TT Ads

 

ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ හිටපු සභාපති, ජනප්‍රිය ගායක කීර්ති පැස්කුවෙල් පසුගියදා මෙබඳු සටහනක් සිය මුහුණුපොතෙහි (Facebook) තබා තිබිණ.

“මහරගම අපේක්ෂා රෝහලේ පසුගිය ජනවාරි 13දා සිට නේවාසිකව ප්‍රතිකාර ලබන ගායන ශිල්පි සෝමසිරි මැදගෙදර සොයුරා මහත් සිත්වේදනාවෙන් සහ දැඩි කලකිරීමකින් අද මට කතා කළා… ඒ ඔහුගේ දුක සැප බලන්නටවත් කලා ක්ෂේත්‍රයේ බොහෝ අයට අමතක වී ගොස් ඇති නිසා. මිල මුදලින් ආධාර නොකළත් ගිලන් වී රෝහල් ගතවූ විට දුක සැප බැලීමට යාමත් රෝගියාගේ හිතට කොච්චර ශක්තියක්ද කියලා හිතෙන්නේ ලෙඩක් දුකක් හැදුණට පස්සේ. ඒ සතුට ඔහුට හිමිවෙලා නෑ. සෝමසිරි කියන්නේ පුහු මාන්නයෙන් හිස උදුම්මා නොගත් ඉතා නිහතමානී අවංක කලාකරුවෙක්. පොළොවේ පය ගහලා ජීවත්වුණු මනුස්සයෙක්. අපි හැමෝම එතුමාට ඉක්මන් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමු. අඩු වශයෙන් මෙයවත් ඔහුගේ හිතට සතුටක් ගෙන දේවි.”
මෙම සටහන මුහුණු පොත හරහා සියලු දෙනා අතර පැතිර යන්නට ගත්තේ සුළු මොහොතකි. ඉතා සීමිත පිරිසක් සෝමසිරි මැදගෙදර කලාකරුවාගේ රෝගී තත්ත්වය ගැන දැන සිටියද බොහෝ දෙනෙක් කුමන හෝ රෝගයකින් මේ ජනප්‍රිය ගායන ශිල්පියා පෙළෙන බව දැන සිටියේ නැත.
එයින් පසු ඇති වූ තත්ත්වය ගැන අපට කීවේ මේ ජනප්‍රිය ගායකයාගේ ආදරණීය බිරිඳ නීලා මැදගෙදරයි.
“මහත්තයා හිටපු මානසික පීඩනයත් එක්ක තමයි ඔය කතාව කීර්ති එක්ක කියලා තිබුණේ. ලෙඩක් දුකක් හැදුණාම කවුරු හරි ළඟ ඉන්නවා නම්, බලන්න එනවා නම් ඕනෑම කෙනෙකුට ඒක විශාල මානසික සුවයක්. ඒත් මමත්, පුතාලා දෙන්නත්, දුවත්, මහත්තයාව මහරගම අපේක්‍ෂා රෝහලේ නැවැත්තුවා කියලා කාටවත්ම කිව්වේ නෑ. ඒකටත් හේතුවක් තිබුණා. මහත්තයාට මහරගම අපේක්‍ෂා රෝහලේ ශල්‍යකර්මයක් කරන්නයි තිබුණේ. එයා රෝහල් ගත කළේ ඒකටයි. ශල්‍ය කර්මයෙන් පස්සේ විෂබීජ යන නිසා අමුත්තන් සීමා කරන්නයි අපි ඒ ගැන කාටවත් නොකිව්වේ. ඒත් සෝමසිරි මැදගෙදර කියන්නේ බොහොම සංවේදී පුද්ගලයෙක්. එයා හිතලා තියෙන්නේ ක්‍ෂේත්‍රයේ එයාගේ යාළුවෝ එයාගේ තත්ත්වය දැනගෙන ඉඳලත් බලන්න ආවේ නෑ කියලයි”.
නීලා මැදගෙදර මහත්මිය එසේ කීවේ මහරගම අපේක්‍ෂා රෝහලේ 25 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි සිය ආදරණීය සැමියා දෙස බලමිනි.
“ඔපරේෂන් එකෙන් පස්සේ මට ටිකක් අමාරු වුණා. ලේවල ප්ලේට්ලට් බැහැලා තිබුණා. තව අක්මාවේ දුර්වලකමකුත් ආවා. මේ හැමදෙයක් එක්කම මම මානසිකව වැටිලයි හිටියේ”.
සෝමසිරි මැදගෙදර මුවගට යම් සිනා පොදක් නංවාගෙන. අප සමග කීවේය.
“මහත්තයා ලෙඩ වෙලා ඉස්පිරිතාලේ කියලා දැන ගත්තාම එයාගේ යාළුවොයි, රසික රසිකාවියොයි රෝහලේ ගේට්ටුව ළඟ පිරෙන්න ගත්තා. ඒත් හැම වෙලාවෙම ලෙඞ්ඩු බලන්න දෙන්නේ නෑ. පාස් එකෙන් යන්න පුළුවන් දෙන්නෙකුට විතරයි. ඒත් 20ක් 25ක් විතර ගේට්ටුව ළඟ හැමදාම පිරිලා හිටියා. ආරක්‍ෂක අංශයටත් මේක ප්‍රශ්නයක් වුණා. අන්තිමට ලොකු පුතාට ෆේස්බුක් එකේ පණිවුඩයක් දාන්නත් සිදුවුණා වෙලා තියෙන තත්ත්වය ගැන කියලා. මමයි, මහත්තයයි, පුතාලා දෙන්නයි, දුවයි හැමදෙනාටම පින් දෙනවා අපිට දැක්වූ සහයෝගයට සහ ආදරයට”.
නීලා මහත්මිය එසේ කීවේ දෑසට නැගුණු කඳුළක්ද පිස දමමිනි.
“අන්තිමට මම සංගීත ප්‍රසංගයකට ඇමෙරිකාවට ගිහින් ආවා. ඒ ඇවිත් තමයි කිමෝ ප්‍රතිකාර එහෙම අරගෙන ශල්‍යකර්මයට සූදානම් වුණේ. තව ටික කාලයක් මට පරිස්සම් වෙන්න වෙයි. එහෙම තමයි වෛද්‍යවරු කිව්වේ”
සෝමසිරි මැදගෙදර අපත් සමග කීවේය.
“අපොයි ඔව්…. සමහර වෙලාවට අද හෙටම ටිකට් කපයි. ඒත් ගෙදර ගිහින් බොහොම පරිස්සම් වෙන්න වෙයි”.
නීලා සිය සැමියාගේ ප්‍රතිචාරය දෙස බලමින් එසේ කීවාය.
“මේ වෙලාවේ මහරගම අපේක්‍ෂා රෝහලේ වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය, ආරක්‍ෂක අංශයේ නිලධාරීන් ඇතුළු සියලුම දෙනා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ඇත්තටම මෙතන ඉන්නේ දෙවිවරු වගේ පිරිසක්. ඒ සියලු දෙනාගෙන් ලැබුණු සහයෝගය වචනවලින් කියන්න බෑ”.
එසේ කියමින් නීලා මහත්මිය සිය ස්වාමියා කුමක් කියාවිදැයි බලා සිටියාය.
“ඇත්තටම ඔව්. මම මිහිපිට දෙවියන් කියන්නේ කවුද කියලා සියැසින් දැක ගත්තා. ඒ හැමෝටම පිං කියලා කියන්න”
ඔහු අපෙන් ඉල්ලීමක්ද කළේය.
සෝමසිරි මැදගෙදර කලාකරුවා ගැන අද ඔබට කියන්නට ඇත්තේ එබඳු කතාවකි. ඉස්සර බැඳි පෙම, සඳයි තරුයි නිසංසලේ, ඔබගේ දෝතින් පිදූ ආදරේ, පිපෙනවාලු මල්, ඔබේ ආදරේ මහා සාගරේ හා සමානයි කියූවත් ළඳේ වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ගැයූ මේ සොඳුරු කලාකරුවාට ‘රැජිනිය’ අපිද නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

ගීත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>