TT Ads

 

“මට පුංචි උදව්වක් කරනවද?”
දුරකථනයෙන් මා ඇමතූ තරුණ ජනප්‍රිය නිළියක් කලබලයෙන් මෙන් මගෙන් එබඳු ඉල්ලීමක් කළාය.
“මොකක්ද?”
“මේ දවස්වල මම ගැන ලොකු මඩ ප්‍රචාරයක් යනවා. රන්ජන්ගේ ලීක් වුණු වොයිස් කට් එකක මගේ නමත් කියවෙනවා. ඕක අල්ලන් තමයි උන් මට මඩ ගහන්නේ. මම දන්නවා මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලත්. ඒත් මම අසරණයි. කරගන්න කිසි දෙයක් නෑ. පත්තරවලිනුත් කතා කරලා මගෙන් ඔය ගැන අහනවා. මට දැන් සමාජෙට මුහුණ දෙන්නත් බැරිවයි ඉන්නේ. රන්ජන්ගේ කතාව අල්ලන් මට මඩ ගහන කෙනා මාත් එක්ක යාළුවෙන්න මගේ පස්සෙන් ආවා. මිනිහට ඒක කරගන්න බැරි වුණ හින්දා තමයි මේ හැම දෙයක්ම කරන්නේ… අනේ ප්ලීස්…. මං ගැන විශ්වාස කරලා මගේ ඇත්ත කතාව පත්තරේ දාලා දෙන්න.
ඇය මගෙන් එම ඉල්ලීම කරද්දී නොහැඬුවා පමණය.
“රැජිනිය” අපි මොන කතාවක් ආවත් ඒ ගැන හොඳට හොයා බලන්නේ නැතිව පත්තරේ දාන්නේ නෑ. අපි තවත් කෙනෙකුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා වගේම, කතාව ටිකක් උණුසුම් නම් සිද්ධියට අදාළ හැමෝගේම අදහස්වලටත් ඉඩකඩ ලබා දෙනවා.
“හැබැයි මෙතනදී ඔයාව විශ්වාස කරලා ඔයාගේ කතාව පත්තරේට ලියන්නම් කියලා මම පොරොන්දු වෙනවා”
මම එදා ඇයගේ සිත සැනසෙන අන්දමේ පිළිතුරක් ලබා දුන්නෙමි.
“රන්ජන්ගේ මේ කේස් එකත් එක්ක මුළු ෆීල්ඞ් එකම හොල්මන් වෙලා ඉන්නේ. මේ යකත් එක්ක මොනවද කතා කළේ කියලා දැන් හැමෝම කල්පනා කරනවා. ඔය පියුමි, ජානකී වගේ අය එක්ක කතා කරපු වොයිස් කට්වල රන්ජන් මොනතරම් අයගේ නම් කියනවද? ඒත් ඒ ඔක්කොම ඇත්ත නෙමෙයි. දැන් මේ කෙල්ල වුණත් පව්. පොෂ් විදිහට හිටියට ඔය කෙල්ල ඩ්‍රග්ස් ගන්නේ නෑ”.
මා ඉහත කී සිදුවීම පිළිබඳව විමසා සිටියේ මේ කියන තරුණ නිළියව සිය නිර්මාණවලට සම්බන්ධ කරගත් ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකුගෙනි. ඔහුගෙන් ලැබුණු ඉහත පිළිතුරෙන් පසු මෙබඳු සටහනක් පණ ගැහෙන අකුරුවලට එකතු කරන්නට මම කල්පනා කළෙමි.
මොකක්ද මේ මඩ ගහනව කියන්නේ….?
ඇයි මිනිස්සු එහෙම කරන්නේ…..?
සමහර විට මේ ප්‍රශ්නයට ඔබ මටත් වඩා හොඳ උත්තරයක් දෙන්නට පුළුවන්. මොකද මඩ ගැසීම්, ගල් ගැසීම්, නමට තාර ගැසීම් කියන මේ දේවල් ශ්‍රී ලාංකිකයන් වෙච්ච අපිට හොඳ හුරු පුරුදු දේවල් නිසා.
සමහරු කෙනෙකුට චෝදනා කරන්නත් මඩ ගහනවා. සමහර විට මේ “මඩ” වලට ඈඳුණු චෝදනා ඇත්ත වෙන්නත් පුළුවන්. මොකද ඕනෑම කෙනෙක් අතින් වැරැද්දක් සිදුවෙන්න පුළුවන් නේ. වැරදි නොකරන කෙනෙක් මේ ලෝකේ කොහේවත් නෑ. හැබැයි වැරැද්දක් වුණොත් ඒක හදා ගන්නත් ඕනේ. වැරදි පෙන්වා දීමත් හොඳ දෙයක්. දැන දැන වැරදි කරන අයට, වැරදි පිළිනොගන්නා අයට, වැරදි හදාගන්න උත්සාහ නොකරන අයට… ඒ ගැන කියාදීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගත් තියෙනවා. මම මේ කියන්නේ ශීලාචාර මිනිසුන් විදියට වැරදිකරුවෙකුට චෝදනා කරන, වැරදි පෙන්වා දෙන ක්‍රම ගැනයි.
සමහරු මඩ ගහන්නේ කෙනෙකුගේ වරදක් නිසාමත් නෙමෙයි. සමහරුන්ට ඒක විනෝදාංශයක්. කෙනෙකු ගැහීමෙන්, පාච්චල් කිරීමෙන්, තැන තැන ඔහුගේ හෝ ඇයගේ වැරදි කිය කියා යාමෙන්, ලැජ්ජා කිරීමෙන් මේ අය ලොකු මානසික තෘප්තියක් ලබනවා. අනුන්ට රිදවලා සතුටක් ලබන මේ විකෘති මානසිකත්වය වෛද්‍ය විද්‍යාව හඳුන්වන්නේ සේඩීස්ටික් ඉම්පල්ස් (sadistic impulse) කියලා.
ඔබට කවුරුහරි මඩගහනවා නම් කළ යුතු පළමු දේ තරහා ගැනීම නොවෙයි. නිහඬව බුද්ධිමත්ව ප්‍රශ්නයට මුහුණ දීමයි. ගොඩක් වෙලාවට අනුන්ට මඩ විසි කරන්නේ මඩ ගොඩවල එරිලා ඉන්න උදවියමයි කියලත් හිතන්න ඕනේ. තමන් හරි නම් තමන්ගේ නිර්දෝෂී බව හෝ තමන්ගේ ස්ථාවරය කාටත් පුන පුනා කියන්නට යන්නත් එපා. මඩ ගසන්නාට ඕන කරන්නේ ඔබව අවුස්සන්නයි. ඔබව කලබල කරලා, හිතේ සාමය නැති කරලා ඔබව මානසිකව වට්ටන්නයි. ඒකට නම් අහුවෙන්න එපා. ඕන තරම් මඩ ගහපු දෙන් කියලා හිනාවෙලා ඉන්න. අර කතාවක් තියෙන්නේ “කොස් ඇට මීයෝ හර්තාල් දැම්මාට සිංහයෝ හැරිලාවත් බලන්නේ නෑ” කියලා.
ඉතින් මීයෝ දැඟලුවට සිංහයෝ ගණන් ගන්නේ නෑ වගේ ඔබට කවුරු මොන විදියේ නින්දා අපහාස කළත්, මොන විදියේ මඩ ප්‍රහාර එල්ල කළත් ඒ ගැන හැරිලාවත් බලන්නේ නැතිව බුද්ධිමත් විදියට ඉන්න. හැම ප්‍රශ්නයක්ම ඔබට කාලයා විසින් විසඳලා දේවි. මේ කියන කාරණය ඔබත් හොඳින් තේරුම් ගත්තොත් ඔබත් සතුටින් සිටීමේ ලොකුම රහස සොයාගත් කෙනෙක් වෙනවා නොඅනුමානයි.

ගීත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>