TT Ads

තරුණ තරුණයන් ඉලක්ක කොට සංවිධානය වන සාද, ප‍්‍රිය සම්භාෂණ, ප‍්‍රසංග වර්තමානයේ බහුල වශයෙන් දැකිය හැක. විශේෂයෙන් ”Facebook” ඔස්සේ හඳුනා ගන්නා තරුණ තරුණියන් එ්කරාශී කරමින් දිවයිනේ නොයෙකුත් ප‍්‍රදේශවල හොර රහසේ පැවැත්වූ ‘සාද’ පොලීසිය විසින් වැටලූ අවස්ථා බොහොමයක්ද පසුගිය දිනවල මාධ්‍ය මගින් අනාවරණය විය. තරුණ තරුණියන් සදහා විවිධ ව්‍යාපාරික ආයතන මගින් සංවිධාන කරන මෙවැනි සැදෑ සාදයන් අගනුවරද, වෙනත් නාගරික ප‍්‍රදේශවලද හොර රහසේ පැවැත්වේ.
මෙම සාද සඳහා ඇතුල්වීමේදී පිරිමි අයගෙන් මුදල් අය කරගන්නා අතර බොහෝ අවස්ථාවලදී කාන්තාවන්ගෙන් මුදල් අයකිරීමක් සිදුනොවේ. එහෙත් සාදයට ඇතුල්වන සෑම කෙනෙකුටම කිසියම් පෙත්තක් ලබා දේ. මෙම පෙත්ත ලබා ගැනීම තුළින් සමාජශීලි වීම සඳහා උත්තේජනයක් ලැබෙන බව සංවිධායකයන්ගේ උපදේශයයි. නමුත් ඇත්තමට මෙම පෙත්ත ගැනීම මගින් සිදුවන්නේ ලැජ්ජා බය පැත්තකට දමා ඕනෑම කෙනෙකු සමග ඕනෑම ක‍්‍රියාවකට එකඟ වීමට හා සහභාගි වීමට අධික කැමැත්තක් ඇති වීමය. විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන් වෙත කාන්දමක් වෙත යොමු වන යකඩ කැබැල්ලක් මෙන් තමන් නොදැනුවත්වම ඇදී යාම මෙමගින් සිදුවේ. වෛද්‍ය විද්‍යාත්මකව මෙය කෘත‍්‍රිම මත් පෙත්තක්  විය හැකිය.
මෙවැනි මත්පෙති ගැනීම තුළින් සිදුවන්නේ මනසේ පාලනය තමන් අතින් ගිලිහී යාමය. කළයුතු දේ නොකළ යුතු දේ ගැන හැගීමක් ඉන්පසු නොමැත.
සමාජශීලී වීම යනු නොකළ යුතු දේ පවා නොසිතා නොබලා අවිචාරයෙන් සිදු කිරීම නොව, සැලකිලිමත්ව, විමසිලිමත්ව, සියල්ලන් හා සුහදව සබඳතා පවත්වා ගනිමින් සතුටින් සැහැල්ලූවෙන් ජීවත් වීමය. එහෙත් මත් පෙත්තක බලපෑමට අනුව පත්වන අවිචාරශීලී සමාජශීලී බව හරහා ඊළඟ තත්පරයේදී හිමි විය හැක්කේ, ජීවිත කාලයටම කනස්සල්ලෙන් පසුතැවිල්ලෙන් හා පීඩනයෙන් පසුවීමේ පසුබිමක් නිර්මාණය වීමක් විය හැකිය.
මේ වනවිට අප රට තුළ භාවිත වන මත්ද්‍රව්‍ය විවිධාකාරය. එ් අතරින් හෙරොයින් ගංජා හා කෘත‍්‍රිම මත්ද්‍රව්‍ය හරහා පොදුවේ සමාජයටත්, විශේෂයෙන් තරුණ තරුණියන්ටත් එල්ල විය හැකි තර්ජනය සුළු පටු නැත. නමුත් මත්ද්‍රව්‍ය සඳහා පෙළඹීමේ උගුලට නොවැටීමට නම් සිතෙහි ධාරණය කරගත යුතු වන්නේ මත්ද්‍රව්‍ය මත රඳා පැවැතීම  සිදුවන ආකාරය පිළිබඳ නිවැරදි පණිවිඩයයි. මත්ද්‍රව්‍ය පමණක් නොව මධ්‍යසාරද, දුම්වැටිද මෙම රඳා පැවැතීම ඇතිකළ හැකි අහිතකර දේය. දිගින් දිගටම මෙවැනි අහිතකර දෑ ගැනීමෙන් සිදුවනුයේ අදාළ ද්‍රව්‍යයට සිරුර හුරුවීමය. එසේ හුරුවු පසු මත්ද්‍රව්‍ය ගැනීම එක්වරම නතර කළහොත් අදාළ තැනැත්තාගේ ගතට මෙන්ම සිතට විවිධාකාර අපහසුතාවයන් දැනෙන්නට පටන් ගනී. වමනය, පාචනය, ඈනුම් යාම, නාසයෙන් හා දෙනෙතින් ස‍්‍රාව නිකුත් වීම. නින්ද නොයෑම, නොසන්සුන් බව, පේෂී වේදනා ආදී රෝග ලක්‍ෂණ ගණනාවක් ඇති වන්නට පුළුවන. මේ නිසා මෙම රෝග ලක්‍ෂණ දුරු කර ගැනීම සඳහා යහළුවන්ගේ පෙළඹීම මත හෝ නැවතත් පරණ පුරුදු ජීවිතයට යොමු වේ. මෙහි අහිතකර තත්ත්වය වන්නේ තමන්ට ඇති වූ පීඩාකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය මහත් වූ වටිනාකමක් ඇති දෙයක් හෝ ඖෂධයක් ලෙස මනසට කා වැදීමය. එය හොඳ දෙයක් නොවේ.
හෙරොයින් වැනි මත්කුඩු භාවිතය නිසා විවිධ රෝගාබාධ හා ආසාදන තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතී. හෘද කපාට ආසාදන, අක්මා හා පෙනහළු ආශ‍්‍රිත රෝගාබාධ, ස්නායු ආබාධ එලෙස ඇතිවන රෝගී තත්ත්වයන් කිහිපයකි.
ගංජා භාවිතය හේතුවෙන් සිතීමේ හා තීරණ ගැනීමේ දුර්වලතා, කාලය පිළිබඳ අනවබෝධය, සිහිමඳ බව, රුධිර පීඩනයේ වෙනස්කම් හා පේශී දුර්වලතා ඇතිවිය හැකිය. කැස්ස, නියුමෝනියාව වැනි රෝග තත්ත්වයන්ට අමතරව ස්වසන පද්ධතියේ පෙනහළු පිළිකා තත්ත්වයන්ටද ගංජා භාවිතය හේතු කාරකයකි. ප‍්‍රතිශක්තිය හෙවත් රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය අඩුවීම සඳහාද ඇතැම් මානසික රෝග තත්ත්වයන් සඳහාද ගංජා භාවිතයෙන් ඉඩ සැලසෙනු ඇත.
වර්තමානයේ පැවැත්වෙන Facebook සාද වැනි ප‍්‍රිය සම්භාෂණවලදී බොහෝවිට භාවිතා වන්නේ කෘත‍්‍රිම මත්ද්‍රව්‍ය වර්ගය. මෙවන් මත්ද්‍රව්‍ය භාවිතය තුළින් කෙනෙකු හදිසි මරණයට පවා පත්විය හැක. එයට හේතුව එවන් මත්ද්‍රව්‍ය භාවිතය තුළින් රුධිර පීඩනය ක්‍ෂණයෙන් ඉහළ යාමෙන් හෘදයේ ස්පන්දනය අක‍්‍රමවත් වීමෙන් හෝ මොළයේ රුධිර නාලයක් පුපුරා යාමෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවිය හැකි වීමය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බාහිර වශයෙන් හඳුනා ගැනීම එතරම් අපහසු නැත. විශේෂයෙන් දෛනික කටයුතු කෙරෙහි දක්වන නොසැලකිලිමත් බව, ඇවිදීමේ පවතින අස්ථාවර බව. අසාමාන්‍ය ලෙස ඇස් රතු වීම, ඉදිමීම, පෙනීමේ දුර්වලතා, කතාවේ අක‍්‍රමවත් බව, ඉක්මනින් හා නිරන්තරයෙන් කෝපයට පත් වීම හා සිහි කල්පනාවේ වෙනස් වීම පිටතට දැකිය හැකි ලක්‍ෂණයන්ය.
ඊට අමතරව ආමාශයික ප‍්‍රදාහය හෙවත් ගැස්ට‍්‍රයිටීස්, අස්ථි පද්ධතියට අදාළව හට ගන්නා ඔස්ටියෝපෙරෝසිස් රෝග තත්ත්වයද, ආහාර මාර්ග පද්ධතිය ආශ‍්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වයන් මත්ද්‍රව්‍ය පානය තුළින් අපට ලැබෙන අහිතකර ප‍්‍රතිවිපාකයන්ය. ඊට අමතරව විශේෂයෙන් ලිංගික බෙලහීනතාවයට ලක්වීමේ පහසුම මාර්ගය වන්නේ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවීමය.
සාමාන්‍යයෙන් රෝහල් වාට්ටුවක මුලින් හමුවන ඇඳන් කිහිපයක වෙන් කෙරෙන්නේ හදිසි රෝග තත්ත්වයන් ලක්ව පැමිණෙන රෝගීන්ටය. වැඩි දිනක් වාට්ටුවේ රැුඳී නොසිට ඉක්මනින් පිටව යෑමට ඔවුනට හැකි වේ. එහෙත් වාට්ටුවල ඈත කෙළවරේ ඇඳන් කිහිපයකට සිරුර බරදී සිටින්නේ බොහෝ කල්ගත ආබාධ තත්ත්වයන් සහිත රෝගීන්ය.
ඔවුන් අතරද කළගෙඩි වැනි බඩවල් සහිතව අක්මාවට, වකුගඩුවලට වූ හානියට අනුව අස්වාභාවිකව අමාරුවෙන් හුස්ම ඉහළ පහළ හෙළන රෝගීන් කෙතෙකුත් දැක ඇත. එ් අය අතරින් බහුතරයක් මත්ද්‍රව්‍ය භාවිතය නිසා විහින් ඇතිකර ගත් රෝග තත්ත්වයන්ට ගොදුරුව පීඩා විඳින්නන් බව කණගාටුවෙන් වුවද ප‍්‍රකාශ කළ යුතුය.

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි
සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>