TT Ads

“මම මේ ඔයාගෙන් අහන්නමයි හිටියේ”
පසුගිය විවේකී සැදෑවක නඳුන් හමුවට පැමිණි ඔහුගේ බිරිඳ පවිත්‍රා කීවාය.
“ඇයි දැන් ඔයා ඉස්සර වගේ ෆේස් බුක් එකේ මගේ ෆොටෝස් නොදාන්නේ. බඳින්න කලින් නම් අඩුම තරමින් සතියකට හමාරකට සැරයක් වගේ වරද්දන්නේම නැතුව ඔයා මගේ ෆොටෝ එකක් දැම්මා. දැන් මාස ගණනකට සැරයක් හරි බැරි වෙලාවත් එකක් දාන්නේ නැහැනේ ?”
පවිත්‍රා එසේ පවසනු නඳුන් අසා සිටියේ තරමක මවිතයකිනි. විවාහ වී වසර එක හමාරක් ගත වුවද මින් පෙර ඇය ඔහුට එවන් කතාවක් කියා නොතිබුණි.

‘එහෙම ඉතින් හැම තිස්සෙම ෆේස්බුක් එකට අපේ පින්තූර දාගන්න ඕනේ නැහැනේ පවිත්‍රා. මොකක් හරි විශේෂ හේතුවක් නැතුව.’
නඳුන් කීයේ තම බිරිඳගේ එම ප්‍රකාශයේ ඇති පදනම් විරහිත බව ඇයට වටහා දෙනු පිණිසය.
“නෑ නඳුන් ඔයා මගේ ෆොටෝස් දාන්න එපා. ඇයි අර ඔෆිස් එකේ ඉන්නවනේ දර්ශිද කොහේද සක්කර වට්ටමක්. ඒකි විරිත්තගෙන ඉන්න ෆොටෝස් විතරක් දැම්මම ඇති. ඔයා හිතන්න එපා නඳුන් මම මුකුත් නොදන්න තොත්ත බබෙක් කියලා”.

දර්ශි යනු නඳුන්ගේ කාර්යාලයේ සේවය කරන මැදි වියේ නිලධාරිනියකි. පොලිස් පරීක්‍ෂකයකු හා විවාහ වී සිටින දෙදරු මවක වන ඇය කාගෙත් හොඳ හිත දිනා ගැනීමට සමත් කාන්තාවක වූ අතර ඇය හා නඳුන් අතර කිසිදු විශේෂිත ඇසුරක් හෝ සබැඳියාවක් නොතිබුණි.
“ඔයාගේ ෆේස්බුක් එකේ මොකක් හරි දාපු හැටියේ ඕකි තමයි පැන පැන ලයික්ස් කමෙන්ට් දාන්නේ, මොකක්ද ඒකිට තියෙන අමාරුව. ඔයා දාන හැම මළ ඉලව්වකටම එහෙම ලයික්ස්, කමෙන්ට් දාන්න. මට නම් දැන් ඕකිව පෙන්නන්න බැහැ. ඉන්නකෝ මම තව ටිකක් බලලා ඕකිට හොඳ වැඩක් කරන්න”.

පවිත්‍රා එසේ කියත්ම තම බිරිඳ කුමක් හෝ අස්වාභාවික මානසිකත්වයකින් පෙළෙන බව නඳුන්ට මුල්වරට වැටහුණි.
“හොඳයි අපිට පිට මිනිස්සු වැඩක් නෑ කියමුකෝ, එතකොට ඔයා හිතන්නේ මම දැන් ඔයා හැරුණාම වෙන ගෑනුන්ටත් සෙවල හලන සෙවලයෙක් කියලද? අනික් සේරම තියෙද්දී මට ඒ ටික කියන්න”.

අවසානයේ නඳුන් කීයේ පවිත්‍රාගේ මානසිකත්වය තවදුරටත් පරීක්‍ෂා කරනු පිණිසය.
මෙම සිදුවීමෙන් පසු පවිත්‍රා නඳුන් වෙතින් ඉල්ලීම් දෙකක් කළ අතර දර්ශි ෆේස්බුක් මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කිරීම ඉන් පළමු ඉල්ලීම විය. ඇගේ දෙවන ඉල්ලීම වූයේ නොඑසේ නම් තමන්ටද ඔහුගේ ෆේස්බුක් ගිණුමට පිවිසීමට ඉඩ ලබා දෙන ලෙසය.
නමුදු වසර ගණනාවක් තිස්සේ තමන් හා එකට කාර්යාලයේ සේවය කරන සුහද මිතුරියක එක්වරම ෆේස්බුක් මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කිරීමද නොසුදුසු බැවින් නඳුන් තම ෆේස්බුක් ගිණුමට පිවිස ඒතුළ සිදුවන ගනුදෙනු පිරික්සීමට අවස්ථාව පවිත්‍රාට දුන්නාය. ඒ තමන් තුළ කිසිදු වරදක් නොමැති බැවිනි.

“නඳුන් ඔයා මේක අහලා ඔයා තරහා වෙන්න නම් එපා. දැන් ටික දවසක ඉඳලා ඔයාගේ වයිෆ් ඔයාගේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් වෙලා මගේ මැසෙන්ජර් එකෙන් මහ ඕන්නැති කතාවක් දෙකක් කියලා තිබුණා. ඔන්න අද උදේ මම ඔයාව ෆේස්බුක් එකේ අන්ෆ්‍රෙරෙන්ඞ් කරලා මැසෙන්ජර් එකත් බ්ලොක් කළා. මොකද මගේ ෆේස්බුක් එකට හිටපු ගමන් මගේ හස්බන්ඩුත් ලොග් වෙන හින්දා. ඒත් මම ඔයාගෙම හොඳටයි කියන්නේ පුළුවන් තරම් ඉක්මනට ඔයාගේ වයිෆ්ව මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වන්න. මොකද එයාට මොකක් නමුත් ලොකු මානසික රෝගයක් තියෙනවා.”

එක්තරා දිනයක කාර්යාලයේදී දර්ශි එසේ කී අතර තමන් ඒ සඳහා නොපමාවම කටයුතු කරන බව කී නඳුන් එම කතාව කාර්යාලයේ කිසිවෙකුටත් නොකියන ලෙසද ඇය පොරොන්දු කරවා ගත්තේය.
දර්ශි මෙලෙස තම ෆේස්බුක් මිතුරුදමින් ඉවත් වූ පසු එම ගැටලුව එතැනින් නිමාවට පත් වෙතැයි නඳුන් සිතූමුත් ඉන්පසුවද පවිත්‍රා ෆේස්බුක් ගිණුමට පිවිස එහි හිඳින තම මිතුරන් කෙරෙහි විමසිලිමත් වන අයුරක් නඳුන්ට වැටහිණි.
තමන් පිළිබඳව පවිත්‍රා තුළ පවතින මෙම නොනිසි සැකය දුරලනු පිණිස ඇය හා යන එන සාමාන්‍ය ගමන් බිමන් පවා තම ෆේස්බුක් ගිණුමට එක් කිරීමට පසුව නඳුන් උත්සාහ දරන ලද්දේ එමගින්වත් ඇය තුළ පවතින එම තත්ත්වය වෙනස් වෙතැයි යන අපේක්‍ෂාවෙනි. නමුදු එය නිසි පිළියමක් නොවූ අතර ඇගේ සැකය තම සෙසු ෆේස්බුක් මිතුරියන් වෙතද යොමුවන අයුරක් නඳුන්ට මනාව වටහාගත හැකි විය.

පවිත්‍රා තුළ පවත්නා මෙම අනිසි සැකය සෑම විටකම එක ලෙසින් නොපවතින බවද ඇය සතුටින් පසුවන අවස්ථාවලදී ශීඝ්‍රයෙන් අඩු වී යන බවද කුමක් හෝ මානසික ආතතියකදී ශීඝ්‍රයෙන් යළි ඉහළ නැංවෙන බවද නඳුන්ට වැටහිණ. ඒ අනුව ඇය සතුටින් හිඳින අවස්ථාවක් බලා ඇගේ මෙම තත්ත්වය “නිකමට මෙන්” මනෝ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නඳුන් කළ යෝජනාවට පවිත්‍රා අකමැත්තෙන් මෙන් කැමැත්ත පළ කළාය. නඳුන් ඇය මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලද්දේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

“තමන්ගේ සහකරුවා හෝ සහකාරිය එහෙම නැත්නම් පෙම්වතා හෝ පෙම්වතිය වෙනත් ලිංගික සම්බන්ධයකට යොමු වේය කියන සැකය අද සමාජයේ බොහෝ දෙනෙකු තුළ යම් ප්‍රමාණවලින් තියෙන්න පුළුවන්. ඒත් කිසිම යථාර්ථවාදී, තර්කානුකූල පදනමකින් තොරව යමකු තුළ ඒ සැකය ඇති වෙලා ඒමගින් ඒ තැනැත්තාගේ සිතීම්, කතාබහ සහ හැසිරීම් වෙනස් වෙනවානම් ඒක බොහෝ දුරට මානසික අර්බුදයක්, මානසික රෝගයක් හරි රෝග ලක්‍ෂණයක් වෙන්න ඉඩ තියෙනවා.

පළමුව නඳුන්ගෙන් සහ දෙවනුව පවිත්‍රාගෙන් ඒ පිළිබඳව කරුණු විමසා සිටි මනෝ වෛද්‍යවරයා කීය.
“සාමාන්‍යයෙන් සමහරුන් තුළ තමන්ගේ සහකරු හෝ සහකාරිය ගැන මේ වගේ සැකයක් ඇති වෙනවා. නමුත් ඒ තැනැත්තාට හෝ තැනැත්තියටම වැටහෙනවා ඒක සාධාරණ සැකයක් නොවෙන බව. ඒක බොහෝ වෙලාවට ග්‍රස්තිමය ආබාධ (Obsessive Compulsive Disorder – OCD) තත්ත්වයක් මත හට ගන්න පුළුවන්.
මේ අතර තවත් කෙනෙක් තමන්ගේ සහකරු හෝ සහකාරිය ගැන අනවශ්‍ය සැක උපදවාගෙන රණ්ඩු සරුවල් ඇති කරන අතරේ තවත් මානසික රෝග ලක්‍ෂණ පළ කරනවා නම් ඒක භින්නෝන්මාදය (Schizophrenia) තත්ත්වයක් හැටියට හඳුන්වන්න පුළුවන්” එසේ කී මනෝ වෛද්‍යවරයා පවිත්‍රා තුළ පවතින මානසික අර්බුදය පිළිබඳව වැඩි දුරටත් මෙසේ විස්තර කරන්නට විය.

“නමුත් මෙතන තියෙන්නේ ඔය දෙකම නෙවෙයි, තමන්ගේ සැමියා වෙන කාන්තාවක් සමග ලිංගික සම්බන්ධතා පැවත්වීමක් ගැන හරි ඊට යොමුවන්නට ඉඩක් තිබීම ගැන බුද්ධිමත් තීරණයකට ඒමට නොහැකි වැරදි විශ්වාසයක් මත පදනම් වුණු මෝහමය ඊර්ෂ්‍යාවක් (delusional Jealousy) මේ තත්ත්වය ව්‍යාධිගත ඊර්ෂ්‍යාව (Pathological Jealousy) කියලත් හැඳින්වෙනවා.” ඒ වගේම විළියම් ශේක්ෂ්පියර්ගේ ඔතෙලෝ නාටකයේ එන මේ වගේ සිද්ධියක් හින්දා සාමාන්‍ය වශයෙන් මේක ඔතෙලෝ රෝගය (Othello Syndrome) නමිනුත් හැඳින්වෙනවා. එසේ කී මනෝ වෛද්‍යවරයා මුල් අවස්ථාවේ දී ඒ මෝහමය තත්ත්වයන් දුරු වීම සඳහා පදනම් වන මොළයේ ජෛව රසායනික ව්‍යුහය වෙනස් කෙරෙන ඖෂධ කිහිපයක් නියම කොට ඇය ඒවා පාවිච්චි කළ පසු දෙවන තුන්වන අවස්ථාවලදී එම අනිසි සැකය දුරලිය හැකි මානසික අභ්‍යාස කිහිපයක් වෙතද යොමු කරන ලදී. තම සැමියා පිළිබඳ අනිසි සැකය නම් වන “විෂබීජය” ඇගේ මනසින් ඉවත් වන ලද්දේ ඉන් පසුවය.

 

ගාල්ල, කරාපිටිය,ශික්ෂණ රෝහලේ

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>