TT Ads

හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ


සුරතලයට සුනඛයන් ආදී සතුන් ඇති කිරීමෙන් මානසික සුවයක් ලැබිය හැකි බව අප බොහෝ දෙනෙක් පිළි ගන්නා කරුණක්. නමුත් එලෙස සුනඛයකු සුරතලයට ඇති කරමින් දවසේ යම් කාලයක් හෝ ඒ සතා ඇසුරේ ජීවත් වීම හෘදයාබාධ, අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ අධි කොලොස්ට්‍රෝල් කියන රෝග සඳහා කදිම විසඳුමක් බව මා කීවොත් ඔබ එය පිළිගන්නවාද?

නමුත් මේක හුදෙක් මගේ ප්‍රකාශයක් නම් නෙවෙයි. ලෝක ප්‍රකට ඇමෙරිකානු හෘද සංගමය (American Heart Association) නිකුත් කළ විද්‍යාත්මක වාර්තාවක සඳහන් වන දෙයක්. ඒ වාර්තාව සකස් කොට ඇත්තේ යම් පුද්ගලයන් සංඛ්‍යාවක් සම්බන්ධ කරගෙන පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරමින් දිගු කාලයක් තිස්සේ ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ නිරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහටයි. ඒ අනුව එය සරල කාරණයක් විදිහට සලකන්න බැහැ.

ඒ පර්යේෂණ වාර්තාවට අනුව ඉහත සඳහන් රෝග පීඩා සඳහා වන ප්‍රධාන අවදානම් සාධකයක් ලෙස මානසික ආතතිය හඳුනා ගෙන තිබෙනවා. ඒ වගේම ඒ ඔස්සේ චිත්තාවේග මතු කිරීම ආදිය මගින් ඉහත සඳහන් රෝග තත්ත්වයන් සඳහා සෘජු පිටිවහලක් ලැබෙන බව තහවුරු කර ඇති එම වාර්තාව ඒ මානසික ආතතිය සහ චිත්තාවේග මුදා හැරීම සෙසු පුද්ගලයන්ට සාපේක්ෂව සුරතල් සුනඛයන් ඇති කරන හා ඔවුන්ට සමීපව ජීවත් වන පුද්ගලයන් කෙරෙන් පැහැදිලි අඩු බවක් දක්නට ලැබෙන බවත් තහවුරු කර තිබෙනවා. ඒ එලෙස සුනඛයන් ඇති කරන සහ එසේ නොකරන පුද්ගලයන් තුළ පවත්නා ඒ රෝග තත්ත්වයන් විද්‍යාත්මක පදනමක් යටතේ තුලනාත්මකව සංසන්දනය කිරීමෙන්. එහිදීද ඉහත සඳහන් රෝග පීඩා සඳහා ලබා ගන්නා ඖෂධවල සාමාන්‍ය මාත්‍රාවන්ට වඩා අඩු මාත්‍රාවක් ලබා දීමෙන් සුනඛයන් ඇති කරන්නවුන් තුළ පවතින එම රෝග තත්ත්වයන් පාලනය කළ හැකි බව ඒ විද්‍යාත්මක වාර්තාව පෙන්වා දෙනවා.

ඒ නිසා අද ලෝකයේ දියුණු රටවල වෛද්‍යවරුන් ඉහත සඳහන් රෝගාබාධවලින් පෙළෙන්නවුන්ට සුරතල් සුනඛයකු ඇති කරන ලෙසටත් ඒ සුනඛයා සමග දවසේ යම් වේලාවක් ගත කරන ලෙසටත් උපදෙස් දෙනවා. නමුත් මා දන්නා තරමින් අපේ රටේ නම් තවමත් එවැනි තත්ත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>