TT Ads

ඉස්හොරි තුරුණු වයසේ පසුවන ගැහැනු පිරිමි කාටත් ඉතා අප්‍රසන්න බවක් ඇති කරවන සුලබ රෝගී තත්ත්වයකි. තරුණ කාන්තා පක්ෂය ඉස්හොරි පිළිබඳව වැඩි සැලකිල්ලක් අවධානයක් දැක්වුවද ඉස්හොරි වඩාත්ම ඇතිවෙන්නේ පිරිමි පාර්ශ්වයටයි. කෙසේ වෙතත් ඉස්හොරි ගැහැනු පිරිමි කාටත් හිරිහැරයකි. කරදරයකි. පාකින්සන් රෝගය, හෘදයාබාධ, හිසට සිදුවූ අනතුරු, අංශබාගය, ඒඞ්ස් වැනි රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට වෙනත් අයට සාපේක්ෂව ඉස්හොරි බහුලය. එමෙන්ම නොගැළපෙන හිසගල්වන ඇතැම් තෙල් වර්ග වැනි නිපැයුම් භාවිතයද ඉස්හොරි ඇතිවීමට හේතුවෙයි. ඉස්හොරි පාලනය සඳහා දේශීය වෙදකමේ මෙන්ම බටහිර වෙදකමේද සාර්ථක ප්‍රතිකර්ම පවතී

ඉස්හොරි ඇතිවීමේ අසාමාන්‍යතා

සමෙහි මළ සෛල ඉවත්වීම හා නව සෛල ඇතිවීමේ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් හිසෙහිද එලෙසම සිදුවේ. මෙම ක්‍රියාවලියේ කිසියම් අසාමාන්‍යතාවයක් නිසා සමේ මියගිය සෛල වඩාත් වේගයෙන් ඉවත්වීම නිසා හිසමත සුදු කුඩු හෝ පොතු වැනි ස්වභාවයක් ඇතිවෙයි. මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ Seborrheic Dermatitis ලෙසයි. ඉස්හොරි ඇතිවීම ඉතා තදින්ම අප්‍රසන්න ලෙස බලපවත්වන්නේ ඇහිබැම, ඇසිපිය, නාසයේ දාර, තොල්, කන පිටු පස, කන් සිදුර, පියයුරුවල යට දාරයේ, පපුවේ මැද ප්‍රදේශයේ, කිහිලි, ඉකිලි මෙන්ම තට්ටම් වැනි ස්ථානවලද ඉස්හොරි ඇතිවීමෙනි. මෙවැනි තත්ත්වයට පත්වූ අයෙකු විශේෂයෙන්ම ඉස්හොරි පාලනය කිරීමේදී සැලකිය යුතු විශේෂ තත්ත්වයන් මොනවාදැයි නිසැකවම දැන සිටීම ඉතාමත්ම වැදගත්ය.

ඉස්හොරි වර්ධනය වීමට බලපාන හේතු

■ වියළි සමක් මෙන්ම තෙල් සහිත සමක් තිබීම.
■ අධිකව දහඩිය දැමීම.
■ අධිකව වෙහෙසවීම.
■ යම් යම් දිලීර ආසාදන.
■ ස්ථුලතාවය (තරබාරුකම)
■ කුරුලෑ වැනි තත්ත්වයන්.
■ අධික ශීත හෝ අධික උණුසුම් කාලගුණය.
■ මානසික ආතතිය.
■ සමබල ආහාර වේල් අවම ලෙස පරිභෝජනය.

ඉස්හොරි බෝවෙනවාද?

ඉස්හොරි ලෙස හඳුන්වන්නේ ශරීරයේ වර්ධනය වන දිලීර වර්ගයක් ( Malassezi) නිසා ඇතිවන ප්‍රතික්‍රියාවකි. මේ නිසාම ඉස්හොරි කිසිසේත්ම බෝ නොවන බව කිවයුතුයි. ශරීරයේ තෙල් ස්‍රාවය කරන ග්‍රන්ථි අධික ප්‍රදේශවල ඉස්හොරි බහුලව දක්නට ලැබෙයි. මේ අනුව නමින් ඉස්හොරි වුවද මෙය හිසට පමණක් සීමා නොවන අතර මුහුණ, ඇහිබැම, ඇහි පිහාටු, නාසය, මුඛය වටා, පිට හා පපුව ප්‍රදේශයටද පැතිර යා හැකිය.

ඉස්හොරි සහිත හිසට සත්කාර

ඉස්හොරි සඳහා විශේෂයෙන්ම නිපදවු ෂැම්පු හා ආලේපන වර්තමාන වෙළෙඳපොලේ ඇත. මෙම ෂැම්පුවල දිලීර නාශක හා ඉස්හොරි නිසා ඇතිවන සමේ පොතු ඉවත්කිරීම සඳහා රසායනික සංයෝග අඩංගු කර ඇත. මෙම ෂැම්පු හා ආලේපන වර්ග ඔබ තෝරාගත යුත්තේ වෛද්‍ය උපදෙස් අනුවය. සති කීපයක් භාවිත කිරීමෙන් නිසි ප්‍රතිඵල ළඟා කරගත හැකිය. රෝග ලක්ෂණ පහව යාම සඳහා අඩුම තරමින් සති 2-3 ක් තරම් කාලයක් වෛද්‍යවරයා නිර්දේශ කරන ෂැම්පු වර්ගය එකදිගට පාවිච්චි කළ යුතුය. (කිසිවිටෙකත් ෆාමසිවල සේවකයන්ගෙන් මේ සඳහා සුදුසු ෂැම්පු වර්ග පිළිබඳව නොවිමසන්න.)

ෂැම්පු ගල්වන අන්දම

ෂැම්පු ආලේප කරනවිට කෙස් අතරින් හිස්කබල ස්පර්ශ වන ලෙස හිස සම්බාහනය හොඳින් කළ යුතුය. එහෙත් එලෙස සම්බාහනය කළ යුත්තේ තදින් නොව ඉතා මෘදුවයි. හිසට ගල්වන ෂැම්පු වර්ගය අඩුම තරමින් විනාඩි දහයක්වත් හිසේ තබා සෝදා හැරීමට ලක්කළ යුතුය. මුල් සති දෙක ගෙවුණ පසු රෝග තත්ත්වය පාලනය වනතෙක් දිනක් හැර දිනක් බැගින් ෂැම්පු ගල්වා ස්නානය කළ යුතුය. හිස්හොරි සුව වුවද එය වහා නතර නොකරන්න.

රෝගය මුළුමනින්ම පාලනය කිරීම සඳහා එම ෂැම්පු වර්ගයම සතියකට වරක් හෝ දෙවරක් බැගින් ඉදිරි සති 2-3ක් පාවිච්චි කරන්න. ඉස්හොරි පාලනය වුවද නැවතත් ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයා නියම කරන ඖෂධ වර්ග නිසි ලෙස පාවිච්චි කරන්න. මෘදු සබන් වුවද සබන් ගැල්වීමෙන් පසු සබන් හොඳින් ඉවත්වන සේ සම සේදීමට ලක් කරන්න. හැකි හැම විටම ලිහිල් කපු ඇඳුම් භාවිත කරන්න. කිසිම විටෙක ඉස්හොරි ඇති ස්ථාන කසන්න එපා. එමගින් රෝග තත්ත්වය බැරෑරුම් විය හැකිය. මේ සඳහා ඇති විවිධ දිලීර නාශක හා මුඛ මාර්ගයෙන් ගන්නා ඖෂධ වෛද්‍ය උපදෙස් අනුව නියම කරන කාලය පුරා පාවිච්චි කරන්න.

ඉස්හොරි පාලනය සඳහා

■ සෞඛ්‍ය සම්පන්න, සමබල ආහාර වේල් දිනපතාම භුක්ති විඳින්න.
■ මානසික ආතතිය ඉස්හොරි වැඩි කිරීමට හේතුවන බැවින් නිතර සතුටින් කාලය ගතකරන්න.
■ දිනපතාම ස්නානය කරන්න.
■ හිසකෙස්වල තෙතමනය ඉවත් කිරීම සඳහා හිසකේ වියළන උපකරණ (Hair Dryers) භාවිතා කිරිමෙන් වළකින්න.
■ ස්ථුලතාවය අනිවාර්යයෙන්ම ක්‍රමයෙන් අඩු කරගන්න.
■ සමේ තෙතමනය ආරක්ෂා වෙන්න ප්‍රමාණවත් ලෙස දිනපතා ජලය පානය කරන්න. පැය භාගයකට වරක් මිලි ලීටර් 250-300 බැගින් ජලය පානය කරන්න.
■ හිසකේ ජෙල් කිරීම ඉතාම අවම කරන්න.
■ මද්‍යසාර අඩංගු විවිධ ආලේපන හිස ගැල්වීමෙන් වළකින්න.

රඹුක්කන
කීර්ති එස්. කුමාර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>