TT Ads

කලණි දොඩංතැන්න නම් වන ඇය රංගන ශිල්පිනියක ලෙස පළමුවරට ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණියේ “සහෝදරයා” ටෙලි නාට්‍යයේ “උත්තරා දේවි” ලෙසිනි. සිය පළමු ටෙලි නාට්‍යයෙන්ම තමන් සතු රංගන ප්‍රතිභාව මනාව ප්‍රකට කළ ඇය, එම රංගනය වෙනුවෙන් අවස්ථා කිහිපයකදීම සම්මානයටද පාත්‍ර වූවාය. පසුගියදා (20) පැවැත්වුණු 2019 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදීද වසරේ හොඳම නිළියට හිමි සම්මානයෙන් ඇය පිදුම් ලැබූ අතර එහිදී වසරේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ඇගේ දයාබර සැමියා වන රංගන ශිල්පී තුමිඳු දොඩංතැන්නයි. සිය සැමියා සමග එකම වේදිකාවකදී සම්මානයට පාත්‍ර වීමේ සතුට බෙදා හදා ගනිමින් ඇය “රැජිනිය” සමග මෙලෙස සංවාදයට එක් වූවාය.

 සහෝදරයා ටෙලි නාට්‍යය වෙනුවෙන් ඔබට ලැබුණු සම්මාන අතරට තවත් සම්මානයක් පසුගියදා එකතු වුණා. ඔබට මොනවද හිතෙන්නේ ඒ ගැන?
“සහෝදරයා” වෙනුවෙන් මාව මේ විදිහට සම්මානයට පාත්‍ර වීම ගැන මට තියෙන්නේ විශාල සතුටක්, ගෞරවයක් වගේම පුදුමයක්. “සහෝදරයා” කියන්නේ මම රඟපෑ මුල්ම ටෙලි නාට්‍යය. මට කවදාවත් හිතුණේ නැහැ ඒ වෙනුවෙන් මාව මේ තරම් ඇගයුමට ලක්වේවි කියලා. අනික තුමිඳුත් එක්ක එකම වේදිකාවකදී සම්මානයට පාත්‍රවෙන්න ලැබීම මම කවදාවත් බලාපොරොත්තු නොවුණු විදිහේ ගෞරවයක්.

 ඒ ගෞරවය මේ වෙද්දී දෙවතාවක්ම ඔබට විඳින්නට ලැබුණා නේද?
ඔව්, මට මේ වෙද්දී “සහෝදරයා” වෙනුවෙන් සම්මාන තුනක් ලැබිලා තියෙනවා. ඒ, සිග්නීස් සහ රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලවලදී හොඳම නිළිය විදියට සහ සුමති සම්මාන උළෙලේදී වසරේ නැගී එන නිළිය විදියට. ඒ අතරින් රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී සහ සිග්නීස් සම්මාන උළෙලේදී තුමිඳු තමයි වසරේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ.

 ඔබේ මුල්ම රංගනය මේ තරම් සාර්ථක වීමේ රහස මොකක්ද?
“සහෝදරයා” ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා වන නාමල් ජයසිංහ සර්, විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයෙත් මගේ ගුරුවරයෙක්. ඔහු හොඳ ගුරුවරයෙක් වගේම දක්‍ෂ අධ්‍යක්‍ෂවරයෙක්. නාමල් සර් වගේම රංගනයේදී මට සහයෝගය දැක්වූ චාන්දනී අක්කා, චමිලා අක්කා, රොෂාන් අයියා, උදයන්ති අක්කා, උදේනි අයියා සහ තුමිඳු ඇතුළු සහෝදර රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගෙන් ලැබුණු සහයෝගය නිසා තමයි මම රඟපෑ උත්තරා දේවි කියන චරිතයට ඒ තරම් සාධාරණයක් ඉටු කරන්න මට පුළුවන්කම ලැබුණේ.

 ඔබට ලැබුණු චරිතයේ ස්වභාවයත් ඒ සාර්ථකත්වයට බලපෑවේ නෑ කියන්න බැහැ නේද?
ඇත්තෙන්ම ඔව්, “උත්තරා දේවි”ගේ චරිතය මගේ සැබෑ ජීවිතයට හුඟක් දුරට සමානයි. “උත්තරා දේවි” කියන්නේ සිංහල බෞද්ධ කෙනෙකු සමග විවාහ වුණු දමිළ කාන්තාවක්. ඇගේ ආගම කතෝලික. ඒ වගේම තමයි මමත් දමිළ ජාතිකයෙක්. මගේ ආගමත් කතෝලික. මම විවාහ වෙලා ඉන්නෙත් සිංහල බෞද්ධයකු සමගයි. ඉතින් මේ වගේ සමානකම් නිසා මට මුල ඉඳන්ම ඒ චරිතය තදින් දැනෙන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි මම ඒ චරිතයට ආදරය කළා.

 ඔබේ පළමු ටෙලි නාට්‍ය රංගනයම සම්මානයට පාත්‍ර වුණත්, ඔබ තවමත් ටෙලි නාට්‍යයවලින් නිතර දකින්නට ලැබෙන නිළියක් නෙවෙයි. ඊට හේතුව කුමක්ද?
මම වෙනත් රැකියාවක් කරන අතරතුරේ තමයි කලා කටයුතුවල නියැළෙන්නේ. මම මොරටුව විශ්වවිද්‍යාලයේ මනෝ උපදේශකවරියක්. ඒ වගේම මම දැන් මවක්. ඒ නිසා රඟපාන්න කොච්චර ආරාධනා ලැබුණත් තෝරා බේරා ගත් නිර්මාණවල විතරයි මම රඟපාන්නේ. “සහෝදරයාගෙන්” පස්සේ මම රොෂාන් රවීන්ද්‍ර අයියාගේ ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍යයේත් ‘සිනේමා’ කියන චිත්‍රපටයේත් රඟපෑවා. ඒවා ඉදිරි කාලයේදී ප්‍රේක්‍ෂකයන්ට රසවිඳින්නට ලැබේවි.

 බිරිඳක් සහ මවක් ලෙසින් මේ වෙද්දී ඔබේ පවුල් ජීවිතය ගත වෙන්නේ කොයි විදියටද?
අපේ පුතාගේ වයස තවම අවුරුද්දයි මාස හතයි. පුතාගේ නම අපූර්ව ආදිත්‍ය දොඩංතැන්න. පුතා තමයි අපේ ජීවිතවලට ආලෝකයක් ගෙනාවේ. පුතා එක්ක ගත කරන කාලය හරිම සුන්දරයි. ඒ වගේම තුමිඳු කියන්නේ හොඳ සැමියෙක් වගේම හොඳ පියෙක්. කොච්චර කාර්යබහුල කෙනෙක් වුණත් තුමිඳු කොහොම හරි අපිව සතුටින් තියන්න කාලය හොයා ගන්නවා. මේ නිසා මගේ පවුල් ජීවිතය ගැන මට තියෙන්නේ විශාල තෘප්තියක්.

 තත්පරෙන් කප්පරක් වැඩ රාජකාරි ඉටුකරන්න සිදුවෙන තරමට කාර්යබහුල වෙන අවස්ථා ඔබේ එදිනෙදා දින චරියාවේ ඕනෑ තරම් තිබෙනවා ඇති. මේ කාර්යබහුල බවත් එක්ක ඔබ කොහොමද ඔබේ ජීවිතයේ යුතුකම් සහ වගකීම් ඉටු කරන්නේ?
පවුල් ජීවිතයේදී සහ වෘත්තීය ජීවිතයේදී මට පැවැරිලා තියෙන යුතුකම් සහ වගකීම් මම හොඳට හඳුනාගෙනයි ඉන්නේ. ගෙදරදී මට බිරිඳක් සහ මවක් විදිහට වැඩ රාජකාරි කොටසක් පැවරිලා තියෙනවා. මනෝ උපදේශිකාවක් විදිහටත් මම මගේ වෘත්තීය ජීවිතයට සාධාරණයක් ඉටුකළ යුතුයි. ඒ වගේම රංගන ජීවිතයේදී මට පැවැරෙන වගකීම් මම නිසි පරිදි ඉටුකළ යුතුයි. ඉතින් මේ කියන භූමිකාවන් හරිහැටි හඳුනාගෙන ඒවා වෙනුවෙන් නිසි පරිදි මගේ කාලය වෙන්කරගෙන ඒ සියලු යුතුකම් සහ වගකීම් අතපසු නොකර ඉටුකරනවා.

 ඔබ එක්තරා සුවිශේෂී දරුවන් පිරිසක් වෙනුවෙන් විශේෂ කටයුත්තක නියැළී සිටින බව බොහෝ දෙනා නොදන්නා කාරණයක්. අපි ඒ ගැනත් මේ සංවාදයේදී හෙළි කරමු නේද?
මොරටුව විශ්වවිද්‍යාලයේ මනෝ උපදේශකවරියක් ලෙස කටයුතු කරන අතරතුරේ මම චිත්‍රකලා මනෝ චිකිත්සකවරියක් ලෙසත් කටයුතු කරනවා. ඒ, විවිධාකාර මානසික ගැටලුවලින් පෙළෙන දරුවන් වෙනුවෙන්, චිත්‍රකලාවේ නිර්මාණශීලීත්වය භාවිත කරමින් ඒ දරුවන්ගේ ආතතිය අඩු කිරීම සහ ඔවුන් දියුණු මට්ටමකට රැගෙන ඒමයි එමගින් කරන්නේ. මම කොහොමටත් දරුවන්ට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඉතිං ඒ දරුවන් එක්ක කාලය ගත කරද්දී මගේ ජීවිතය අලුත් වෙනවා වගේ මට දැනෙනවා.

කිෂාන් කනංකෙ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>