TT Ads

සාහිත්‍යය, වේදිකාව, ගී පද රචනා කලාව ආදි ක්ෂේත්‍රයන් රැසකින්ම සිය ප්‍රතිභාව ප්‍රකට කර තිබෙන ප්‍රවීණ කලාකරුවකු වන කපිල කුමාර කාලිංග පිළිබඳ මේ දිනවල නිතර කතා බහට ලක්වන්නේ පසුගියදා (14) පැවැති 2019 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම නවකතාව සඳහා වන සම්මානය, ඔහු විසින් රචනා කරන ලද “අදිසි නදිය” නවකතාවට හිමිවීම කපිලගේ ජීවන ගමනේ සෙවණැල්ල වන්නේ, ඔහුගේ දයාබර බිරිඳවන ඉන්දුමතී ඒකනායකය.

* ඔබ දන්නා කපිල කුමාර කාලිංග මොනවගේ කෙනෙක්ද?
කපිල කියන්නේ උතුම් ගතිගුණ තියෙන, නිහතමානී පුද්ගලයෙක්. ඒ වගේම ඔහු බුද්ධිමත්. කපිල කවදාවත්, කාටවත් වෛර කරන කෙනෙක් නෙවෙයි. හැම දෙයක් දිහාම එයා උපේක්ෂාවෙන් තමයි බලන්නේ.

* ඔබට ඔහුව මුණ ගැහුණේ කොහොමද?
ඒ එක්දාස් නවසිය හැත්තෑ ගණන්වල. එතකොට අපි දෙන්නාම පාසල් යනවා. මට මතක විදිහට, ඒ වෙද්දී අපි ඉගෙන ගනිමින් හිටියේ උසස් පෙළ පන්තිවලයි.

* ඒ කියන්නේ ඔබ දෙදෙනා විවාහ වුණෙ ප්‍රේම සම්බන්ධයකින්ද?
ඔව්. විවාහ වෙන්න කලින් අවුරුදු 9-10 ක් විතර අපි පෙම්වතුන් විදිහට ඇසුරු කළා.

* එතකොට විවාහ වුණේ?
1981 අවුරුද්දේ.

* විවාහයට ගෙදරින් බාධා එල්ල වුණේ නැද්ද?
මුලදී නම් අපේ ප්‍රේම සම්බන්ධයට අපි දෙන්නාගේම ගෙවල් වලින් විරුද්ධ වුණා. මොකද ඒ වෙද්දි අපි පාසල් යනවා. හැබැයි අපි අපේ සම්බන්ධය එතැනින් නතර කළේ නැහැ. විවාහවෙන කාලය වෙන කොට ඒ විරෝධතා ඉබේම මග හැරිලා ගියා.

* විවාහයෙන් පස්සේ ගෙදරදොරේ වැඩකටයුතුවලට සැමියාගෙන් ඔබට ලැබුණු සහයෝගය මොන වගේද?
කපිල ගෙදර වැඩපළ කරලා පුරුදු කෙනෙක් නෙවෙයි. ඒ නිසා කවදාවත් මම එයාට ඒ වැඩ පවරන්නෙත් නැහැ. අපිට ඉන්නේ දුවෙක් සහ පුතෙක් විතරයි. කොළඹ රැකියාවට ගිය නිසා මෑතක් වෙනතුරුම සති අන්තයේ තමයි කපිල ගෙදර ආවේ. සිකුරාදාට ඇවිත් සඳුදා උදේම ආපහු යනවා. හැබැයි ඒ කාලෙත් ගෙදර ඉන්න වෙලාවට එයා දරුවොත් එක්කම තමයි කාලය ගත කළේ. නිතර ගෙදර ආවේ නෑ කියලා කපිල අපට තියෙන ආදරය නම් කිසිම අඩුවක් කළේ නැහැ.

* කපිල කුමාර කාලිංග කියන්නේ විවිධ මාධ්‍යයන්ගෙන් නිර්මාණ විශාල ප්‍රමාණයක් බිහිකළ කලාකරුවෙක්. ඔහුගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් කළ නිර්මාණ ඒ අතර නැද්ද?
මොකද නැත්තේ? එඞ්වඞ් ජයකොඩි ගායනා කරන “වසන්තයේ අග හමුවෙමු සොඳුරිය” කියන ගීතය කපිල මා වෙනුවෙන් ලියපු එකක්.

* මෙවර ස්වර්ණ පුස්තක සම්මානය ගැන ඔහුට තිබුණේ මොනවගේ බලාපොරොත්තුවක්ද?
අවසාන නවකතා අතරට නිර්දේශ වුණා කියලා කපිල සම්මානය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ නැහැ. මොකද, කපිල කවදාවත් සම්මාන බලාපොරොත්තුවෙන් නිර්මාණ බිහි කරන කෙනෙක් නෙවෙයි. පොත් එළිදැක්වීමේ උත්සවවත් පවත්වන්න කපිල කැමති නැහැ. මොනයම් හෝ ඇගයීමක් ලැබෙනවා නම් ඒක සතුටින් බාර ගන්නවා මිස, යමක් නොලැබුණා කියලා විවේචනය කරන විදිහේ කලාකරුවෙක් නෙවෙයි කපිල කියන්නේ.

* ඔහු “අදිසි නදිය” නව කතාව ලියපු හැටි ඔබට මතකද?
ඔව්. මට හොඳට මතකයි. ඒ ගැන තවම කවුරුත් නොදන්නා කතාවකුත් තියෙනවා.

* මොකක්ද ඒ?
ගිය අවුරුද්දේ “අදිසි නදිය” නවකතාව ලියමින් ඉන්නා කාලේ කපිල වැටිලා එයාගේ දකුණු අත කැඩුණා. ඒ නිසා කපිලට නවකතාවේ ඉතිරි කොටස් ලියා ගන්න බැරි වුණා. ඒ කාලේ කපිල “සක්කාරං” ටෙලි නාට්‍යයේ පිටපතක් ලියන්න බාරගෙනයි හිටියේ. කපිලට අතින් ලියන්න අමාරු නිසා මම කිව්වා “ඔයා කතාව කටින් කියන්න. මම ඒක පිටපත් කරන්නම්” කියලා. ඒ විදිහට තමයි “අදිසි නදිය” නවකතාවේ අන්තිම පරිච්ඡේද කිහිපය මා අතින් ලියැවුණේ.

* දවසේ කොච්චර විතර කාලයක් කපිල ඒ වෙනුවෙන් වෙන් කළාද?
මම ගෙදර වැඩපළ ටික ඉවර කළාට පස්සේ හැමදාම රෑට තමයි අපි ලියන්න පටන් ගත්තේ. කොහොමටත් රෑ 12.00 -1.00 විතර වෙනතුරු අපි දෙන්නා නවකතාව ලිව්වා.

* ඔහු ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබන අවස්ථාවේ ඒ කැපවීමෙහි ප්‍රතිඵල ඔබ අත්විඳින්නට ඇති නේද?
ඔව්. මම එදා කපිලත් එක්ක සම්මාන උළෙලට සහභාගි වුණා. ජයග්‍රාහකයා විදිහට කපිලගේ නම කියැවෙද්දි ඒ ඇතිවෙච්ච සතුට මට වචන වලින් කියා ගන්න බෑ.

* කපිල කුමාර කාලිංගගේ බිරිඳ වීම ගැන අද ඔබට මොකද හිතෙන්නේ?
මට හිතෙනවා මම හුඟක් වාසනාවන්ත ගැහැනියක් කියලා.

කිෂාන් කනංකෙ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>