙමින්, ලංකාවේ ඉඳන්ම පුහුණුවීම් කරලා අපේ රටට ජාත්‍යන්තර මට්ටමේ පදක්කමක් දිනා දීම තමයි මගේ එකම හීනය.

 

* කාන්තාවන් වැඩිපුර යොමු නොවෙන ක්‍ෂේත්‍රයකින් ඉදිරියට යන්න ඕනෑ කියලා ඔබට හිතුණේ කොහොමද?

ඒක අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. මීට අවුරුදු 5-6කට විතර කලින් තමයි මම කායවර්ධන ක්‍රීඩාවට යොමු වුණේ. ඒ කාලේ මම ගොඩක් මහතයි. ඒ නිසා මම මගේ බර අඩු කරගන්න හිතාගෙන කායවර්ධන මධ්‍යස්ථානයකට ගියා. හැබැයි බර අඩු කර ගැනීමෙන් විතරක් මම මගේ ගමන නැවැත්තුවේ නැහැ. මම කායවර්ධන වගේම බර ඉසිලීමත් පුරුදු පුහුණු වුණා. මේ වෙද්දී මම කායවර්ධන පුහුණුකාරිනියක් ලෙසත් කටයුතු කරනවා. ලංකාව නියෝජනය කරමින් ඒ දෙඅංශයෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කර දීමටයි මේ වනවිට මම වෙහෙසෙන්නේ.

 

* කායවර්ධන ක්‍රීඩාවට යොමු වෙද්දී ඔබේ පවුලෙන් සහ සමාජයෙන් ඔබට ලැබුණු ප්‍රතිචාර මොනවගේද?

ගෙදරින් නම් මට කිසිම බාධාවක් එල්ල වුණේ නැහැ. මොකද, ක්‍රීඩාවල යෙදිලා හොඳට පුරුදු පවුලක් තමයි මට ඉන්නේ. ඒ නිසා ඒ අයගෙන් මගේ පුහුණුවීම්වලට විශාල සහයෝගයක් හිමි වුණා. හැබැයි සමාජයෙන් නම් මට ධනාත්මක ප්‍රතිචාර වගේම නරක විදිහේ විවේචනත් එල්ල වුණා. අපේ සංස්කෘතිය තුළ මුල් බැසගෙන තිබෙන සමහර ආකල්ප නිසා තමයි මට ඒ බොහොමයක් විවේචනවලට මුහුණ දෙන්න සිදුවුණේ.

 

* මොනවගේ විවේචනද ඒ කාලේ ඔබට එල්ල වුණේ ?

මම වගේ මහත කෙනෙක් මේ වගේ දෙයක් කරන්නේ කොහොමද කියලා සමහරු ඇහුවා. තවත් සමහරු කිව්වා මේක මම මගේ ඇඟ ප්‍රදර්ශනය කරන්න හිතාගෙන කරන දෙයක් කියලා. ටික කාලයක් යද්දී මට පුළුවන් කමක් ලැබුණා මේ ක්‍රීඩාවෙන් ඉදිරියට ගිහින් ජයග්‍රහණ පවා ලබා ගන්න. ජාතික ආධුනික කායවර්ධන තරගාවලියේදීත් Women’s Physics අංශයෙන් මට දෙවැනි ස්ථානය ලැබුණා. මේ විදිහේ ජයග්‍රහණ ලබාගනිද්දී සමහරු මා ගැන දැක්වූ වැරදි ආකල්ප වෙනස් කරගත්තා.

 

* කායවර්ධන ව්‍යායාම කරලා කාන්තාවන්ට තමන්ගේ සිරුර සුන්දරව පවත්වාගන්න පුළුවන්ද?

අනිවාර්යයෙන්ම පුළුවන්. කායවර්ධන ව්‍යායාම කළා කියලා කාන්තාවන්ගේ සිරුරේ පිරිමින්ගේ වගේ ඉක්මනින් මාංශ පේශී වර්ධනය වෙන්නේ නැහැ. කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ සිරුරුවල හෝමෝන ක්‍රියාකාරිත්වයේ තිබෙන වෙනසක් ඊට හේතුවක්. ඒ නිසා සාමාන්‍ය පරිදි ව්‍යායාම කිරීමෙන් කාන්තාවන්ට තමන්ගේ සිරුර ලස්සනට තබා ගන්න පුළුවන්. නමුත්, මාංශ පේශී වර්ධනය කරගෙන මේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න කාන්තාවක් හිතනවා නම් ඇයට පුළුවන් ඊට අවශ්‍ය පුහුණු වීම්වලින් සහ පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමෙන් ඒ ඉලක්කය සපුරා ගන්න.

 

* වෙනත් රටවලට සාපේක්‍ෂව අපේ රටේ කායවර්ධන පුහුණුව තිබෙන්නේ මොන වගේ තැනකද?

ව්‍යායාම කියන්නේ වෙනත් රටවල ඒ අයගේ ජීවන රටාවේම කොටසක්. නමුත් අපේ රටේ එය තවම ඒ තරම් ප්‍රචලිත වෙලා නැහැ. අනික කායවර්ධ පුහුණුකාරිනියන් ලංකාවේ ඉතා දුලබයි. ඇඟ පුම්බාගෙන ඉන්නවා කියලා සමහරු කාන්තා සහ පිරිමි භේදයකින් තොරව කායවර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවේචනය කරනවා. හැබැයි දැන් මේ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වෙමින් පවතිනවා. ඒක සුබ ලකුණක්.

 

* ඔබේ ඉලක්කය වැඩිකල් නොගොස් සපුරාගත හැකි වේවි කියලා විශ්වාසයක් ඔබ තුළ තිබෙනවාද?

ඔව්, මම මගේ ඉලක්කයට ළඟා වන්න ඉතාම කැපවීමෙන් පුහුණු වීම් කරනවා. ඒ සඳහා මට හොඳ පුහුණුකරුවන් ඉන්නවා. කායවර්ධනය පුහුණුකරුවෙකු වන මගේ සැමියාගෙනුත් ඒ සඳහා මට විශාල සහයෝගයක් හිමි වෙනවා. අද ලෝකයේ කායවර්ධන ක්‍රීඩාව ගොඩක් දියුණුයි. ඒ රටවල කාන්තාවොත් විශාල වශයෙන් මේ ක්‍රීඩාවට යොමු වෙනවා. අපේ රටේ කාන්තාවන් තුළ මතයක් තියෙන්න පුළුවන්. කාන්තාවන් බොහොම සියුමැලියි. ඒ නිසා අපට මේ වගේ ක්‍රීඩාවක් ගැළපෙන්නේ නැහැ කියලා. හැබැයි ඒක වැරදි මතයක්. උත්සාහය, කැපවීම සහ ආසාව තියෙනවා නම් කාන්තාවන්ටත් කායවර්ධන ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න පුළුවන්. එහෙම හිතලා වැඩි පිරිසක් ක්‍රීඩාවට යොමු වුණොත් ඉතා ඉක්මනින් අපේ කාන්තාවන්ගේ හැකියාවන් ජාත්‍යන්තරය කරා ගෙන යෑම අපහසු වෙන එකක් නැහැ.

කිෂාන් කනංකෙ
ඡායාරූප – චින්තක උදයකාන්ත

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>