TT Ads

ඕනෑම කෙනෙකුට ජීවිත කාලය තුළදී හිමිවන වටිනාම සහතිකය වන්නේ උප්පැන්න සහතිකයයි. උපන්දා සිට මියයන මොහොත දක්වාම ජීවිතයේ සිදුවන සියලුම වැදගත් කටයුතුවලදී උප්පැන්න සහතිකය අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතු ලියැවිල්ලකි. රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන මෙම ලියැවිල්ල 2019 වසරේ සිට නව ලොවට ගැළපෙන අයුරින් ඉතා සුරක්ෂිත ලියවිල්ලක් වශයෙන් නිකුත් කිරීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් රෙජිස්ටාර් ජනරාල්

ආචාර්ය එන්. සී. විතානගේ මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.

අන්තර්ජාතික මට්ටමක් ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ වැඩ සටහන යටතේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් සහිතව නව උප්පැන්න ලබා දීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාවට නැංවෙමින් පවතී. ඒ අනුව 2019.01.01. දිනට පසු මෙලොව එළිය දකින සෑම ශ්‍රී ලාංකික දරුවෙකුටම මෙම නව උප්පැන්න සහතිකයට හිමිකම් කීමේ අවස්ථාව උදාවේ. විශේෂිත කඩදාසියක මුද්‍රණය කරන ලද පිටපතක් වශයෙන් හිමිවන මෙම නව උප්පැන්න සහතිකය ජාතික උප්පැන්න සහතිකය ලෙසින් නම් කර ඇත.

ආරක්ෂිත කේත සලකුණු

මීට පෙර අප විසින් භාවිතා කරන ලද උප්පැන්න සහතිකය ව්‍යාජ අන්දමින් පිළියෙල කර ගනිමින් නොයෙකුත් වංචා සහගත ක්‍රියාවන් රැසක් සිදුකර තිබේ. නව උප්පැන්නය හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණක් වන්නේ එවැනි නීති විරෝධී කටයුතුවලට වැට බැඳීමය. ඒ අනුව නව උප්පැන්න සහතිකයේ නවීන තාක්ෂණික හා ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතයට ගනිමන් (QR code) විශේෂිත කේත ලකුණක් උප්පැන්න සහතිකයේ ඉහළින් මුද්‍රණය කර තිබේ. එය කෙතරම් සංවේදී අයුරින් නිර්මාණය කර තිබේද යත් ව්‍යාජ උප්පැන්න හා සත්‍ය උප්පැන්න පහසුවෙන් හඳුනා ගත හැකිය. ජාතික උප්පැන්න සහතිකයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි  මුහුණතෙහි රාජ්‍ය ලාංඡනය දිය සලකුණක් (Water mark) ලෙසින් මුද්‍රණය කර තිබීම හා පසුපිටෙහි විශේෂිත ස්ටිකරයක් මගින් රාජ්‍ය ලාංඡනය ඇතුළත් කර තිබීමය. ඒ තුළින් ව්‍යාජ උප්පැන්න මුද්‍රණය කිරීමේ අවස්ථාවන් බොහෝ සෙයින් පාලනය කිරීම අරමුණවේ.

දෙමාපියන් විවාහක තීරුව ඉවතට මීට පෙර උප්පැන්න සහතිකයේ පැවැති බොහෝ තොරතුරු මෙම උප්පැන්න සහතිකයට ඇතුළත්වන අතර මව සහ පියා විවාහක යන තීරුව ඉවත් කර තිබීම මෙම උප්පැන්න සහතිකයේ ඇති විශේෂත්වයකි. උප්පැන්න සහතිකයේ හිමිකාරිත්වය දරන්නාට අනාගතයේ මුහුණ දීමට සිදු විය හැකි යම් යම් සමාජමය ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කරලීම මෙහි අරමුණය. ජාතික උප්පැන්න සහතිකයේ ඇති අනෙකුත් විශේෂත්වය වන්නේ එහි රෙජිස්ටාර් ජනරාල්වරයාගේ අත්සන සහිතව නිකුත් කර තිබීමය.

අවුරුද්දකට තාවකාලික උප්පැන්න සහතිකයක්

දරුවෙකු ඉපදීමෙන් පසු දැනට සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියට අනුව අවුරුද්දක කාලයකට තාවකාලික උප්පැන්න සහතිකයක් නිකුත් කෙරේ. ඒ අතර නව උප්පැන්න නිකුත් කිරීමට අදාළ කටයුතු සැලසුම් කෙරේ. ඒ අනුව කෙටි කලක් තුළ නිකුත් කිරීමට නියමිත නව උප්පැන්න සහතික පතේ පිටපතක් උප්පැන්න හිමිකරුවන්ට තැපැල් මගින් යොමු කෙරේ. ඉන් බලාපොරොත්තු වන්නේ කිසියම් සංශෝධන ඇත්නම් ඒවා නිවැරුදි කරලීමය. ඒ සඳහා දින දාහතරක් තුළ ප්‍රතිචාරයක් නොදැක්විණි නම් තැපැල් මගින් එවන ලද පිටපත පරිදි මුල් පිටපත විශේෂිත කඩදාසියක මුද්‍රණය කිරීමට කටයුතු කෙරේ.

උප්පැන්නේ අංකය ජාතික හැඳුනුම්පතට

ආරක්ෂක උපාය මාර්ග රැසකින්ම සමන්විත මෙම අන්තර්ජාතික මට්ටමේ උප්පැන්න සහතික පතෙහි සටහන් අංකය ඉදිරියේදී ජාතික හැඳුනුම්පතෙහි අංකය සඳහාත් රජය මගින් පවත්වන විභාග සඳහා ඉන්ඩෙක්ස් අංකයක් ලෙසත් භාවිතයට ගැනීමේ සැලසුම් මේ වන විට සකස් වෙමින් පවතී. ඒ අනුව උපදිනවිට කෙනෙකුට හිමිවන අංකය එම පුද්ගලයා මිය යන තෙක්ම භාවිත කිරීමේ අන්තර්ජාතික ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළද ඉදිරි වසර කිහිපය තුළ ක්‍රියාවට නැංවීම රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ අරමුණ වී තිබේ. ඒ අතරම ජාතික උප්පැන්න සහතිකය නුදුරේදීම E Card එකක් ලෙසින් එළිදැක්වීම පිළිබඳවද මේ වන විට රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

සාකච්ඡා කළේ
සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>