TT Ads

කාන්තාවකට හිතුවොත් මේ ලොව කරන්නට නොහැක්කක් නොමැත. ඒ ගැන හොඳම උදාහරණය හමුවන්නේ අපේ අසල්වැසි ඉන්දියාවෙනි. ඉන්දියාවේ මිහිමත කළ නොහැක්කක් නොමැති බව කියන කොමාන්ඩෝ කොල්ලන්ට පුහුණුව ලබාදෙන වෛද්‍ය සීමා රාඕ ඒ තැනැත්තියයි. රට වෙනුවෙන් මුළු ජීවිතයම කැපකළ මේ සුරූපිණිය යක්ෂණියක සේ සටන් කළ හැකි දස්කම් රැසක් පිරි තැනැත්තියකි. ඇගේ චරිතය නිසැකවම මතකයට නංවන්නේ (වොන්ඩර් වුමන්) චරිතයයි. කොටින්ම ඇය ලස්සන නමුත් යකඩ ගැහැනියකි.

ඇය 60 දශකයේ මුල්භාගයේ සිට ලෝකය ආලෝලනය කළ සුප්‍රකට සටන් තරුව බෲස් ලී හඳුන්වා දුන් ජීට් කූන්ඩෝ කළුපටි 7වන කාණ්ඩය දරන කාන්තාවන් දහදෙනා අතරින් එක් අයෙකි. සමීපයේ සිට කරන සටන් සඳහා සූරියකි. ගිනි නිවන ක්‍රියාන්විත සඳහා දක්ෂ තැනැත්තියකි. කිමිදුම් කාරියක ලෙස විශිෂ්ටත්වය දක්වන ඇය ඉලක්කයට වෙඩි තැබීමේ සූර උපදේශිකාවකි. කඳු නැගීමේ දස්කම් නිසා පදක්කම් පවා හිමි කරගත් සීමා රාඕ ඉන්දීය ලෝක රූ රැජින තරගයේ අවසන් වටයටද තේරී පත්වු සුරෑපිණියකි. මේ සියලු‍ දස්කම් දරන ඇය කැපී පෙනෙන චරිතයක් ලෙස වඩාත් ගරු බුහුමන් ලබන්නේ ඉන්දීය කොමාන්ඩෝ සෙබළ පුහුණුවට කැපවුණ ප්‍රථම සහ එකම මිලිටරි උපදේශිකාව හැටියටය. වඩාත්ම අපූරු කාරණය ඇය ඒ සඳහා තඹයක්වත් අය නොකිරිමය.

සීමා රාඕ – සීමා මායිම් නැති නිදහස් නවීන අදහස් දැරූ පවුලක නියෝජිතවරියකි. ඇගේ සීයා ගෝවේ පළාත පෘතූගිසීන්ගෙන් මුදා ගන්නට අරගල කළ නිදහස් සටන් කරුවෙකි. ඔහු මහාචාර්ය රාමාකාන්ත් සිනාරිය. සීමා හැදුණේ වැඩුණේ ඉන්දීය නිදහස් අරගලය පිළිබඳ ධීර-වීර කතා නිතර ඇසුණු පරිසරයකය. ඒ නිසාම ඇය උපතින්ම දේශ ප්‍රේමය ගරු කළ, රට වෙනුවෙන්ම එකහිතින් සේවයට කැපවන්නට සුදානම් වූ තැනැත්තියකි. ඇයට ඒ සඳහා මංපෙත පෑදෙන්නේ සිය අනාගත සැමියා වයස 16දී මුණ ගැසීමත් සමඟය. අවුරැදු 12 තරම් ළාබාල වයසේ සිට ආත්මාරක්ෂක සටන් කලා පුහුණුව අරඹා සිටි ඔහු, මේජර් දීපක් රාඕ සිය පෙම්වතිය සීමා හටද ඒ ක්ෂේත්‍රයට යොමුවන්නට මඟ පෙන්නුවේය. ඇය බෲස් ලී හඳුන්වාදුන් ජීට් කූන් ඩෝ සටන් කලාවේ සූරියක වන්නේත්, හමුදාවේ දක්ෂ කොමාන්ඩෝවරියක සහ උපදේශිකාවක වන්නේත් මේ පසුබිම තුළය.

සීමා, මේජර් රාඕ සමග විවාහ වූ පසුත් මේ දෙදෙනාම එක්වී සටන් කලාවත් වෙඩි තැබීම සහ ආයුධ පුහුණුවත් දිගටම පවත්වාගන යන අතරම වෛද්‍ය අංශයේ ඉගෙනුම ද සිදු කළේය. මේජර්වරයා නිතී උපාධිය සමත්වෙද්දී සීමා අපදා කළමනාකරණය ගැන එම්.බි.ඒ. උපාධියද ලබා ගත්තේය. අපූරු මිනිසුන් වූ මේ දෙදෙනාම තමන් හට සිය රටට කළ හැකි කෙබඳු සේවයක්ද යන්න ගැන නිතර කතාබහ කළහ. අන්තිමේ තඹයක්වත් අය නොකර සිය සටන් දැනුම ඉන්දියානු හමුදාව වෙත ලබා දෙන්නට මේ දෙදෙනා තීන්දු කළහ.මේ අමුතු පන්නයේ යෝජනාවත් රැගෙන ජෝඩුව 1996දී ඉන්දීය හමුදා ලොක්කන් හමුවන්නට ගියහ. මේ අපූරු යුවළගේ අමුතු යෝජනාවේ ඵලදායකත්වය ගැන සතුටු වූ හමුදා ලොක්කෝ ඔවුන්ට පහසුකම් සපයන්නට කැමති වුහ. එතැන් සිට වසර 23කට ආසන්න කාලයක් ඉන්දීය හමුදාවේ පුහුණුකාරියක ලෙස සීමා අසීමිත සේවයක යෙදී සිටින්නීය. බොහෝ දුෂ්කරතා මැද කාලයක් මේ දෙපොළට ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවිය. නමුත් සිය රට රකින හමුදාවෙන් තඹයක්වත් නොගැනීමට ඔවුන් මුලින් ගත් තීන්දුව මේ යුවළ වෙනස් නොකළහ. මේ කැපවීම තුළ ඔවුනට බොහෝ දේ අහිමිව ගියේය. ආරක්ෂක පුහුණුව සඳහා රටපුරා යන නිසා සීමාට සිය පියාගේ මළගමට පවා සහභාගිවන්නට නොහැකි විය. තමන්ගේම දරුමල්ලන් ලැබීම දුෂ්කර නිසා සීමා දියණියක දරුකමට හදාවඩා ගත්තාය. අතිශය දුෂ්කර පුහුණුවීම්වලදී ඇයගේ ජිවිතයද අනතුරට ලක්වූ අවස්ථා එමටය. කිහිපවරක්ම හදිසි අනතුරුවලට ලක්වූ ඇය වරෙක කොඳු ඇට බිඳීමකටද ලක්වූවාය. වරෙක කැරලිකාරයන් පිරිසක් ඇයට එල්ලය ගත්තේය. තවත් වතාවක් දැඩි ලෙස හිසට හානි වූ ඇයගේ මතකය මාස ගණනාවක් අහිමිව ගියේය. නමුත් සිය රටට සේවය කිරීමේ උතුම් අභිලාෂය ඇගෙන් ගිලිහී ගියේ නැත. ඇය හමුදා ප්‍රධානීන් හතර දෙනෙක් වෙතින් ගෞරව බහුමානයට පත්වූ එකම ඉන්දීය කාන්තාවද වන්නීය.
මේ නිර්භීත කාන්තාව කෙතරම් දක්ෂද යන්න පැහැදිලි වන ප්‍රකාශයක් ඇය වරෙක සිදුකර තිබුණි. “මගේ හිස වෙත ඕනැම වේගයකින් එන උණ්ඩයකින් ගැලවෙන එක මට සුළු දෙයක්.ඒ වගේම මට යාර 50ක් ඈතින් ඉන්න කෙනෙක්ගේ හිසමත තියන ඇපල් ගෙඩියකට ඒ තැනැත්තාට සීරිමක්වත් වෙන්නේ නැති වෙන්න වෙඩි තියන්න පුළුවන්. “ඇය විසින්ම හඳුන්වාදුන් යාර 20කට එපිටින් ඇති ඉලක්කයකට විගසින් වෙඩි තැබිමේ උපක්‍රමය ඉන්දීය හමුදාව තුළ රාඕ වෙඩි තැබීමේ ක්‍රමවේදය ලෙස ප්‍රකටය. ඇය හමුදා පුහුණූව පිළිබඳ පතපොතද ලියා තිබේ. රාඕ යුවළ ආයුධ රහිත කොමාන්ඩෝ සහ ආත්මාරක්ෂක සටන්
පුහුණු ඇකඩමියක්ද පවත්වාගන යයි. සීමා සිවිල් පුද්ගලයන් හටද මෙහිදී කළුපටි මට්ටම දක්වා පුහුණුවට අවස්ථාව සලසා ඇත. කාන්තා ආරක්ෂාව ගැන තදින්ම උනන්දුවක් දක්වන ඇය ඔවුන්ට එබඳු අසීරුතාවලින් ගැළවීමට පුහුණුව ලබාදෙන වැඩසටහනක් DARE නමින් අරඹා ඇත. ඉන්දියාවේ බෲස්ලි සටන් ක්‍රමය සහිත පළමු සිනමාපටය Hathapayi” අධ්‍යක්ෂණය කරමින් රංගනයට දායක විමටද ඇය සමත් ව තිබේ. ඇය මේ වන විට සෙබළුන් 15000කට වැඩි සංඛ්‍යාවකට පුහුණුව ලබාදී ඇති අතර ලෝක සාම ත්‍යාගය, ස්වේච්ඡා සේවාවන් සඳහා වූ අමෙරිකානු ජනපති සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලද තැනැත්තියකි.

නිශානි අත්තනායක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>