TT Ads

කළු ගල් තලාලයි
පාරට දමන්නේ
එම ගල් පෑගිලයි
ගොන් කුර ගෙවෙන්නේ
ගොනා නෙවෙයි
හරකයි බර අඳින්නේ
කිරිගල්පොත්ත කන්දයි
අපි නගින්නේ

 

මේ කිරිගල්පොත්ත කන්ද ගැන කියැවුණු කරත්ත කවියක්, කිරිගල්පොත්ත කන්ද අපි අඳුන ගන්නේ අපේ රටේ තියෙන දෙවැනි උසින් වැඩිම කන්ද හැටියටයි. එය මුහුදු මට්ටමේ සිට මීටර් 2388ක් ඉහළින් පිහිටා තිබෙනවා. උසින් වැඩිම කන්ද වන පිදුරුතලාගල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 2524 ක් ඉහළින්. මේ දෙක අතර වෙනස වන්නේ මීටර් 136ක් පමණයි.

කිරිගල්පොත්ත කන්ද අපට වැදගත් වෙන්නේ අපේ රටේ තියෙන උසින් වැඩිම දෙවැනි කන්ද ලෙස පමණක් නෙවෙයි. එය ඉතා සුන්දර සංචාරක ගමනාන්තයක් ලෙසත් පිළිගැනෙන ස්ථානයක්. ගමනේ ඇති දුෂ්කරතාවය නිසා බොහෝ දෙනෙක් මෙය තෝරා ගැනීමට තරමක් අදිමදි කරන බවක් පෙනෙනවා. කෙසේ නමුත් සුන්දර පරිසරය විඳ ගනිමින් ඡායාරූපගත කරන්නන්ටත් වෙනස්ම ආකාරයක සංචාරක අත්දැකීමක් ලබා ගන්නටත් කැමති අයට කිරිගල්පොත්ත කියන්නේ අපූරු ස්ථානයක්.

කිරිගල්පොත්තට යන මාර්ගය වැටී තිබෙන්නේ හෝර්ටන් තැන්න හරහායි. මේ නිසා හෝර්ටන්තැන්න, ලෝකාන්තය, බේකර්ස් ඇල්ල ආදිය නැරඹීම සඳහා සංවිධානය කරන විනෝද චාරිකාවේ ගමනාන්තය ලෙස කිරිගල්පොත්ත යොදා ගන්නට පුළුවන්. කෙසේ නමුත් කිරිගල්පොත්ත කරා යන ගමන බොහෝ දුෂ්කර බැවින් මේ සංචාරක කණ්ඩායම්වල සාමාජිකයන් ශරීර ශක්තියෙන් වගේම ආත්ම ශක්තියෙන් යුක්ත වීම විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක්.

කිරිගල්පොත්තේ ගමන් මාර්ගය හෝර්ටන්තැන්න හරහා වැටී ඇති නිසා හෝර්ටන් තැන්නට ළඟාවන තුරු මාර්ගය සඳහන් කිරීම එතරම් වැදගත් වන්නේ නැහැ. හෝර්ටන් තැන්නේ සිට ඈතින් පෙනෙන කඳු වැටියකට එපිටින් කිරිගල්පොත්ත පිහිටා තිබෙනවා. මේ නිසා මෙම කන්ද හෝර්ටන් තැන්නට එතරම් හොඳින් දිස් වන්නේ නැහැ. සාමාන්‍ය වේගයකින් ගමන් කරනවා නම් හෝර්ටන් තැන්නේ සිට පැය තුනකින් පමණ කිරිගල්පොත්ත කඳු මුදුනට ළඟා විය හැකියි. මේ සඳහා කිසිවකු විසින් සකස් කළ පැහැදිලි මාර්ගයක් නොමැති නිසා දකින්නට ඇත්තේ යන්තමින් දිස්වන අඩිපාරක් පමණයි. එමෙන්ම මේ ප්‍රදේශයේ බහුල වශයෙන් ගෝනුන් වාසය කිරීම නිසා ඔවුන් නිතර ගමන් කිරීමෙන් සෑදුණු අඩි පාරවල් ද බහුලව දකින්නට ලැබෙනවා. මේ මාර්ග ඔස්සේ ගමන් කිරීමෙන් පාර වැරදී වෙනත් ඉසව්වකට ඔබේ ගමන සිදුවන්නට ඉඩකඩ පවතින බව ද සිහියේ තබා ගැනීම නුවණට හුරු දෙයක්. කඳු මුදුනට වැටුණු මාර්ගය වැටී ඇත්තේ ප්‍රපාතයක් ආසන්නයේ බැවින් ගමනේදී අතිශය ප්‍රවේශම් විය යුතුයි. මඩ සහිත වීමත්, විටින් විට දැඩි ලෙස මීදුම ගලා ඒමත් නිසා ගමනේ යම් කිසි අනතුරුදායක බවක් තිබෙන බවද තේරුම් ගත යුතුයි.

කිරිගල්පොත්ත තරණයේ දී මතක තබා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ජලය ප්‍රමාණවත් තරමින් රැගෙන යා යුතු බවයි. එයට හේතුව මෙහි ඇති ජල මාර්ග මඩ වී තිබීම නිසා පිරිසිදු ජලය ලබා ගැනීමට ස්ථානයක් නොමැති වීමයි. වර්ෂාව ඇද හැළෙන්නට ඉඩ කඩ ඇති නිසා වැසි කබා තිබීම වාසිදායකයි.අප රටට ආවේණික තුරුලතා දැක ගනිමින්. ගෝනුන් සහ අපට ආවේණික පක්ෂීන් නරඹමින් අප රටේ දෙවැනි තැනට උසින් වැඩි කඳු මුඳුනේ මඳ වේලාවක් හෝ සැනසීමෙන් ගත කිරීමෙන් ජීවිතයේ මෙතෙක් නොවිඳි අපූරු සුන්දරත්වයක් විඳ ගත හැකි බව නම් ඉඳුරාම පැවැසිය යුතුයි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>