TT Ads

පිලිපීනයේ ක්විසන් නගරයේ වැසියන් ඔක්තෝබර් මාසය උදා වෙනතුරු බලා ඉන්නේ නොඉවසිල්ලෙන්. ඒකට හේතුව තමයි මුළු අවුරුද්ද පුරාම ඉතාම දුක් මහන්සියෙන් හරිහම්බ කරන ආදායමට වඩා වැඩි ආදායමක් ඔක්තෝබර් මාසයේ දී ඔවුන්ට උපයන්න පුළුවන් වීම. හැම අවුරුද්දකම ඔක්තෝබර් මාසයේ තමයි ක්විසන් නගරයේ සැණකෙළිය පැවැත්වෙන්නේ. මේ සැණකෙළියට ඔවුන් නොයෙක් විදියේ කෑම වර්ග, බීම වර්ග, විසිතුරු භාණ්ඩ, සෙල්ලම් බඩු, අත් යන්ත්‍ර රෙදි පිළි මහා ගොඩක් අරගෙන ඇවිදින් විකුණනවා. මේ සැණකෙළිය කොච්චර ප්‍රසිද්ධයි ද කියවා නම් අවට ගම් සහ නගරවලින් පවා වෙළෙඳුන් මේ සැණකෙළියට එනවා. වෙළෙඳුන්ටත් බඩු භාණ්ඩ මිලදී ගන්න අයටත් විතරක් නෙවෙයි ක්විසන් සැණකෙළිය පැවැත්වෙන කාලය හිඟන යාචකාදීන්ටත් අතමිට සරු වෙන කාලයක්.
2016 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේත් වෙනදා වගේම මේ සැණකෙළිය පැවැත්වුණා. අනිත් හිඟන යාචකාදීන් වගේම 13 හැවිරිදි රීටාත් සැණකෙළි භූමියට ඇවිදින් හිඟමන් යදින්න පටන් ගත්තා. ඒ වයස මාස 16 ක් වුණු පුංචි මල්ලියාවත් කරපින්නා ගෙනයි. රීටා ගොඩක් වෙලාවට හිඟමනේ යන්නේ පුංචි මල්ලියාවත් අරගෙනයි. ඒකට හේතුව තමයි රීටාගේ තාත්තා ධීවරයෙක් නිසා තාත්තාට බැහැ ගෙදරට වෙලා මල්ලිව බලාගන්න. රීටාගේ අම්මා ඉන්නේ රීටලා එක්ක නෙවෙයි. ගෙදර තවත් නංගිලා මල්ලිලා හතර දෙනෙක් ඉන්නවා. ඒ අය ටිකක් ලොකු නිසා ගෙදරට වෙලා සෙල්ලම් කර කර ඉන්නවා. තාත්තා මාළු අල්ලලා ඒවා විකුණලා ගෙදර එනකන් රීටා හිඟමනේ ගිහින් එකතු කර ගත්තු සල්ලිවලින් කෑම ගෙනල්ලා දීලා නංගිලා මල්ලිලාගේ බඩගින්න නැති කරලා එයාලාවත් බලාගෙන ඉන්නවා.
රීටා ඉපදිලා තියෙන්නේ 2003 අවුරුද්දේ මැයි 13 වෙනිදා. ඒ ක්විසන් නගරයේ ලුසිනා ප්‍රාන්තයේ බැඞ්ජාඕ කියන ආදීවාසී ගෝත්‍රිකයෙක් විදියටයි. බැඞ්ජාඕ කියන්නේ අන්ත දුප්පත් මිනිසුන්ගෙන් සමන්විත ගෝත්‍රයක්. ඔවුන්ට උරුම වෙලා තියෙන්නේ හිඟමන පමණයි. ඔවුන්ව කිසිම කෙනෙක් වැඩට ගන්නවත් කැමති නැහැ. ඒ නිසා කුලී වැඩක් කරගන්නවත් ඔවුන්ට පිනක් නැහැ. මුළු ජීවිත කාලය පුරාම හිඟමන් යැදලා තමයි මේ ගෝත්‍රිකයන් ජීවිතය ගැටගහ ගන්නේ.
මේ කියන දවසේ රීටා පුංචි මල්ලියාවත් කර පින්නාගෙන ක්විසන් සැණකෙළියේ හිඟමන් යදිමින් හිටියා. ඒ අතරේ රීටා යන්තම් වගේ දැක්කා කැමරාවක් මානා ගත්තු කෙනෙක් සැණකෙළියේ ඉන්න අයව පින්තූර ගන්නා ආකාරය. ඒවා බල බල ඉන්න ගියොත් කීයක් හරි හොයා ගන්න ප්‍රමාද වෙන නිසා ඇය ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. ටික වෙලාවක් යද්දී කවුද කෙනෙක් ළඟට ඇවිදින් ඇයට කතා කළා. රීටා ඔහුගේ මුහුණ බැලුවාම දකින්න ලැබුණේ ඒ තමයි අර පින්තූර ගත්තු කෙනා. “මට ටිකක් ඔයා එක්ක කතා කරන්න පුළුවන් ද” ඔහු ඇහුවා. ටිකක් විතර බය හිතුණත් කීයක් හරි දෙන්න කතා කරනවා ඇතියි කියලා හිතලා රීටා ඔහුට ඔළුව වැණුවා. “මම ඔයාගේ පින්තූර ටිකක් ගත්තා. කැමතිද ඒවා බලන්න” ඔහු ඇහුවා. රීටා කිව්වා “හා” කියලා. ඊට පස්සේ ඔහු කැමරාව ඇගේ මුහුණට කෙළින් අල්ලලා බොත්තම් කීපයක් ඔබලා ඇගේ පින්තූර එකින් එක ඇයට පෙන්නුවා. තමන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම ගත්තු පළමුවෙනිම පින්තූර කීපය දිහා ඇය ආසාවෙන් බලා හිටියා. ඇය මල්ලිත් එක්ක හරිම ලස්සනට ඒ පින්තූරවල හිටියා.


මේ පින්තූර ගත්තු කෙනාගේ නම තෝපර් බර්ගෝස්. ඔහු නිදහස් ඡායාරූප ශිල්පියෙක්. කවුරුහරි පින්තූර ගන්න කිව්වොත් අරගෙන දීලා කීයක් හරි හොයා ගන්න එක තමයි ඔහුගේ රැකියාව. අවුරුදු ගණනාවක් පුරා මේ රස්සාව කරන නිසා පින්තූර ගැන වගේම සුන්දරත්වය ගැනත් ඔහු හොඳ හැටි දන්නවා. මේ පුංචි කෙල්ලගේ පෙනුමේ හැටියට ඇය ඉන්න ඕනෙ මල්ලිව කරපින්නාගෙන
හිඟමන් යදිමින් නොවන බවත් ඇය නිරූපිකාවකටත් වඩා සුන්දර බවත් ඔහුට දැනිලා තිබුණා. ඒ නිසා තමයි ඔහු ඇයට කතා කරන්න හිතුවේ. රිටා බොහොම ආසාවෙන් එයාගේ පින්තූර ටික බලමින් ඉන්නා හැටි ඔහු හොඳින් නිරීක්ෂණය කළා.
ඊට පස්සේ ඔහු රීටාගෙන් ඇහුවා “මම ඔයාලගේ ගෙදර ආවාට කමක් නැද්ද” කියලා. එහෙම ගියොත් මේ පින්තූර තාත්තාටත් අනිත් නංගිලා මල්ලිලාටත් බලන්න පුළුවන් නේද කියලා හිතපු රීටා ඔහුව ගෙදර එක්කගෙන යන්න කැමති වුණා. ගෙදර ගියාට පස්සේ තමයි තෝපර්ට ඇයගේ ඇත්ත තත්ත්වය දැක ගන්න පුළුවන් වුණේ. ගව ගාලකටත් වඩා අන්ත විදියට හදලා තිබුණු අඩි දහයයි දහයක් විතර පුංචි මඩුවක් ඇතුළේ අවුරුදු 10 ට අඩු දරුවන් පස් දෙනෙක්, රීටා සහ ඇගේ තාත්තා ජීවත් වෙන්නේ කොහොමද කියලා ඔහුට හිතා ගන්න බැරිවුණා. රීටාගේ ගෙදරදි ඔහුට ඇගේ තාත්තාව මුණ ගැසුණා. ඔහු එක්ක කතා බහ කරලා ආපහු ගිය තෝපර්ට ඒ පුංචි දැරිය සහ ඇගේ සමාජ තත්ත්වය ගැන හිතා ගන්නවත් බැරි වුණා. ඔහු දිගින් දිගටම ඇය ගැනම කල්පනා කළා. වහාම ක්‍රියාත්මක වුණු තෝපර් රීටාගේ පින්තූර කීපයක් තමන්ගේ ෆේස්බුක් පිටුවේ පළ කරමින් සිය මිතුරු මිතුරියන්ගෙන් මෙහෙම ඉල්ලීමක් කළා.
“මේ රීටා ගවියෝලා. තාම අවුරුදු 13 යි වුණත් හිඟමන් යදිමින් නංගිලා මල්ලිලා පස් දෙනෙක් බලාගෙන ජීවත් වෙන්නේ අම්මා කෙනෙක් වගෙයි. ඔවුන් දුප්පත්කමේ සංකේතය කිව්වත් වැරදි නැහැ. ඇගේ වයසේ ඉන්න ඔබේ දරුවාව මතක් කර ගන්න. අපි ඇයට අපට පුළුවන් විදිවට උදව් කරමු.”
තෝපර් මේ විදියට ඉල්ලීමක් කරලා කෙටි වේලාවකින්ම ඔහුට ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. ඇයට උදව් කරන්න බොහෝ දෙනෙක් එකතු වුණා. ඇය වෙනුවෙන් පුංචි ලස්සන නිවසක් පවා ලබා දෙන්න කැමති අය හිටියා. මේ විදියට දවස් දෙක තුනක් යද්දී ලුසියානා නගරයේ නගරාධිපතිටත් මේ පුංචි ලස්සන කෙල්ලගේ පින්තූර දැක ගන්න ලැබුණා. ඔහු වහාම යෝධ පියවරක් ගත්තා. ඒ තමයි බැඞ්ජාඕ ආදිවාසී ගෝත්‍රයේ පාසල් යන වයසේ දරුවන් සියලුම දෙනාට අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය ලබා දීම. මාස දෙකක් යන්න කලින් බැඞ්ජාඕ ආදිවාසී ගෝත්‍රයේ දරුවන් ඉස්කෝලෙ යන්න පටන් ගත්තා. ඒ වගේම ඔවුන් වෙනුවෙන් නිවාස ඉදි වුණා. ඔවුන්ට රැකියා ලබා දෙන්න කියලා නගර වැසියන්ගෙන් ඉල්ලා සිටියා. මේ විදියට බැඞ්ජාඕ ආදිවාසී ගෝත්‍රිකයන් දියුණු වෙන්න පටන් ගත්තා.
මේ අතරේ රීටාගේ පුදුමාකාර සුන්දරත්වය නිසාම ඇයට නිරූපණ ක්ෂේත්‍රයේ දොරටු විවර වුණා. ඇය අධ්‍යාපනය ලබන අතරම නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි ඇය රංගනයට වගේම ගායනයටත් දක්ෂතා දැක් වූ නිසා ඒ අවස්ථාත් ඇයට උරුම වුණා. මේ වෙද්දී ඇගේ වයස අවුරුදු 16 ක්. නමුත් ඇය තරම් ප්‍රසිද්ධ වෙන කිසිම කෙනෙක් පිලිපීන රූපවාහිනී නාලිකාවල නැහැ. ඇය තරම් කාර්ය බහුල වෙන කිසිම නිළියක් හෝ ගායිකාවක් නැහැ. මේ හැමදේම අතර ඇය අධ්‍යාපනය ලබන එක නතර කරලා නැහැ. ඇය එක්ක සම්මුඛ සාකච්ඡාවක් පවත්වන සෑම මාධ්‍යවේදියකුටම ඇය කියන එක වාක්‍ය කණ්ඩයක් තියනවා. “මගේ පළමු තාත්තා නිසා මම පළමුවරට උපත ලැබුවා. ඒ ඩැනී. ඔහු ධීවරයෙක්. මගේ දෙවෙනි තාත්තා නිසා මම දෙවෙනි වරට උපත ලැබුවා. ඒ තෝපර්. ඔහු ඡායාරූප ශිල්පියෙක්.”

දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>