TT Ads

කාන්තාවන් බොහොමයක් දෙනා හිතාගෙන ඉන්නේ සුපිරි වෙළෙඳසැල්වලින් මිලදී ගන්නා ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම වාගේ නැවුම් බවින් යුක්තයි කියලයි. නමුත් එය සෑම විටම නිවැරදි නැහැ. සුපිරි වෙළෙඳසැල්වල පවා කල් ඉකුත් වූ හෝ ආහාරයට නුසුදුසු දේ ඕනෑ තරම් තියෙන්න පුළුවන්. ඒ නිසා සුපිරි වෙළෙඳසැලකින් ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා විට සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා.

 

නැවත ඇසුරුම් කළ ආහාර

සාමාන්‍යයෙන් චීස්, චෙඩාර් වගේ ආහාර වර්ග බර අනුව තමයි ඇසුරුම් කරන්නේ. නමුත් සමහර අවස්ථාවල ඒවා ස්ලයිසස් නොහොත් පෙති වශයෙන් නැවත ඇසුරුම් කර විකිණීම සඳහා තබා තිබෙනවා. නමුත් නැවත ඇසුරුම් කිරීම සිදු කරන්නේ නිෂ්පාදනාගාරයේම නෙවෙයි. තොග වෙළෙඳ ආයතන විසින් බර අනුව ඇසුරුම් කර ඇති චීස් දෙවෙනි වරට පෙති ලෙස ඇසුරුම් කිරීම සිදු කරනවා. මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක්ම තිබෙනවා. දෙවෙනි වර ඇසුරුම් කිරීම නියමිත ප්‍රමිතියටම සිදු නොවන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒ නිසා නිෂ්පාදකයා විසින් ඇසුරුම් කර එවන බර අනුව ඇති ඇසුරුම මිලදී ගැනීමට පෙර සැලකිලිමත් වීම ඉතාම වැදගත්.

 

ඇසුරුම් නොකළ ආහාර

සකස් කරන ලද සලාද වර්ග මිලදී ගැනීමේදීත් සැලකිලිමත් විය යුතු කාරණයක් තිබෙනවා. ඔබ මිලදී ගත යුතු වන්නේ ඉටි කවර යොදා ඇසුරුම් කරන ලද සලාද වර්ග නොවෙයි, ඇසුරුම් නොකර භාජනවල දමා විකිණීමට තබා ඇති සලාද වර්ගයි. එයට හේතුවක් තිබෙනවා. සලාද වගේ ආහාර නැවුම් බවින් යුතුව පවතින්නේ එක දවසක් විතරයි. නමුත් ඇසුරුම් කරන ලද සලාද වර්ග දිගු කාලයක් නැවුම්ව තබා ගන්න පුළුවන්. දිගු කාලයක් තබා ගත හැකි ඇසුරුම් කළ සලාද වර්ග මිලදී ගැනීම ඒ තරම් සුදුසු නැහැ. ඒ නිසා භාජනවල දමා විකිණීමට තබා ඇති සලාද පමණක් මිලදී ගැනීම වැදගත් වෙනවා.

 

ඇසුරුම හානි වූ ආහාර

කාටූන් බෝඞ්වලින් සකස් කළ කුඩා පෙට්ටිවල ඇසිරූ යුෂ වර්ග මිලදී ගැනීමේදී ඇසුරුමට හානි වී ඇද වී තිබේද යන බව හොඳින් පරීක්ෂා කර බැලිය යුතු වෙනවා. මෙවැනි කාටූන් බෝඞ්වල ඇතුළත බොහෝවිට නිමවා තිබෙන්නේ ඇලුමිනියම්වලින්. ඇලුමිනියම් ඇසුරුම ඉරි තැලී යාමෙන් පසු දින කීපයක් ගත වූ විට ආහාරවලට විෂ එකතු වන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා ඇසුරුමට හානි වූ ආහාර මිලදී නොගැනීමට වගබලා ගත යුතු වෙනවා.

 

මාංශමය ආහාර

බොහොමයක් සුපිරි වෙළෙඳසැල්වල මාංශමය ආහාර ප්‍රදර්ශනයට තබා ඇති ශීතාගාර විවිධ වර්ණවල ආලෝක බුබුළුවලින් ආලෝකමත් කර තිබෙන ආකාරය ඔබ දැක ඇති. මෙවැනි අවස්ථාවක මාංශමය ආහාරයක් පරීක්ෂා කර බැලීම සුදුසු නැහැ. එය පරීක්ෂා කර බැලිය යුතු වන්නේ සාමාන්‍ය දිවා ආලෝක තත්ත්වයන් යටතේ පමණයි. ඒ නිසා මස් වර්ග මිලදී ගැනීමට පෙර අතට ගෙන පරීක්ෂා කර බැලීමට සිහි තබා ගත යුතු වෙනවා.

 

තීව්ර වර්ණ සහිත ආහාර

සමහර ආහාර වර්ග විශේෂයෙන්ම සෝස් වැනි ආහාරවල ස්වාභාවික පැහැය තීව්ර වර්ණයක් ගන්නේ නැහැ. ඒවායේ ස්වාභාවික පැහැය උදාසීන වර්ණයක්. නමුත් සමහර සුපිරි වෙළෙඳසැල්වල විකිණීමට තබා ඇති සෝස් වර්ග ඉතාම තීව්ර පැහැයන්ගෙන් යුතුයි. එවැනි පැහැයන් ඇති වීමට හේතුව ඒවාට යොදා ඇති කෘත්‍රිම වර්ණක වර්ග බව ඔබ සිහි තබා ගැනීම වැදගත්. ඒ නිසා එවැනි ආහාර වර්ගවලින් හැකිතාක් ඈත් වෙන්න ඕනේ.

 

ස්වදේශීය ආහාර

අපේ රටේ විකිණීමට ඇති බොහොමයක් ඇසුරුම් කළ ආහාර වර්ග වෙනත් රටවලින් ආනයනය කළ ආහාර බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙවැනි ආහාර වර්ග කල් තබා ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදා ගෙන තිබෙනවා. සමහර අවස්ථාවල ඒවා සිරුරට නුසුදුසු තත්ත්වයට පත් වී තිබෙන්නටත් බැරි නැහැ. නමුත් ස්වදේශීය ආහාර නිෂ්පාදනම මිලදී ගැනීමට යොමු වීමෙන් මේ තත්ත්වයෙන් මිදෙන්න ඔබට අවස්ථාව තිබෙනවා.

 

දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>