TT Ads

සුභානි, රොෂාන් සමග විවාහ වූයේ ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් ලෙසිනි. විවාහ වී වසර පහක් පමණ ගත වන තුරුත් ඔවුන් අතර කිසිදු ගැටලුවක් පැවැතියේ නැත. නමුත් පසුකලෙක රොෂාන් තමන්ගේ කාර්යාලයට අලුතින් පැමිණි යුවතියක හා අනියම් සම්බන්ධතාවක් ඇති කර ගෙන තිබිණි. තම බිරිඳත් කුඩා පුතුත් අතහැර මෙම යුවතිය සමග විවාහ වීමේ කිසිදු අදහසක් රොෂාන් තුළ නොවූවද ඔහු වෙතින් සුභානි කෙරෙහි වූ අවධානය සහ සැලකිල්ල මදින් මද ගිලිහී ගියේය.සියල්ල උඩු යටිකුරු වූයේ එම යුවතිය රොෂාන් අතහැර වෙනත් තරුණයකු හා හදිසියේ විවාහ වී විදේශගත වීමත් සමගය. සිතේ ඇතිවූ බලවත් වේදනාව යටපත් කර ගන්නට රොෂාන් දිනපතා පාහේ මත්පැන්වල පිහිට සෙවීය.රොෂාන් මෙලෙස මත්පැන්වලට ඇබ්බැහි වෙද්දි සුභානි පත්වූයේ මහත් අසරණ තත්ත්වයටය. මේ නිසා නිතර ඔවුන් අතර ගැටුම් ඇති විය. තම හිතේ වේදනාව පහ කරගන්නට ඔහු කළේ තමන්ට දොස් තබන බිරිඳට පහර දීමය.
කවදාවත් නැතිව රොෂාන් තමන්ට පහර දෙන විට සුභානිට ජීවිතය එපා විණි. ඔහුගේ මත්පැන් පානයට සැබෑ හේතුව ඇය දැන නොසිටියෙන් මේ දරදඬු ක්‍රියාකාරකම් ඇයට ප්‍රහේළිකාවක් විය. දිනපතා මත්පැන් පානය කර පැමිණ සුළු දේටත් බිරිඳට පහර දීම අවසානයේ රොෂාන්ට පුරුද්දක් බවට පත් විය. මේ ගැටුම් නිසා කුඩා පුතු හැමදාමත් බියෙන් කෑගසද්දී වඩාත් වේදනාවට පත් වන සුභානි අවසානයේ ඔහු අතහැර දරුවාත් සමග තම දෙමාපියන් වෙත ගියාය. රොෂාන් පොලීසියට ගොස් පැමිණිල්ලක් කළේ තම බිරිඳ තමා අතහැර ගොස් ඇති බව පවසමිනි.
මෙහිදී සුභානි තම සැමියාව ද්වේෂ සහගත ලෙස හැර යාමක් සිදු කර තිබේද?
විවාහයට එළඹි පාර්ශ්ව දෙකෙන් එක් පාර්ශ්වයක් විවාහ සම්බන්ධතාවය අතහැර දැමීමේ චේතනාවෙන් භෞතිකව වෙන්වීම ද්වේෂ සහගත ලෙස හැර යාම ලෙස සැලකේ.මෙය තවදුරටත් විස්තර කළහොත් විවාහක නිවසේ සැමියා විවාහය අවසන් කිරීමේ චේතනාවෙන් බිරිඳ හා අඹුසැමි සම්බන්ධතා ප්‍රතික්ෂේප කරමින් එකම නිවසේ වෙන වෙනම ජීවත් වීම හෝ විවාහය අවසන් කිරීමේ චේතනාවෙන් විවාහක නිවසින් පිටවී වෙනම නිවසක ජීවත් වීම ද්වේෂ සහගත ලෙස හැර යාමය.
මෙම වෛවාහික වරද මත දික්කසාදයක් ඉල්ලා සිටින විට එම පාර්ශ්වය විසින් අනෙක් පාර්ශ්වය හැර යාම ද්වේෂ සහගත චේතනාවෙන් සිදු කර තිබිය යුතුය.
නමුත් ඉහත කී සිද්ධිය මීට වඩා වෙනස්ය.මෙහිදී සුභානි වෛවාහික නිවස අතහැර යන්නේ සැමියාගේ ක්‍රියා කලාපය නිසා තව දුරටත් ඔහු හා එකම නිවසේ රැඳී සිටීමට නොහැකි වීම හේතුවෙනි. ඇයට විවාහය අවසන් කර දැමීමේ චේතනාවක් නොතිබිණි. එනිසා සුභානි විවාහක නිවස හැර ගියත් ද්වේෂ සහගත ලෙස අත හැර යාමේ වෛවාහික වරද සිදු කර නොමැත. නමුත් එසේ නිවස හැර යන තත්ත්වයට පත් කළේ අනෙක් පාර්ශ්වය එනම් සැමියාය. ඒ අනුව එම සැමියා විසින් කරන ලද අනුමිත ද්වේෂ සහගත අතහැර යාමේ වෛවාහික වරද මත මෙම කාන්තාවට දික්කසාදයක් ඉල්ලා සිටිය හැකිය.

උපදෙස්
ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ

සැකසුම
ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>