TT Ads

මේ දවස්වල ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන බියුටි කන්ටෙස්ට් තරග ගැන බොහෝ දෙනා වැඩිපුර කතාබහ කරනවා. මේ විදියට කතාබහට ලක් වෙන්න පළවෙනි හේතුව තමයි ශ‍්‍රී ලාංකික කාන්තාවක් 2019 වසරේ ලෝක විවාහක රූ රැජින බවට පත් වීම. දෙවෙනි හේතුව තමයි දෙසැම්බර් මාසය තුළ පැවැත්වූ ලෝක විවාහක රූ රැුජින, විශ්ව රූ රැුජින සහ ලෝක රූ රැජින කියන තරග 3 න්ම අප‍්‍රිකානු සහ ආසියානු රටවල කළු සම ඇති තරුණියන් ජයග‍්‍රාහිකාවන් බවට පත් වීම. ඒ විතරක්ම නෙවෙයි මිස් ඇමෙරිකා, මිස් ටීන් ඇමෙරිකා, මිස් යූ එස් ඒ කියන බියුටි පැජන්ට්වල ජයග‍්‍රාහිකාවන් බවට පත් වී තිබුණෙත් කළු සම සහිත තරුණියන්. සාමාන්‍යයෙන් මේ වගේ තරගවලින් කළු සම ඇති තරුණියන් ජයග‍්‍රහණය කරන්නේ ඉතාම අඩුවෙන්. නමුත් මෙවර මේ තරග සියල්ලේම ජයග‍්‍රාහිකාවන් වුණේ කළු ජාතිකයන්.
මේ අතරින් මිස් වර්ල්ඞ්, එහෙමත් නැත්නම් ලෝක රූ රැජින තරගය ලන්ඩනයේ දී පැවැත්වුණේ පහුගිය දෙසැම්බර් 14 වෙනිදා. මේ තරගයේ අර්ධ අවසන් වටයට සුරූපිණියන් 18 දෙනෙකුත් අවසන් වටයට පස් දෙනෙකුත් තේරී පත් වුණා. ඒ තමයි බ‍්‍රසීලය, ඉන්දියාව, නයිජීරියාව, ප‍්‍රංශය සහ ජැමෙයිකාව නියෝජනය කළ සුරූපිණියන් පස් දෙනා. ඉන් ජයග‍්‍රහණය ලැබුවේ ජැමෙයිකාව නියෝජනය කරමින් තරග වැදුණු ටෝනි ඈන් සිං නම් වූ 23 හැවිරිදි තරුණිය. ජැමෙයිකාවේ දිළිඳු ගමක ඉපදිලා වයස අවුරුදු 9 දී දෙමාපියන් එක්ක සරණාගතයින් විදියට ෆ්ලොර්ඩාවට සංක‍්‍රමණය වුණු ඇය මේ වනවිට ෆ්ලොරිඩා ස්ටේස් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා උපාධිධාරිණියක්.
ටෝනි ඈන් 2019 ලෝක රූ රැුජින කිරුළු දිනා ගත්තත් ඒ මොහොතේ ලෝ වැසි ජනතාවගේ හදවත් දිනා ගත් වෙනත් කෙනෙක් ටෝනි ඈන් සමග ඒ වේදිකාවේ හිටියා. ඇය තමයි නයිජීරියාව නියෝජනය කරමින් ලෝක රූ රැජින තරගයට ඉදිරිපත් වුණු යෙකාචි ඩග්ලස්. ටෝනි ඈන් ලෝක රූ රැජින බවට නිවේදනය කරපු වෙලාවේ හැමෝගෙම ඇස් එල්ල වුණේ ටෝනිට නෙවෙයි යෙකාචිට. ඒකට හේතුව වුණේ ටෝනි ලෝක රූ රැජින බව නිවේදනය කළ මොහොතේ යෙකාචි විසින් පළ කරනු ලැබූ අසාමාන්‍ය ප‍්‍රතිචාරය. ඒ මොහොතේ ටෝනි තුෂ්තිම්භූත වෙලා මුහුණ වහගෙන ඉද්දි යෙකාචි එක පාරමට කෑගහගෙන උඩ පැනලා රවුමක් කැරකිලා දුවලා ගිහින් ටෝනිව බදා ගත්තා. ඇය කොච්චර වෙලාවක් ටෝනිව බදාගෙන හිටියාද කියනවා නම් ටෝනිට කිරුළ පළඳවන්න ප‍්‍රමාද වෙන නිසා ඇය ළ`ගට ගිහින් වේදිකාවේ තිබූ විශේෂ ආසනය වෙත ඇයව කැඳවාගෙන එන්න සංවිධායකයන්ට සිදුවුණා. ඇත්තටම මෙහිදී යෙකාචි හිත ඇතුළෙන්ම එන, එහෙමත් නැත්නම් බොක්කෙන්ම එන හැගීම තමයි ඒ විදියට වේදිකාව උඩ නටලා දගලලා කෑ ගහලා පළ කළේ. ඒ බව එකී වීඩියෝව දකින ඕනෑම කෙනෙකුට හොඳින්ම වැටහෙනවා.


මේ වගේ පැජන්ට් තරගවල සියළු වැඩ කටයුතු අවසන් වුණාට පස්සේ වේදිකාව පිටුපස දී ජයග‍්‍රාහිකාව වටා ජනමාධ්‍ය රොක් වීම සාමාන්‍ය දෙයක්. නමුත් මේ තරගය අවසානයේ දී ජනමාධ්‍ය රොක් වෙලා හිටියේ ටෝනිට වඩා යෙකාචි වටා කිව්වොත් නිවැරදියි. සමහර ජනමාධ්‍ය ඇගෙන් මෙහෙම ඇහුවා. ”නයිජීරියාවට ලෝක රූ රැජින කිරුළ අහිමි වීම ඔබට මෙතරම් සතුටු වෙන්න කාරණයක් ද?”. ”නයිජීරියාව මට වඩා සතුටු වෙනවා ඇති මේ කිරුළ කළු ජාතියකටම ලැබුණු එක ගැන” ඇය උත්තර දුන්නේ එහෙමයි. ”ඔබට මතකද ඔබ වේදිකාවේ උඩ පනිමින් කෑ ගහපු හැටි?” ”ඇත්තටම ඒක මම හිතලා කරපු දෙයක් නෙවෙයි, මට ඒ සතුට දරා ගන්න බැරි වුණා. ඒ විදියේ ප‍්‍රතිචාරයක් නොදැක්වුවා නම් සතුට වැඩිකමට මාව පුපුරලා යන්නත් තිබුණා.” ඇය කිව්වා.
මේ සිදුවීම ගැන බීබීසී සේවය අදහස් දක්වමින් කියා සිටියේ ”තමන්ගේම ප‍්‍රතිමල්ලවයෙකුගේ ජයග‍්‍රහණයක් වෙනුවෙන් මේ විදියට ප‍්‍රතිචාර දක්වන්න හැමෝටම බැහැ. ඒක කරන්න සුන්දර, නිර්ලෝභී සහ ගැඹුරු හදවතක් තියෙන්න ඕනෙ. මේ වෙලාවේ ලෝකෙම අවධානය ලැබෙන්න ඕනෙ ටෝනිට වුණත් එය ලබා ගත්තේ යෙකාචි” කියලයි.
සීී එන් එන් සේවය යෙකාචි ගැන සඳහන් කරලා තිබුණේ මෙහෙමයි. ”ලෝකෙ ලස්සනම තරුණිය ටෝනි ඈන්. නමුත් ලෝකෙ හිත ලස්සනම තරුණිය යෙකාචි ඩග්ලස්. ටෝනි මැණිකක් නම් යෙකාචි දියමන්තියක්”
දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>