TT Ads

දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී, ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේදී, සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීමේදී ආදී රජයට සම්බන්ධ බොහෝ කටයුතුවලදී මාස හයක් ඇතුළත ලබාගත්, සහතික කරන ලද උප්පැප්න පිටපත් ඉල්ලීම මෑතකදී දකින්නට ලැබුණු අලුත්ම තත්ත්වයකි. මේ සම්බන්ධයෙන් අදහස්
දක්වන බොහෝ දෙනෙකු පවසන්නේ මෙම ක්‍රියාවලිය රජය මගින් ජනතාවගෙන් මුදල් උපයා ගැනීම සඳහා යොදන ලද අලුත්ම උප්පරවැට්ටියක් ලෙසය. මේ කතාවේ ඇත්ත නැත්ත දැන ගැනීම සඳහා අපි රෙජිස්ටාර් ජනරාල් ආචාර්ය එන්. සී. විතානගේ මහතා මුණගැසුණෙමු. එතුමන් විසින් දක්වන ලද කරුණු ඇසුරෙන් මෙම ලිපිය සැකසේ. මාස හයක් ඇතුළත ලබාගත් උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක් යම් ආයතනයකින් හෝ පාසලකින් සම්මුඛ පරීක්ෂණයට පැමිණීමේදී ඉල්ලීම තුළින් බලාපොරොත්තු වන්නේ එහි නිවැරදිභාවය පරීක්ෂා කිරීමය. උදාහරණයක් වශයෙන් ග්‍රාම නිලධාරි සහතිකයක් නිකුත් කිරීම තුළින් අදාළ ප්‍රදේශයේ
පදිංචිය තහවුරු කිරීම සිදුවේ. උප්පැන්න මගින් කෙනෙකුගේ අනන්‍යතාවය තහවුරු කෙරේ.
වර්තමානය වන විට අපේ රටේ ව්‍යාජ උප්පැන්න ප්‍රතිශතය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව සොයාගෙන තිබේ. විශේෂයෙන් දරුවකු වෙනත් දෙමාපිය යුවළකට හදා ගන්නට ලබා දීමේදී ව්‍යාජ උප්පැන්න සකස් කිරීම බහුලව සිදු වන බව පෙනී ගොස් ඇත.
දෙමාපියන් තුළ පවතින දැඩි සෙනෙහස නිසා හෝ නොදැනුවත්කම නිසා සහ දරුවා අහිමි වේයැයි ඇති බිය නිසා ව්‍යාජ උප්පැන්නයක් ලබා දුන්නත් ප්‍රශ්න කිරීමක් සිදු නොවේ. නමුත් දරුවා වැඩිහිටි අවධියට පත්වූ පසු නැවත
උප්පැන්න පිටපත් ලබා ගැනීමට යාමේදී තමාට ඇත්තේ ව්‍යාජ උප්පැන්න සහතිකයක් බව දැනගත් විට ගැටලු රැසකට මුහුණ දීමට සිදු වනු ඇත. මේ හේතුවෙන් මහජනතාව ඉදිරියේ මුහුණ දියහැකි ගැටලු කල් ඇතිව නිරාකරණය කිරීමේ අරමුණින් පාසලට දරුවෙකු ඇතුළත් කරන විට, ජාතික හැඳුනුම්පතක් ලබා ගන්නා විට හා විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගන්නා විට වැනි සුවිශේෂ අවස්ථාවලදී උප්පැන්න සහතිකයේ මාස හයක කාලයක් ඇතුළත ලබාගත් සහතික කළ පිටපතක් පරීක්ෂා කිරීම සිදුවේ.
අප බොහෝ දෙනෙක් ජීවිතයේ වැඩි කාලයක් භාවිතයට ගනු ලබන්නේ ඉපදෙන විට අපට ලැබුණු උප්පැන්න සහතිකයේ මුල් පිටපතය. ඒ නිසා අපිට ව්‍යාජ උප්පැන්නයක් හඳුනා ගැනීමට සෑහෙන කාලයක් ගත විය හැකිය. විශේෂයෙන් හදා ගන්නා ලද දරුවන් හට පවුලේ දේපොළ ප්‍රශ්නවලදී මේ ගැටලුව අනිවාර්යයෙන්ම පැන නැගිය හැකිය. උදාහරණයක් වශයෙන් X Y යන දෙමාපියන් හට A,B,C නමින් දරුවන් තිදෙනෙක් සිටිනවා යැයි උපකල්පනය කරමු. මෙහි A යනු හදා ගන්නා දරුවාය.B,C එම දෙමාපියන්ට දාව උපදින ලද දරුවන්ය. පසු කාලීනව මෙම මාපිය යුවළ මියගිය පසු දේපොළ ප්‍රශ්නයක් ඇති වුවහොත් A නමට මත සාදා ගන්නා ලද දරුවාට ඇත්තේ ව්‍යාජ උප්පැන්නයක් නම් ඒ දරුවාට අසාධාරණයක් වීමේ ඉඩකඩ වැඩිය. නමුත් මෙම ගැටලුව දෙමාපියන් ජීවත්ව සිටියදී විසඳුනි නම් මෙම දරුවාට සමාජය හමුවේ මුහුණ දීමට සිදු වන බොහෝ ගැටලු වලට විසඳුම් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මේ නිසා තමන්ගේ උප්පැන්න සහතිකය සත්‍ය පිටපතක් බව තහවුරු කර ගැනීම සඳහා රජය විසින් සිදු කරනු ලබන මෙම ක්‍රියාවලිය ඉතා වැදගත්වේ. විශේෂයෙන් දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී අක්‍රමිකතා රාශියක් සිදුවන අතර එම අකටයුතු ක්‍රියාවලට වැට බැඳීමද මෙම සහතික කරන ලද උප්පැන්නයක් ඉල්ලා සිටීමේ ප්‍රධාන අරමුණක් වේ.
කෙසේ හෝ දැන් උප්පැන්න සහතිකයේ සහතික කරන ලද පිටපතක් ලබා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් 1960 සිට 2015 දක්වා කාලය තුළ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක උපන් අයෙකුට කොළඹ ප්‍රධාන කාර්යාලය ඇතුළු රටපුරා විහිදී ඇති කාර්යාල 240කින් දැන් උප්පැන්න සහතික පිටපත් එක්දින සේවාව මගින් ඉතා කෙටි වේලාවක් තුළ ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත. ඉතා කඩිනම් හා කාර්යක්ෂම සේවාවක් ලෙසට ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් ජාලගත කරන ලද මෙම මධ්‍යස්ථාන මගින් ඕනෑම ප්‍රදේශයක කෙනෙකුට තම උප්පැන්න සහතිකයේ පිටපතක් ලබා ගැනීම ඉතා පහසුය. විශේෂයෙන් එක්දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේදී හා විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී බොහෝ දෙනෙකුට උප්පැන්න සහතිකයේ ගැටලු මතු වන අවස්ථා ඇත. එවැනි
අවස්ථාවලදී තමන් පදිංචි ප්‍රදේශයට නොයා කොළඹ බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ, පිහිටා ඇති රෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රධාන කාර්යාලයෙන් උප්පැන්න පිටපතක් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පදිංචි අයෙකුට ඉතා කෙටි කාලයකින් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත. එක්දින සේවාව මගින් උප්පැන්නයක් ලබා ගැනීමේදී උප්පැන්න සහතිකයේ අංකය දන්නේ නම් එක් පිටපතක් සඳහා රුපියල් සියයක් අය කෙරේ. අංකය නොදන්නේ නම් අය කිරීම රුපියල් දෙසීයයකි.
කෙසේ වෙතත් සහතික කරන ලද උප්පැන්න සහතිකයක් ජීවිත කාලයට මුල් උප්පැන්න සේම වලංගු වන අතර අවශ්‍ය අවස්ථාවලදී පමණක් නව උප්පැන්න ලබා ගැනීමට පුළුවන.

සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>