මෙරට කොරෝනා වසංගතයේ අවදානම තවමත් සම්පූර්ණයෙන්ම පහව ගිහින් නැහැ. නමුත් බොහෝ දෙනෙකුට ඒ ගැන අමතකව ඇති බවයි මේ වනවිට පෙනෙන්නට තිබෙන්නේ. එබැවින් කොරෝනා වසංගතය මෙලෙස නොතකා හැරීම සැබැවින්ම සුදුසුද? ලෝකය සහ ලංකාව තුළ මේ වනවිට කොරෝනා වසංගතයේ සැබෑම බලපෑම කෙබඳුද යනාදී කරුණු කාරණා ගැන කතාබහ කිරීමට මෙලෙස “රැජිනිය” සමඟ එකතු වූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතායි.

කොරෝනා වසංගත තත්ත්වය තවමත් අප හැර ගිහින් නැහැ. මොකද මෙය ගෝලීය වසංගත තත්ත්වයක්. මේ වෙනකොට ලෝකයේ බොහෝ රටවල කොරෝනා දෙවැනි රැල්ලක් නිර්මාණය වෙමින් පවතිනවා. අපේ රටටත් එම තත්ත්වය බලපෑම් නොකරාවි කියලා අපට කියන්න බැහැ. මොකද අපි හුදෙකලා වුණු මිනිසුන් කොට්ඨාසයක් නෙමෙයි. ලෝකයේ අනෙකුත් රටවල් සමගින් ගනුදෙනු කරන්නට අපට සිදුවෙනවා. නොබෝ දිනකින් ගුවන්තොටුපළ විවෘත කිරීමත් සමග විදෙස් සංචාරකයන් මෙරටට පැමිණීමත් සමග යළි කොරෝනා උවදුර අප වෙත ළඟාවෙන්නත් බැරි කමක් නැහැ.
ඇත්තටම මේක මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක්. එනිසා ඉක්මන් ප්‍රතිචාර දැක්වීම බොහොම වැදගත්. කොහොම වුණත් රටක් විදියට අපට මෙම තත්ත්වය සාර්ථකව පාලනය කරන්නට හැකියාව ලැබුණා. රාජ්‍ය සහයෝගය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය වැනි අත්‍යවශ්‍ය සේවාවන්ගේ සහයෝගය වගේම ජනතා සහයෝගයත් උපරිමව ලැබුණු නිසා තමයි මේ තරම් අඩු කාලයකින් මෙම තත්ත්වය පාලනය කරගැනීමට හැකියාව ලැබුණේ.

අමතක වෙන්න දෙන්න එපා

යම් යම් අවස්ථාවලදී මහජන සහයෝගය අඩු වැඩි වෙන අන්දම පේනවා. මොකද මේ වෙනකොට ගොඩක් අයට කොරෝනා තත්ත්වයක් තිබුණාද කියලාවත් අමතක වෙලා. සාමාන්‍යයෙන් අමතක වීම ස්වාභාවිකයි. ඒත් අප පසුගිය කාලය ගෙවා දැමූ අන්දම, ලෝකයේ බොහෝ රටවල් අදටද පවතින තත්ත්වය අමතක වෙන්න දෙන්න එපා. මොකද මේ පිළිබඳව අවධානය අඩු වූ නිමේෂයක් පවා නැවතත් රෝගය සමාජය තුළ පැතිර යන්නට ප්‍රමාණවත්.
මේ වන විට කොරෝනා දෙවැනි රැල්ලක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කතා කරනවා. ඔවුන් එම තත්ත්වය වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පෙන්වා දෙනවා. එවන් මොහොතක මෙම වෛරසයත් සමඟින් ජීවත් වීමේදී අනුගමනය කළ යුතු මූලික කාරණා අමතක කර දමා අපට ඉදිරියට යන්න බැහැ.

තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂණ නීතී සමඟ

යම් හෙයකින් නැවත රෝගය පැතිරෙන්න ගත්තොත් රටක් විදියට හැමෝම එකතුව කරපු කැපවීමේ මහන්සිය අපතේ යනවා. ඒ නිසා තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂණ නීතීන් අනුව ජීවත් වීමට අප කටයුතු කිරීම අවශ්‍යයි. ඒ අනුව මීටරයක දුර පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම වගේම නිතර දෑත් පිරිසිදු කිරීම කියන කාරණා තවදුරටත් පවත්වාගෙන යෑම අවශ්‍යයි. ඒ දේවල් මේ රෝගය ලෝකයේ පවතින තාක් කල් අප සතුව පවත්වා ගැනීම වැදගත්.
ඒ සඳහා කොතෙක් කලක් ගතවෙයිද කියන කාරණාවට නිශ්චිත පිළිතුරක් දෙන්නට බැහැ. බොහෝදුරට වසරක් හෝ දෙකක් වෙන්න පුළුවන්. 1918 දී ඇති උණ ස්පාඤ්ඤ උණ කියන්නෙත් ලොව කැළඹූ මෙවැනිම වසංගත තත්ත්වයක්. එම තත්ත්වයත් වසර දෙකක් විතර කාලයක් පැවතුණා. ඒ අනුව කොරෝනා වෛරස තත්ත්වයත් ඒ තරම් කාලයක් අපත් සමඟින් ඉන්නට ඉඩ තියෙනවා.
පාසල් විවෘත වෙනවා… ගුවන් තොටුපළ ඇරෙනවා… රට තුළට විදේශිකයන් සංක්‍රමණය වෙනවා… ඒ අයට මඟ පෙන්වන්න වෙන්නේ අපේ රටේ ඉන්න මඟ පෙන්වන්නන්ටයි. ඉතින් මේ දේවල් එක්ක ආයෙමත් වතාවක් රට තුළට වෛරසය ඒමට තිබෙන අවදානම වැඩියි.

පාසල් ඇරඹුණු පසුව

පාසල් ආරම්භ වීම නිසා විශාල බලපෑමක් ප්‍රවාහන සේවාවෙන් මතුවෙන්න පුළුවන්. අපි හැමෝම දන්නවා අපේ දරුවන් ප්‍රවාහනය කරන වාහනවල පරතරයක් තබා ගැනීම අපහසු බව. ඒ විදියට සමාජගත වන දරුවා රෝග වාහකයෙක් විදියට ආපසු නිවසට එන්න පුළුවන්. ඒ අයගෙන් ගෙදර සිටින අයටත් රෝගය පැතිරෙන්න පුළුවන්.
කොහොමත් මේ වන විටත් පළාත් හතක අධ්‍යාපන බලධාරීන් වෙත නිවැරැදි උපදෙස් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර නොමැති බව වාර්තා වෙනවා. එය හොඳ දෙයක් නෙමෙයි. කොහොමත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එකතුව හරි යාන්ත්‍රණයක් දෙන්න ඕනේ. මේ දේවල් හරියට නියාමනය කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය සතුයි. මේ දේවල් හරියට කළමනාකරණය නොවුණොත් ප්‍රායෝගික ගැටලු ගණනාවක් එන්න පුළුවන්.
පාසල් පද්ධතිය තුළ පැය ගණනාවක් මුඛ ආවරණ දමාගෙන උගන්වන්න අමාරුයි. කුඩා දරුවන්ට පැය ගාණක් මුඛ ආවරණ දමාගෙන ඉන්න පුළුවන්කමක් නැහැ. මේ වගේ තත්ත්වයන් නිවැරැදිව කළමනාකරණය නොකළොත් එය නැවත රෝගය පැතිර යාමට හේතුවක් වෙන්න පුළුවන්.

මැතිවරණයට පෙර හිතන්නට යමක්

මේ වෙලාවේ ගොඩක් අය හැමදේම අමතක කරලා මැතිවරණයට සූදානම් වෙනවා. මේ වෙලාවේ ඡන්දය පවත්වන එක නෙවෙයි ගැටලුවක් වෙන්නේ. ඒ සඳහා වන පෙර සූදානම. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකර රැස්වීම් පවත්වනවා. ගෙයින් ගෙට යනවා. ඒක බොහොම අවදානම්. ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමින් මැතිවරණය පවත්වන්න පුළුවන්. ඒත් ඒ වෙනුවෙන් ජනතාව ඒකරාශි කරගෙන රැස්වීම් පැවැත්වීම ලොකු අවදානමක්. ඒ ගැන අවධානය යොමු වීම අවශ්‍යම කාරණයක්.

විදේශිකයන් ආවොත්

ගුවන් තොටුපළ විවෘත කිරීමත් සමඟින් විදෙස්ගත අය එනකොට ඒ අයත් එක්ක රෝගය එන්න පුළුවන්. රටට ඇතුළු වෙනකොටම ඡක්‍ඍ පරීක්ෂණයට ලක් කරලා ඒ අය එක් වරම රට තුළට ගැනීම අවදානම්. මොකද රෝග කාරක ශරීරගතව තිබී පසුව ආසාදනය වෙන්න පුළුවන්. එහෙම නම් රටට ඇතුළු වන විදේශිකයන් නිරෝධායන කාලයකින් පසුව තමයි රට තුළ සංචරණයට අවස්ථාව ලබා දෙන්නට සිදුවෙන්නේ. ඒ වගේ නිරෝධායන කාලයක් ගත කරන්නට සංචාරකයන් කැමැති වෙයිද? මේ වගේ ප්‍රායෝගික ගැටලු බොහොමයක් මතුවෙන්න පුළුවන්.
නමුත් අද වන විට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා දෙවැනි රැල්ලක් මතුවෙන්නට පටන් අරගෙන. ඒ අනුව රෝගීන් 50, 60 වාර්තා වෙන්න අරගෙන තියෙනවා. ඒ රට එවන් තත්ත්වකට පත්ව තිබෙන්නේ ගුවන් තොටුපළ සහ නිරෝධායන මධ්‍යස්ථාන හරියට කළමනාකරණය නොවීම නිසයි. අපේ රටටත් එහෙම වෙයි ද කියන තත්ත්වයත් එක්ක අප සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත්.

අවදානම තවමත්

කොහොමත් සංචාරකයන්ට රට විවෘත කළාම ඒ අය නිරෝධායනයකින් තොරව ආවොත් රට තුළදී මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ අයට මඟ පෙන්වන අයගෙ ජීවිත අවදානම්. ඉතින් ඒ අයට කියන්න වෙන්නේ , මූලික සිද්ධාන්තවලින් බැහැර වෙන්න බෑ කියලා. ඒ අනුව මීටරයක පරතරය, මුව ආවරණ, දෑත් සේදීම අනුගමනය කරනවා වගේම සමීප සුහද ගනුදෙනු බැරි බවත් අමතක කරන්න එපා. හැබැයි ඒ තුළින් 100% ක්ම අවදානම බැහැර වෙන්නේ නැහැ. ඒ වුණත් රටේ ආර්ථිකය ගොඩ නගා ගන්නට නම් අපට මේ අපහසුතා සහ අවදානම මැදින් මේ ගමන යන්නම වෙනවා.

කවුරුන් හෝ අකර්මණ්‍ය වුණොත් නැවතත් වෛරසය අප අතරට එන්න පුළුවන්. කොහොමත් ලෝකයේ කොරෝනා රෝගීන් ඉන්න තුරු අපට ඒ අවදානම ගන්න වෙනවා. ඉතින් මේ ගෙවුණු කාලය වගේම ඉස්සරහට එන කාලයත් තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂණ පියවර අනුගමනය කරමින් ජීවත් වෙන්නම වෙනවා. හැබැයි ගෙවුණු කාලයට වඩා ඉස්සරහට එන කාලය අවදානම වැඩිවෙන්න පුළුවන්. මොකද ගෙවුණු කාලයේ අපි හිටියේ නිවෙස්වල. අද අප සමාජගත වෙලා. එදා රට වැහිලා. නමුත් ඉස්සරහට එන කාලය රට විදේශිකයන්ට විවෘත වෙලා. මේ දේවල් එක්ක බොහොමත් පරිස්සමින් යහපත් සෞඛ්‍ය පුරුදු සමගින් අපට ජීවත් වෙන්න සිදු වෙනවා.

උපදෙස්:
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෛද්‍ය
හරිත අලුත්ගේ

කල්හාරි දසනායක

අද කාලෙ බොහොමයක් තරුණියන් නිතරම මේක් අප් කරන්න පුරුදු වෙලා ඉන්නවා. සමහර විට දිවා කාලය පුරාම මේක් අප් සහිතව තමයි ඉන්නේ. ඉතින් මේක් අප් කරන්න කලින් ඔබ දැනගත යුතු වැදගත් ඉඟි කීපයක් මේක් අප් ටියුට්ස් වෙබ් සයිට් එක පෙන්වා දී තියෙන්නේ මෙහෙමයි.
1. පුංචි ඇස් ලොකු කර පෙන්වන හැටි
ලොකු ඇස් දෙකක් කියලා කියන්නේ තරුණියකට අමුතු ලස්සනක් එකතු කරන දෙයක්. නමුත් අපේ රටේ තරුණියන් ප්‍රමාණයෙන් කුඩා ඇස් ඇති අය මිස විශාල ඇස් ඇති අය නෙවෙයි. ඒ නිසා ඔවුන් ඇස් ලොකු කර පෙන්වන මේක් අප් එකක්ට කැමතියි. ඇස් දෙක මේක් අප් කරද්දි අයි ලයිනර් එක සුදු පාටින් මේක් අප් කරන්න. එතකොට ඇසේ සුදු ප්‍රදේශය සහ අයි ලයිනර් එකේ සුදු පැහැය එකට එක් වී පෙනෙන නිසා ඇස් දෙක ප්‍රමාණයෙන් විශාල වී පෙනෙනවා.
2. හරි ක්‍රමයට මස්කාරා ආලේප කරන හැටි
සාමාන්‍යයෙන් අපි මස්කාරා ආලේප කරද්දි එය සිදු කරන්නේ අපිට ඕනෙ වර්ණය එකපාරින්ම ආලේප කරන එකයි. නමුත් ඒ විදියට ආලේප කිරීමෙන් අපිට වුවමනා වර්ණය හරියටම ආලේප වෙන්නේ නැහැ. මස්කාරා ආලේප කරද්දි ඉස්සෙල්ලාම සුදු පැහැය ආලේප කරන්න. ඊට උඩින් තමයි ඔබට අවශ්‍ය කරන වර්ණය ආලේප කළ යුතු වන්නේ. එවිට ඒ වර්ණය ඉතා හොඳින් කැපී පෙනෙන ආකාරයට ආලේප වෙනවා.
3. කොණ්ඩය ඝනකමින් වැඩි කර පෙන්වන හැටි
කොණ්ඩය අඩුවෙන් තියන අයට තමයි මෙය වැදගත් වෙන්නේ. කොණ්ඩය බෙදා පීරුවාට පස්සේ හිස් කබලේ සුදු පැහැය වැඩිපුර පෙනෙනවා නම් ඒ කියන්නේ ඔබේ කොණ්ඩය අඩුයි කියන එකයි. ඒ වගේ වෙලාවට කරන්න තියන හොඳම දේ තමයි කළු පැහැති අයි ෂැඩෝ එක අරගෙන සුදු පැහැය වැඩිපුර පෙනෙන තැන්වල ආලේප කිරීම. ඉන් කොණ්ඩයේ වොලියුම් එක, ඒ කියන්නේ ප්‍රමාණය වැඩි ආකාරයක් පෙන්වන්න පුළුවන්.
4. තනිව මස්කාරා ආලේප කරන හැටි
මස්කාරා ආලේප කරද්දි සුළුවෙන් හෝ ඇහැ තුළට ගියොත් කඳුළු එන්න පටන් ගන්නවා. ඒ නිසා එය පරිස්සමින් කළ යුතු දෙයක්. ඇස් තුළට යන්නේ නැතිව, ඇහැ වටා වදින්නෙත් නැතිව මස්කාරා ආලේප කරන්න ඔබට පුංචි හැන්දක් පාවිච්චි කරන්න පුළුවන්. රූපයේ ආකාරයට හැන්ද ඇහැ යටින් තියලා එය මතින් මස්කාරා ආලේප කිරීමෙන් ඇහැ තුළට යන්නේ හෝ ඇහැ අවට ආලේප වන්නේ හෝ නැහැ.
5. අයි ෂැඩෝ ලිප්ස්ටික් බවට පත් කරන හැටි
ලිප්ස්ටික් එක ඉවර වුණු වෙලාවට අයි ෂැඩෝස් ලිප්ස්ටික් බවට පත් කර ගන්න පුළුවන් කියලා ඔබ දන්නවාද? ඒක කරන්නේ මෙහෙමයි. අයි ෂැඩෝස් ටිකක් අරගෙන ඒකට බොඩි ලෝෂන් ඉතාම ස්වල්පයක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න. දැන් මේ මිශ්‍රණය ලිප්ස්ටික් ආකාරයට දෙතොලේ ආලේප කරන්න පුළුවන්.
6. ස්වභාවික බොඩි ස්ක්‍රබ් සාදා ගන්නා හැටි
බොඩි ස්ක්‍රබ්වලින් කරන්නේ සම මත ඇති මැරුණු සෛල ඉවත් කිරීම. මේ සඳහා වෙළඳ පොලේ තිබෙන කෘත්‍රිම දේවල් පාවිච්චි කරන්නේ නැතිව ස්වභාවික බොඩි ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න ඔබත් කැමති ඇති. ලෝකෙ තියන හොඳම බොඩි ස්ක්‍රබ් එක තමයි කෝපි කුඩු. කෝපි කුඩු ටිකක් අරගෙන වතුර බිඳු දෙක තුනක් දාලා හොඳින් ස්ක්‍රබ් කරන්න. පළමු අවස්ථාවේ සිටම පැහැදිලි වෙනසක් දකින්න පුළුවන් වේවි. ඒ වගේම ඔබට කෝපි ඇට බ්ලෙන්ඩර් එකේ දමා කුඩු කරගෙන කෝපි කුඩු සාදා ගන්න පුළුවන් නම් ප්‍රතිඵලය තවත් සාර්ථක කර ගන්න පුළුවන්.
7.වියළුණු මස්කාරා එකක් යළි සකස් කර ගන්නා හැටි
මස්කාරා එක ආලේප කරන්න බැරි තරමයම වියළිලා නම් පුංචි උපක්‍රමයක් මගින් එය යථා තත්වයට පත් කර ගන්න පුළුවන්. ඔබට කරන්න තියෙන්නේ මස්කාරා එක තුළට ජොජෝබා ඔයිල්, ඔලිව් ඔයිල් වැනි තෙල් වර්ගයකින් බිඳුවක් දෙකක් එකතු කරන එකයි. ඒ දෙකම සපයා ගන්න බැරි නම් පිරිසිදු පොල් තෙල් බිඳුවක් එකතු කරන්න. නැවතත් මස්කාරා එක පාවිච්චි කරන්න පුළුවන් වේවි.
ප්‍රතිභා රත්නසූරිය

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින සීතල යුද්ධය අවසන් කරන්න පුළුවන් වෙන්නේ යුධමය විසඳුමකින් විතරයි කියලා පහුගිය දවසක ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා තිබුණා. මේ ප්‍රකාශය ගැන පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් තමන්ගේ විරෝධය පළ කරමින් ට්විටර් සටහනක් තැබුවේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද්ධයක් ඇති නොවන බවට ප්‍රකාශ කරමිනුයි. මේ ගැන CNBC International TV ජාත්‍යන්තර නාලිකාව ඉම්රාන් ඛාන් සමග සංවාදයක් සිදු කරනු ලැබුවා.
මේ රටවල් දෙක අතර සීතල යුද්ධයක් පවතින්නේ නැහැ කියලද ඔබ කියන්නේ?
සෑම රටක් අතරම වගේ ඉන්දියාව සහ අපි අතර යම් යම් කරුණු ගැන මතභේද පවතිනවා. ඒකට සීතල යුද්ධයක් කියනවා නම් ලෝකයේ හැම රටක් අතරම සීතල යුද්ධක් පවතිනවා කියලා මට කියන්න වෙනවා.
ට්‍රම්ප් ජනපති යුධමය විසඳුමකින් බලාපොරොත්තු වෙන්නේ මොකක් කියලද ඔබ හිතන්නේ?
ඒක දන්නේ ඔහුම විතරයි. නමුත් ඇමෙරිකාවට පාකිස්ථානය එක්ක පවතින අමනාපකම් නිසා ඔවුන් කැමති ඇති යුද්ධයක් ඇති වෙනවා නම්. ඉන් ඔවුන්ට අත් වෙන වාසිය ඉතාම විශාලයි.
මොනවගේ වාසි ගැනද ඔබ කියන්නේ?
මම හිතන්නේ මම මේ ගැන කතා කළ යුතු නැහැ කියලයි. මොකද ඉන්දියාව සහ අපි අතර යුද්ධය කවදාවත් සිදු නොවන දෙයක්. ඉතින් එහෙම දෙයක් වෙනකන් බලාගෙන ඉන්න අයට පිළිතුරු දෙන්න අවශ්‍යයි කියලා මට හිතෙන්නේ නැහැ.
ඔබට ඇමෙරිකාව එක්ක තරහක් තියනවා ද?
තරහක් තියාගෙන හිටියා කියලා මට ඇතිවෙන දේකුත් නැහැ නැතිවෙන දේකුත් නැහැ. ඒ නිසා එහෙම දෙයක් නැහැ. නමුත් ඇමෙරිකානු රජයේ සමහර තීරණ ගැන කිසිසේත්ම පැහැදීමක් නැහැ.
ඇමෙරිකානු තරුණියක් ඔබේ බිරිඳ වෙලා හිටපු කාලයකුත් තිබුණා.
ඒක මේ ප්‍රශ්නයට අදාල කාරණයක් නෙවෙයි. ආදරයක් ඇති වීම සහ විවාහ වීම කියන කාරණාවලදි මට ජාතිය, ආගම, වයස, කුලය වගේ දේවල් අදාල වෙන්නේම නැහැ.
ඒ නිසා ද ඔබේ හිටපු බිරියන්ගෙන් වැඩි දෙනෙකු සහ ඔබ අතර පරතරය අවුරුදු 20 කටත් වඩා වැඩි වුණේ?
ඒ ගැන නම් විවේකීව ඉන්න වෙලාවක හිතලා බලන්න ඕනෙ. මගේ පළමු බිරිඳ සහ වර්මාන බිරිඳ දෙදෙනා නම් මට වඩා අවුරුදු විසි ගණන්වලින් ළාබාලයි. අනිත් අය ගැන මට ඔබට තරම් මතකයක් නැහැ.
ඇයි ඔබේ වර්තමාන බිරිඳ මාධ්‍ය ඉදිරියට ඒම ප්‍රතික්ෂේප කරන්නේ?
ඒක ඇය හැදුණු වැඩුණු පරිසරය නිසා සිදුවුණු දෙයක්. ඔබ දන්නවා ඇති සාම්ප්‍රදායික පාකිස්ථාන් තරුණියන් ප්‍රසිද්ධියට කැමති අය නෙවෙයි. ඒ නිසා ඇය වැඩිපුර මාධ්‍ය ඉදිරියට එන්නේ නැහැ. මම ඇගේ කැමැත්තට අකමැත්ත ප්‍රකාශ කරන්නෙත් නැහැ.
මාධ්‍යවල සඳහන්වන විදියට ඔබ දෙදෙනා අතර හිතවත්කම ඇති වෙන්නේ ඇගේ පළමු විවාහය අතරතුරමයි. ඇයට අවුරුදු 30 ක විවාහය අත්හැර ඔබ සමග විවාහ වෙන්න තරම් ඔබේ තිබෙන විශේෂත්වය මොකක්ද?
ඒ ගැන නම් අහන්න ඕනෙ ඇගෙන්මයි. නමුත් මට එක දෙයක් කියන්න ඕනෙ. ඇගේ ඒ තීරණයට හේතුව මගේ අගමැතිකම නම් නෙවෙයි. මොකද අපේ විවාහය සිදු වෙලා මාස 6 ක් ගියාට පස්සේ තමයි මම අගමැති බවට පත් වෙන්නේ.
නිළියන්, ජන මාධ්‍යවේදිනියන්, නිවේදිකාවන්, නිරූපිකාවන්, දේශපාලඥවරියන්, නීතිඥවරියන් ආදී විවිධ වෘත්තිකයින් ඔබේ බිරියන් වෙලා හිටියා. බිරියකට ගැලපෙනම වෘත්තිය මොකක් කියලද ඔබට හිතෙන්නේ?
ඒක තීරණය වෙන්නේ ඇයට ඇගේ වෘත්තිය සහ පෞද්ගලික ජීවිතය කියන දෙක කොයි තරම් දුරට සමබර කරගන්න පුළුවන් ද කියන කාරණය මත විතරයි. වෘත්තිය සහ ගෙදර පටලවා ගන්නේ නැතිනම් ඔය කියන ඕනෙම වෘත්තියක ඉන්න කෙනෙකුට හොඳ බිරියක් වෙලා සාර්ථක පවුල් ජීවිතයක් ගොඩ නගා ගන්න පුළුවන්.
දරුවන් පස් දෙනෙකුගේ අම්මා කෙනෙකුට නැවත් වරක් පෙම්වතියක් වෙන්න පුළුවන් ද?
ඒක මට විස්තර කරන්න දෙන්න. වයස අවුරුදු 16,18 කාලෙ අපි ආදරය කරන්නේ ලස්සනට. නමුත් දැන් අපි ආදරය කරන්නේ ලස්සනට වඩා ගතිගුණ ස්වභාවයට. ඇයට අවුරුදු 16 කාලෙ ඇය කාගේ හෝ පෙම්වතියක්ව සිටින්න ඇති. නමුත් ඇය මගේ පෙම්වතිය කාලෙ ඇයට ඉන්න දරුවො ගණනට වඩා මට වැදගත් වුණේ ඇයත් එක්ක ගත කරද්දි මගේ හිතට දැනෙන සහනය කොච්චරක් ද කියන එකයි. මම පීඩනයෙන් ඉන්න වෙලාවට ඇය හොඳ උපදේශකයෙක් වුණා. මම දුකෙන් ඉන්න වෙලාවට ඇය මට කුරානය වුණා. අද වෙද්දි ඇය මට හොඳ සහායිකාවක්, බිරිඳක් සහ මිතුරියක්.
ඔබ දෙදෙනාගේ අනාගතය මොන වගේ වෙයිද?
ඒ ගැන සැළසුම් නැහැ. දැනට මට තියෙන්නේ දේශපාලන ජීවිතයේ සැළසුම් විතරයි. පාකිස්ථාන දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සහ සෞඛ්‍යය තත්වය යහපත් තත්වයට පත් කිරීම කියන කාරණා ප්‍රතිපත්තියක් කරගෙනයි මම මේ තැනට ආවේ. ඒවා ඉටු කිරීම තමයි දැන් මගේ සැළසුම වෙලා තියෙන්නේ.
ඔය කියන දරුවන් අතර ඔබ දෙදෙනාගේ දරුවන්ට ඉඩක් නැද්ද?
මොකද නැත්තේ? ඇයට දරුවන් පස් දෙනෙක් ඉන්නවා. ඔවුන්ගෙන් කීප දෙනෙක් විවාහ වෙලත් ඉන්නේ. මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ඒ අය දැන් පාසල් අධ්‍යාපනය නිම කරලා උසස් අධ්‍යාපනයේ නිතර වෙනවා.
මම අදහස් කළේ ඔබ දෙදෙනාගේ දරුවන් ගැන? ඉම්රාන් ඛාන් සහස බුෂ්රා බිබි කියන දෙමාපියන්ගේ දරුවන් ගැන?
ඒ ගැන අපි තීරණයක් ගත්තු දාට අනිවාර්යයෙන්ම ඔබට කියන්නම්.


දරු සුරතල් වෙනුවට ද ඔබ සුරතල් සතුන් ඇති කරමින් ඔවුන්ගේ සුතරලය බලන්නේ?
මම කොහොමත් පුංචි කාලෙ ඉඳන් සුරතල් සතුන් විදියට බල්ලන් කීප දෙනෙකු ඇති කළා. ඒ පුරුද්ද අදටත් තියනවා. මගේ ගෙදර ඉන්නවා බල්ලන් පස් දෙනෙක්. ඇත්තටම ඔවුනුත් මට දරුවන් වගේ තමයි.
ඔබ බුෂ්රා බිබි සමග විවාහ වෙද්දි විවාහ ගිවිසීමේ වාක්‍යවල ඔබට කියන්න වුණේ බුෂ්රා මනේකා බිබි කියලයි. මනේකා කියන්නේ ඇගේ හිටපු සැමියාගේ වාසගම. එය තවමත් ඇය පාවිච්චි කරනවා.?
විවාහයකින් දික්කසාද වුණා කියලා සැමියාගේ වාසගම ඉවත් වෙන්නේ නැහැ. නැවත වරක් විවාහ වුණොත් එය ඉවත් වෙනවා. දැන් ඇය බුෂ්රා බිබි ඛාන්. ඇය කැමති නම් මනේකා කියලා පාවිච්චි කළත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඇයට ඉන්නවා මනේකා වාසගම තියන දරුවන් පස් දෙනෙක්. ඔවුනුත් සමහර විට කැමති වේවි ඔවුන්ගේ අම්මා තවදුරටත් මනේකා කෙනෙක් වෙනවාට. ඔවුන්ගේ වාසගම පාවිච්චි කරනවාට. ඕවා ප්‍රශ්න කර ගන්න වුවමනා දේවල් නෙවෙයි.
දුලංජලී මුතුවාඩිගේ

ශේෂාද්‍රි මේ දිනවල මොනවද කරන්නේ?
මේ දවස්වල නම් මම නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා. මොකද කොරෝනා නිසා පහුගිය කාලේ කලා කටයුතු ඔක්කොම නතර වුණා.හැම වැඩක්ම දින නියමයක් නැතුව කල් ගියා.
මෑතකදී මොනවගේ කලා නිර්මාණවලටද ආරාධනා ලැබුණේ?
අලුතින් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා.ඒකේ රූගතකිරීම් නම් ළඟදීම පටන්ගනීවි.ඒ ඇරුණාම ටෙලිනාට්‍යයකටත් මට කතාකරලා තියෙනවා.හැබැයි තවම ඒක බාරගන්නවාද නැද්ද කියලා මම තීරණය කරලා නැහැ.තව ටිකක් කල්පනා කරලා බලලාම උත්තරයක් දෙනවා කියලයි හිතාගෙන ඉන්නේ.

ඔය අතරේ ශේෂාද්‍රි ව්‍යාපාර කටයුතුවලටත් සම්බන්ධ වෙලා නේද ඉන්නේ?

ඔව්.මම ෆෙස්බුක්,ඉන්ස්ටර්ග්‍රෑම් වගේ සමාජ ජාල හරහා ධබකසබැ ීඑදරු එකක් පවත්වාගෙන යනවා.මම චිත්‍ර ඇදලා,ඒවා ටී ෂර්ට්වල ප්‍රින්ට්කරලා අලෙවි කරනවා.ඒක පටන් අරන් ටිකක් කල්.නමුත් 2013-2014 දී වගේ ඒ ව්‍යාපාරය නැවත්වන්න සිද්ධ වුණා.මගේ පහුගිය උපන් දිනය දවසේ මම ආයෙමත් ඒක පටන්ගත්තා.

කොරෝනා නිසා ලැබුණු නිවාඩුවට කලින් පවා කාලයක් ඔබ කලා කටයුතුවලින් ටිකක් ඈත්වෙලයි හිටියේ.කලාකරුවන් එකතුවෙන විශේෂ අවස්ථාවලදී පවා ,ඔබේ සොහොයුරියන් දෙන්නා පේන්නට හිටියත් ඔබව වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ.ඒවගේම කාලයක් ඔබ මාධ්‍යවලින් පවා ඈත්වෙලා හිටියා.ඇයි එහෙම වුණේ?
ඔය කියන කාරණාව ඇත්ත.එහෙම කරන්න මට සාධාරණ හේතුවක් තිබුණා.කාලයක් මගේ ජීවිතයට නොයෙකුත් ප්‍රශ්න ගැටලු ඇතිවුණා.ඒ සමහර ඒවා මම හිතපුවත් නැති දේවල්.ඒ නිසා තවදුරටත් ප්‍රසිද්ධියේ කතාබහට ලක්වෙන කෙනෙක් වෙන්න මට වුවමනා වුණේ නැහැ.මොකද සමහර අය මං ගැන කිව්වේ හරි දේවල් නෙවෙයි.බොරු ගොත ගොතා වැරදි දේවල්ම තමයි ප්‍රචාරය කළේ.ඔය කියන කාරණා මට මානසිකව දරාගන්න බැරි තත්ත්වයකට ආවා.ඒ හින්දා මම හිතුවා මේ හැමදේකින්ම අයින් වෙලා , කවුරුත් කතා නොකරන තැනකට ගිහින් ඉන්න එක හොඳයි කියලා.ඒක මම හොඳට හිතලා බලා ගත්තු තීරණයක්.

නමුත් ඒ තීරණය නිසා රංගන ශිල්පිනියක් විදියට ඔබට කරන්න තිබුණු ගොඩක් දේවල් මගහැරුණා නේද?
ඔව්.ඔය අතරතුරේ හුඟක් අය මට කිව්වා මේ විදියට කලාව පැත්තෙන් මොනවත් නොකර ඉන්නේ අපරාදෙනේ,තව වයස ගතවෙන්න කලින් මගේ තියන හැකියාවෙන් ප්‍රයෝජන ගන්න කියලා.ඒත් මම ඒ තීරණය ගන්න්න මගේ හැමදෙයක්ම යථා තත්ත්වයට පත්වෙනතුරු කල්ගත්තා.දැන් මම තීරණය කරලයි තියෙන්නේ,ඉස්සර වගේම ආයෙමත් හොඳ නිර්මාණවලට දායක වෙමින් දිගු ගමනක් යනවා කියලා.

ඒ කියන්නේ කලින් තිබුණු ගැටලු සියල්ල දැන් විසඳිලාද තියෙන්නේ?
අපොයි ඔව්.ඒ ඔක්කොම දැන් ඉවරයි. ඒ කාලය තුළ මගේ හැමදෙයක්ම මම හදාගත්තා. මම දැන් මානසිකවත් ඉස්සරට වඩා ගොඩක් ශක්තිමත්.ඒ විතරක් නෙවෙයි , ඒ කාලය තුළ මම නිකම් හිටියෙත් නැහැ.මගේ අධ්‍යාපන කටයුතු මම අවසන් කළා.පූර්ව ළමාවිය සංවර්ධනය ගැන තමයි මම ඉගෙන ගත්තේ.ඒ සම්බන්ධව උපාධියකුත් සම්පූර්ණ කරපු නිසා මම දැන් ගුරුවරියක් විදියට කටයුතු කරනවා. දැනට මම පුද්ගලික අධ්‍යාපන ආයතනයක සේවය කරනවා.


ගැටලු සේරම විසඳුනාට පස්සේ දැන් ශේෂාද්‍රිගේ පුද්ගලික ජීවිතයේත් ලොකු වෙනසක් සිද්ධ වෙලා.ඒ වෙනස ඇතිකරපු ඔබේ පෙම්වතා ගැන හා හා පුරා කියලා රැජිනිය පාඨකයන්ට කියමු නේද?
එයාගේ නම ක්‍රිෂාන් පෙරේරා.සංගීතඥයෙක් විදියට තමයි ගොඩක් අය එයාව හඳුනන්නේ.

ශේෂාද්‍රිගේ ජීවිතයට ඔහු සමීප වුණේ කොහොමද?
ක්‍රිෂාන් මගේ අක්කා දිනක්ෂිගේ හොඳම යාළුවෙක්.ඒ වගේම එයා අපේ පවුලේ හිතවතෙක්.අවුරුදු දහයක පහළොවක විතර ඉඳන් මම ක්‍රිෂාන්ව අඳුරනවා.එයා නිතර අපේ ගෙදරත් එනවා.ඒත් කවදාවත් මට එයා ගැන විශේෂ හැඟීමක් තිබිලා නෑ.එයාටත් මං ගැන එහෙම තිබිලා නෑ.මගේ අක්කා තමයි අපි දෙන්නාව එකතුකරන්න මැදිහත් වුණේ.අක්කා කිව්වා ක්‍රිෂාන් එක්ක ටිකක් කතා කරලා බලන්න කියලා.ක්‍රිෂාන්ටත් අක්කා ඒ ගැන කියලා තිබුණා.එහෙම තමයි අපි දෙන්නාගේ සම්බන්ධය ඇතිවුණේ.

ඔබේ දෙමවුපියෝ මේ ගැන මොකද කිව්වේ?
තමන්ගේ දරුවෝ කවදාහරි විවාහවෙලා හොඳ පවුල් ජීවිතයක් ගතකරනවා දකින එකයි දෙපවුපියන්ගේ ආසාව.මගේ අම්මාටයි තාත්තාටයිත් ඒ ආසාව තියෙනවා.ඒ අය ගොඩක් ලක් ඉඳලා ක්‍රිෂාන්ව අඳුරනවා.ඒ වගේම ඒ අය ක්‍රිෂාන්ට හුඟක් කැමතියි.ඒ හිබ්දා දෙමාපියන්ගේ අවසරයත් ඇතුව තමයි අපි මේ සම්බන්ධය පටන්ගත්තේ.
ක්‍රිෂාන් කලාවට සම්බන්ධ කෙනෙක්වීමත් මේ සම්බන්ධයට බලපාන්න ඇති නේද?
ඔව්.අපේ පවුලමත් කලාවට ලැදි නිසා ඒ අවබෝධයත් අපි අතරේ තියනවා.හැබැයි ක්‍රිෂාන් පැය අටේ රැකියාවකුත් කරන කෙනෙක්.ඒ වැඩ රාජකාරි ඉවරවෙලා තමයි එයා සංගීත කටයුතුවල යෙදෙන්නේ.ඒ හින්දා එයා ගොඩක් වෙලාවට කාර්යබහුලයි.ඒ හින්දා අපේ ගෙදර සමහර වෙලාවට විශෙෂ සාද වගේ දේවල් තියන අවස්තාවලදී පවා එයාට ඒවා මගහැරෙනවා.නමුත්,මම වගේම මගේ පවුලේ හැමෝමත් එයාගේ කාර්යබහුල බව ගැන අවබෝධයක් තියෙන නිසා ගැටලු මතුවෙන්නේ නැහැ.

ඔබේ අක්කා දිනක්ශි සහ ජනප්‍රිය නළු සාරංග දිසාසේකර අතර තියෙන ප්‍රේම සම්බන්ධයත් ගැන දැන් බොහෝදෙනාට රහසක් නෙවෙයි.ඔබ අක්කාට කලින් විවාහ වේවිද නැත්නම් අක්කාගේ විවාහය මුලින් සිද්ධවේවිද?
ඒ දෙන්නා තවම විවාහවෙන දවසක් ගැන හරියට සැලසුම් කරලා නැහැ.අක්කා දන් ආයෙමත් කාර්යබහුල වෙලයි ඉන්නේ.මමත් තවම තීරණය කරලා නැහැ කවදා වගේ විවාහ වෙනවද කියලා.ඒ නිසා අක්කා කලින් විවාහවේවිද මම ඉස්සර වේවිද කියලා තවම නම් හරියට කියන්න බැහැ.කවූරු ඉස්සරවිණත් මුලින්ම ඒ ගැන ”රැජිනිය”ට කියන්නම්.

ඔබ ක්‍රිෂාන් එක්ක එකතුවෙලා ළඟදීම කරන්න යන අලුත් වැඬේ ගැනත් කතා නොකළොත් අඩුවක් නේද?
මම මියුසික් වීඩියෝවල පෙනී ඉන්නේ නෑ කියන තීරණයේ තමයි මෙච්චර කාලයක් හිටියේ.උසස් පෙළ කරන කාලේ විතරක් එක මියුසික් වීඩියෝවකට දායක වුණා.ඒත් අවුරුදු දහයකට විතර පස්සේ ඒ තීරණය වෙනස් කරලා,ක්‍රිෂාන් ගයපු අලුත්ම ගීතයක මියුසික් වීඩියෝවේ පෙනීසිටියා.ක්‍රිෂාන් දනගෙන හිටියා මම මියුසික් වීඩියෝවල ඉන්න ඒතරම් කැමැත්තක් තිබුණේ නැති බව.ඒ හින්දා ඒ විෂුවල් එකට ගන්න කෙනෙක් ටික කාලයක් තිස්සේ හොයද්දී තමයි මම කිව්වේ , එහෙනම් මම ඒක කරන්නම් කිවලා.එයත් ඒකට කැමති වුණා.දැන් ඒ මියුසික් වීඩියෝවේ වැඩකටයුතු ගොඩක්ම දුරට ඉවරයි.තව සතියකින් විතර ඒක එළිදක්වන්නයි අපි හිතාගෙන ඉන්නේ.

කිෂාන් කනංකෙ

පාසල් සිසුවියකව සිටියදී ගෙදරින් පැන ගොස් එක් සතියක් තුළ පිරිමින් ගණනාවක් සමග ලිංගිකව හැසිරුණු යුවතියක් ගැන කලකට ඉහතදී අසන්නට ලැබිණි. ඇය පෙම්වතුන් කිහිප දෙනෙකු සමග එම සතිය තුළ ලිංගිකව හැසිරීමට ද එයින් එක් පෙම්වතෙක් ඔහුගේ මිතුරන් සමගද සිටින ලෙස ඇගෙන් ඉල්ලා තිබේ. එවිට ඇය තමන්ට මුදල් දෙන්නේ නම් කැමති විය හැකි බව පවසා ඇත. ඒ අනුව එක් මිතුරකුගෙන් රුපියල් දහස බැගින් ගනිමින් ඇය සිරුර විකුණා ඇත.
අප මෙහිදී කතා කරන්නේ මේ යුවතිය පිළිබඳව නොවේ.

අප මේ ලිපිය මගින් විමසන්නට උත්සාහ දරන්නේ නව යොවුන් වයසේ අයකු අධික ලිංගික ආශාවලින් යුක්තවීම හා ඒවා පාලනය කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් බලපාන කායික හා විශේෂයෙන් මනෝ වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳවය.

වයස අවුරුදු පහළොව යනු හෝමෝනවල අධික ක්‍රියාකාරීත්වය තුළින් ලොකු පිබිදීමක් ඇති වන කාලවකවානුවක් සහ ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වන වයස් සීමාවයි. නමුත් එසේ වූ පලියට මනුෂ්‍යයන් වශයෙන් අප අපගේ එම හැඟීම් අවශ්‍ය විටෙක මිස ඕනෑම විටෙක එළි දක්වන්නේ නැත. ලිංගිකත්වය පිළිබඳ හැඟීම යටපත් කර ගෙන හිඳීම මනුෂ්‍ය ස්වභාවයයි.

අධික ලිංගික හැසිරීම් සඳහා බලපාන කායික හේතුවක්

මෙවැනි අධික ලිංගික හැසිරීම් මේ වයසේ දරුවකු තුළි පළ වන විට මුලින්ම සොයා බැලිය යුත්තේ ඊට බලපාන කිසියම් කායික හේතුවක් තිබේද යන්නය. අධික හෝමෝන ක්‍රියාකාරිත්වයක් ඇති විට මේ ආකාරයෙන් අසාමාන්‍ය අන්දමට අනුරාගී හැසිරීම් පළ කිරීමට පුළුවන. ඒ අනුව මුලින්ම එවැනි දරුවකු යොමු කළ යුත්තේ අන්තරාසර්ග ග්‍රන්ථි විශේෂඥ

( Endocrinologist)  වෛද්‍යවරයකුටය. අපේ ලිංගික හෝමෝන ශ්‍රාවය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිත ප්‍රදේශයෙනි. ඒ අනුව පිටියුටරි ග්‍රන්ථියේ පිළිකාවක් වැනි ගෙඩියක් හට ගත් විටද එම ග්‍රන්ථියෙන් වැඩිපුර හෝමෝන ශ්‍රාවය වේ. ඒ හේතුව නිසාද අසාමාන්‍ය අන්දමින් ලිංගික ආශාව ඇති වී ඒ සම්බන්ධ හැසිරීම්ද පළ කළ හැකිය. ඒ අනුව හෝමෝන පරීක්ෂණයක් (Hormone Profile Test) කර බැලීම තුළින් මේ කුමන තත්ත්වයක් හෝ පවතින්නේද නැද්ද යන්න හඳුනා ගත හැකිය.
නමුත් එබඳු කායික දෝෂ තත්ත්වයක් නැත්නම් ඊළඟට යොමු කළ යුත්තේ මනෝ වෛද්‍ය විශේෂඥවරයකු වෙතටය.

අධික ලෙස ලිංගික හැසිරීම්වලට රුචි වීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික රෝග පිළිබඳ වර්ගීකරණයෙහි (ICD 10) හඳුන්වන පොදු නාමය වන්නේ  Excessive Sexual Desire ලෙසිනි. පොදු නාමය මෙය වුවත් කාන්තාවන්ට අධික ලෙස ලිංගික ආශාව හා හැසිරීම පැවැතීම නිම්ෆොමේනියා (Nymphomania) ලෙසිනුත් පිරිමින් තුළ අධික ලිංගික ආශාව හා හැසිරීම පැවැතීම සැටරයිසිස් (Satyrisis) ලෙසිනුත් වැඩිදුරටත් දක්වා ඇත.
ඇමෙරිකානු මනෝ වෛද්‍ය විද්‍යා සංගමයේ රෝග නිර්ණායක සංග්‍රහයෙහි (DSM 4) අධික ලිංගික ආශාව සහ හැසිරීම් මානසික ආබාධයක් ලෙස දක්වා ඇති අතර එය ඔවුන් පොදුවේ Hyper Sexual Disorder ලෙස දක්වා තිබේ.

අධික ලිංගික හැසිරීම් දක්නට ලැබෙන මානසික හේතු
මේනියා රෝගය
මනෝ වෛද්‍ය විද්‍යාවේ ද්වී ද්‍රවීය ආබාධය (Bipolar disorder) නමින් මානසික ආබාධයක් තිබේ. මේ රෝගයද 1 සහ 2 නමින් කොටස් දෙකකි. ද්වි ද්‍රවීය යනු අන්ත දෙකක් පැවැතීමය.
ඒ අනුව ද්වී ද්‍රවීය ආබාධය 1 රෝගයේ අන්ත දෙක වනුයේ විශාදය (Depression) සහ මේනියා (Mania) රෝගයයි. ද්වි ද්‍රවීය ආබාධය 2 හි අන්ත දෙක නම් විශාදය සහ හයිපෝමේනියා තත්ත්වයයි.
ද්වී ද්‍රවීය ආබාධයට අන්ත දෙකක් පැවැතීම මත මේ මානසික රෝගය වැළඳුණු කෙනකු සමහර කාලවලට දක්වන්නේ විශාද රෝග ලක්ෂණය. තවත් සමහර කාලවලට මේනියා ලක්ෂණ දක්වති. ද්වී ද්‍රවීය ආබාධය 2 හිඅන්ත දෙක විශාදය සහ හයිපොමෙනියා බව ඉහත දැක්වීමු. මෙහිදී රෝගියා විශාද ලක්ෂණ පළ කරන කාලයට නිතර දුකින්, තරහින් සහ නොසන්සුන් බවින් පිරී දුක්මුසුව පැත්තකට වී කාලය ගත කරයි. ලිංගික හැසිරීම් පිළිබඳ උනන්දුවක් හෝ ආශාවක් නැත. හයිපොමේනියා තත්ත්වයේදී දක්වන්නේ එහි අනෙක් පැත්තය. එනම් සතුට අධිකය. ලිංගික හැසිරීම් කෙරෙහි දැඩි කැමැත්තක් දක්වයි නමුත් එය පානය කරගැනීමේ හැකියාව ඇත. හයිපොමේනියා රෝගය රෝහලක නතර කර ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් නොවේ. ඔවුනට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය. මෙය මේනියා තරමටම වර්ධනය නොවූ තත්ත්වයකි.
අපේ සමාජය තුළ ඕනෑ තරම් මෙම රෝගීන් දැක ගත හැකිය. ඔවුනට ප්‍රතිකාර අවශ්‍ය නැත.
ලිංගික හැසිරීම් අධික ලෙස පළ කරන්නට වීම රෝගියාටම කරදරයක් වුණොත් පමණක් ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැකිය. අප ද්වී ද්‍රවීය ආබාධය 2 ගැන සුළුවෙන් සඳහන් කළේ ඔබට මේ තත්ත්වය නිරවුල් ලෙස පැහැදිලි කර ගැනීම සඳහාය.
ද්වී ද්‍රවීය ආබාධය යනු මීට වඩා ප්‍රබල රෝග තත්ත්වයකි. ඉහත සඳහන් කළ යුවතියගේ බඳු හැසිරීම් ද්වී ද්‍රවීය පළවෙනි කාණ්ඩය සහිත රෝගීන් පළ කළ හැකිය. මේ රෝගයේ එක් අන්තයක් වනුයේ මේනියා තත්ත්වයයි. සාමාන්‍යයෙන් මේනියා රෝගය තනි රෝගයක් ලෙස වැළඳෙන්නේ නැත. එය ද්වි ද්‍රවීය ආබාධයේ එක් අන්තයක් ලෙස පවතියි.
ද්වි ද්‍රවීය රෝගීන්ට මේනියා තත්ත්වය ඇති කාලවලදී විශේෂයෙන් කාන්තාවන් අධික ලිංගික ආශාවන් හා හැසිරීම් පළ කරනු ඇත. සාමාන්‍ය කෙනෙකුට තමන් තුළ ඇතිවන අධික ලිංගික ආශාවන් අවස්ථානුකූලව පාලනය කරගත හැකි මුත් මේනියා
රෝගීන්ට එලෙස පාලනය කර ගැනීම අසීරුය. ඕනෑම කෙනෙකු ඉදිරියේ කිසිදු ලජ්ජාවක් බියක් නැතිව සිය ඇඳුම් ඉවත් කර ලිංගික හැසිරීමක යෙදීම මේ රෝග තත්ත්වය ඇති කාන්තාවන්ට කිසි අපහසුවක් නැත. අප මේ දක්වන්නේ ගණිකා වෘත්තිය පිළිබඳව නොවන බව සැලකිය යුතුය. ඕනෑම තැනක, ඕනෑම විටෙක කිසිදු අපහසුවකින් තොරව තම නිරුවත දැක්වීමට හා ඕනෑම අයකු හා කිසිදු පැකිලීමකින් තොරව කායික සම්බන්ධතා පැවැත්වීමට මොවුන් පෙළඹෙනු ඇත. ඊට හේතුව මේනියා රෝග තත්ත්වය හේතුවෙන් ලිංගික ආශාවන් පාලනය කර ගැනීමට හැකියාවක් නොතිබීමය. නමුත් මෙහිදී විශේෂයෙන් කිව යුත්තක් නම් අධික ලිංගික ආශාව හා හැසිරීම් ඇති හැම කෙනෙක්ම මේනියා රෝගීන් නොවන බවය.

ඇබ්බැහිවීම
මෙකල නව යොවුන් දරුවන් විවිධාකාර දේවල්වලට ඇබ්බැහිවීම දක්නට ලැබේ. සමහරුන් සිතා සිටින්නේ පිරිමි දරුවන් මිස ගැහැනු දරුවන් විවිධ දේවල්වලට ඇබ්බැහි නොවන බවය. නමුත් ගැහැනු පිරිමි භේදයක් නැතිවම නොයෙකුත් දේවල්වලට ඇබ්බැහි වීම සිදුවිය හැකි අතර විශේෂයෙන් ඉහළ සමාජයේ සහ ඉහළ පෙළේ පාසල්වල ඇතැම් දරුවන් අතර පවා මත් පෙති වර්ග ජනප්‍රිය වී තිබේ. ෆාමසිවල දක්නට නොලැබෙන මේවා අලෙවිය නීති විරෝධී වුවත් මෙවැනි දෑ මිලදී ගත හැකි ස්ථාන පවතියි. මේවායින් ශරීරය තුළ උත්තේජනයක් ඇති කරන අතර ලිංගික ආශාවද බොහෝ සෙයින් ඉහළ නැංවෙනු ඇත. මේවා දිගින් දිගටම ගන්නා අයගේ ලිංගික ප්‍රබෝධය හා ආශාව වැඩිකලක් රඳා පවතින නිසා ඔවුන් කිසිදු ලජ්ජාවකින් හෝ බියකින් තොරව අධික ලෙස ලිංගික සේවනයෙහි යෙදෙනු ඇත.

මහනුවර මහ රෝහලේ
විශේෂඥ මනෝ වෛද්‍ය
ගිහාන් අබේවර්ධන

ඉන්දු පෙරේරා

දුවේ, පුතේ, මෙවර අලු‍ත් පාසල් වාරය ඇරඹුණාම ඔබ හොඳින්ම මතක තබාගත යුතු කරුණු කීපයක්ම තිබෙනවා. ඔබ පාසලට යන්නේ පොදු මගී ප්‍රවාහන බස් රථයකින් හෝ පාසල් බස් රථයෙන් හෝ පයින් ඇවිදගෙන හෝ පියා හෝ මව සමග යතුරු පැදියකින්, ත්‍රිරෝද රථයකින් විය හැකියි. සමහර දරුවන් පාසල් යාම සඳහා දුම්රියද භාවිතා කරනවා. මේ නිසාම ඔබ හොඳින්ම මතක තබාගතයුතු කරුණක් තමයි නිවසින් පිටත් වී කුමන ආකාරයකින් ඔබ පාසලට පැමිණියත් පාසල් ගේට්ටුවෙන් ඇතුළුවන තුරුම මුහුණු ආවරණය අනිවාර්යයෙන්ම ඉවත් නොකළ යුතු බව.

 

පළමුව කළයුතු දේ
පාසල් ගේට්ටුවෙන් ඇතුළු වුණාට පස්සේ ඔබ වෙනුවෙන්ම පිළියෙළ කර තිබෙන අත් සෝදන යන්ත්‍රය හෝ ජලකරාමය ළඟට ගොස් නියමිත ප්‍රමිතියට අනුව අඩුම තරමින් තත්පර 20ක්වත් කාලයක් ගතකරමින් ක්‍රමාණුකූලව ඔබේ දෑත් සෝදාගත යුතුයි. අත් සේදීම සඳහා ඔබ අනෙකුත් සහෝදර සහෝදරියන් මෙන්ම මීටරයක තරම් දුරකින් පෙළ ගැසී සිටීමත් ඉතාම වැදගත්.

නියමිත දුරින් ඉන්න
මේ පාසල් වාරයේ මුල් අදියරවල්වලදී තෝරාගත් ශ්‍රේණි කීපයක් පමණක් එක් එක් දිනවල පාසල වෙත කැඳවා ගැනීමට නියමිත බව අපේ දුවලා පුතාලා දැනටමත් දන්නා කරුණක්. ඒත් ඔබ ඔබේ පංති කාමරයේදී වෙනදා මෙන් ඔබේ මිතුරන්ට ළං නොවී වම් පසින් දකුණු පසින් ඉදිරියෙන් හා පිටු පසින් යන සිව් දෙසින්ම මීටරයක දුරක් ආවරණය වන අයුරින් අසුන් ගැනීමත් ඉතාම වැදගත් කාරණයක්.

පැය හයක් කියන්නේ පුංචි කාලයක් නෙමෙයි
දුවේ, පුතේ, පැය හයක් පමණ කාලයක් දිනකට ඔබ පාසලේ ගතකළ යුතුයි. මේ මුළු කාලය තුළදීම මුහුණු ආවරණ පැළඳ අධ්‍යාපන කටයුතුවල යෙදීම අපේ දුවලා පුතාලට ඒ තරම් ලෙහෙසි කාර්යයක් නොවෙයි. ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක කිරීම අපහසු නිසාම අපේ රටේ සෞඛ්‍ය බලධාරින් ඒ සඳහා ඔබට පුංචි සහනයක් ලබාදී තිබෙනවා. ඒ තමයි පංති කාමරය තුළදී මුහුණු ආවරණ නොපැළඳ අධ්‍යාපන කටයුතු වල නිරත වීමට අවසර ලබාදීම.

සිහි තබා ගත යුතු වගකීමක්
හැබැයි ඉතින් ඔබ සතුව මෙහිදී ඉතාම වගකීමක් පැවැරි තිබෙන බවත් අවධාරණයෙන්ම සිහියේ තබාගත යුතුයි. කොපමණ හොඳ සමීප කළණ මිතුරන් වුණත් ඉතාම ලෙන්ගතු වුණත් වෙනදාටත් වඩා ඉතාම විනීතව මනා සංයමයකින් දැනුම් තේරුම් ඇතිව පන්තියේ යහළු යෙහෙළියන් සමග අදහස් හුවමාරු කර ගැනීමටත් වගකීම් සහගත ලෙස හැසිරීමටත් යුතුකමක් ඔබ සතුව තිබෙනවා.

කොවිඩ් 19 රෝග ලක්ෂණ පහල නොකළත් කිසියම් ආකාරයකින් හෝ ඔබේ යහළුවෙක් යෙහෙළියක් සෙම්ප්‍රතිශ්‍යාවෙන් හෝ උණ හෝ කැස්ස වැනි රෝග තත්ත්වයකින් හෝ පෙළෙනවා නම් ඒ පිළිබඳව පාසලේ අදාළ අංශ වෙත වහා දැනුම්දීමටද ඔබ තුළ පවතින්නේ විශාල වගකීමක්. මේ අනුව ඔබ පාසලේදී අන් අය සමග හැසිරිය යුතු චර්යා පිළිවෙත් පිළිබඳව විශාල අවබෝධයකින් කටයුතු කළ යුතු බව ඔබට හොඳින්ම වැටහෙනවා ඇති. “අලියන්ටයි ළමයින්ටයි නළියන්නමයි හිත” කියලා ජනප්‍රිය කියමනක් තිබුණට තවත් කෙටි කාලයක් ඉතාම ප්‍රවේශමෙන් පාසලේදී පමණක් නොවෙයි අප ක්‍රියාකාරිවන සෑම සමාජයකදීම ප්‍රවේශමෙන් හැසිරිය යුතු බව අමතක කරන්න එපා. වැරදිලාවත් නුසුදුසු තැනක කෙළගැසීම පවා නොකිරීමට වගබලා ගන්න.

දෑත් සේදීමේ වැදගත්කම
මුව ආවරණය මගින් ඔබට ආරක්ෂාව ලැබෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයකට පමණක් බවත් ඉතාම පැහැදිලිව ඔබ තේරුම් ගත යුතුයි. මුව ආවරණය පැළඳගෙන සිටීමෙන් පමණක් 100% ක ආරක්ෂාවක් බලාපොරොත්තු විය නොහැකියි. කොවිඩ් 19 (Covid 19) කියන්නේ සාමාන්‍ය ශ්වසන රෝගී තත්ත්වයක් නොවෙයි. එය මෙතෙක් ලොව බිහිවූ ඉතාම වේගයෙන් ව්‍යාප්ත වුණු භයානකම වසංගත රෝගයක්. පාසලේදී වගේම අප හැසිරෙන සැරිසරන භාවිත කරන පෘෂ්ඨවල තැවරී තිබෙන විෂබීජ ආදිය වැඩි වශයෙන්ම අපේ නාසයට දෑස්වලට මුඛයට යන්නේ අපේම දෑත් මාර්ගයෙන්. මේ නිසා නිසි පිළිවෙළට විෂබීජ හරණය වන පරිදි දෑත් සේදීම සිදු කිරීම ඉතාම වැදගත්. ඉතින් පාසලේදී වේවා වෙනත් ගමනක් ගොස් පැමිණි විටකදී වේවා මුහුණු ආවරණ පැළඳීමට පෙරත් මුහුණු ආවරණය ඉවත් කළ පසුත් ඔබ නිසි පරිදි දෑත් සේදීමේ කාර්යය සිදුකළ යුතුයි.

අවිධිමත් චර්යා
ඒ වගේම තමයි ඔබ මුහුණු ආවරණ පැළඳගෙන සිටින අවස්ථාවකදී ගුරුවරයෙකු සමග හෝ මිතුරකු සමග හෝ කතා කරද්දී මුහුණු ආවරණය නිකට දක්වා පහත් කරනවා නම් කහින විට කිවිසුම් අරින විට හෝ එය පහත් කරනවා නම් එය ඉතාම වැරදියි. නිවසේ සිට පාසලට පැමිණෙන අතරතුරත් පාසල නිමවී නිවසට යන අතරතුරදීත් ඔබ එවැනි වැරද්දක් නොකළ යුතුයි. හදිසියේ කිවිසුමක් පිට කිරීමේදී ඒ සඳහා ඔබ ඔබේ දකුණතේ හෝ වමතේ වැලමිටේ ඇතුළු පැත්ත නිසි පිළිවෙළට භාවිත කළ යුතුයි. ඒ වගේම තමයි පොදු ස්ථානවල හැසිරෙන සෑම අවස්ථාවකදීම කිසිම විටක මුහුණ අල්ලන්න එපා.

තවත් වැදගත්ම පණිවුඩයක්
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට ඔබ මතක තබාගතයුතුම තවත් වැදගත් කරුණක් තමයි ව්‍යායාම කරන විටදී හෝ ක්‍රීඩා කරන විටදී මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව. එවැනි අවස්ථාවල මුහුණු ආවරණ පැළඳීමෙන් සිදුවන්නේ මුහුණු ආවරණ දහඩියෙන් පෙඟී හුස්ම ගැනීම අපහසුවීමයි. එමෙන්ම මෙමගින් මුහුණු ප්‍රදේශයේ නොයෙකුත් ක්ෂුද්‍රජීවින් වර්ධනය වීමට එය හේතුවක් විය හැකියි.

මුහුණු ආවරණයේ ප්‍රමිතියේ ස්වභාවය
ඔබ පළඳින මුහුණු ආවරණය ස්ථර තුනකින් යුත් මුහුණු ආවරණයක් වීම ඉතාම සුදුසුයි. එවැනි මුහුණු ආවරණ වර්තමාන වෙළෙඳපොළේ මඳක් ඉහළ මිලකට විකිණෙන බැවින් එවැනි මුහුණු ආවරණයක ආදර්ශයකට අනුව මුහුණු ආවරණ සඳහා ගැළපෙන රෙදි වර්ගයකින් ඔබේ නිවසේදීම එවැනි මුහුණු ආවරණ මසාගෙන භාවිත කිරීම විකල්පයක් ලෙස ඔබට යෝජනා කරන්නන් අපි කැමතියි. (ඉන් ලැබෙන ආරක්ෂාව වගේම ආර්ථිකමය වාසියත් ඉහළයි.)

දවසකට මුහුණු ආවරණ දෙකක්
තවදුරටත් ඔබ මතක තබාගත යුතු කරුණක් තමයි නිවසින් පාසලට පැමිණෙන විට පැළදි මුහුණු ආවරණයම පාසල නිමවී නිවසට යන විට නොපැළඳීම. මේ සඳහා ඔබට දිනකට මුහුණු ආවරණ දෙකක් භාවිත කළ හැකි නම් එය ඉතාමත්ම හොඳයි.

මුහුණු ආවරණයකට සුදුසුම පාට
මුහුණු ආවරණ සුදු හෝ ළා පැහැති රෙද්දකින් සකසා ගැනීම පාසල් දරුවන්ට වඩාත් සුදුසු බවත් මතක් කරන්න කැමතියි. කළු පාට, තද පාට මුහුණු ආවරණ තාපය වැඩි පුර උරා ගන්නා බවත් ඉන් වැඩිපුර රස්නයක් ඔබේ මුහුණු පෙදෙසට ලැබෙන බවත් මතක තබාගන්න.
වරක් පැළඳි මුහුණු ආවරණයක් නැවත නැවත පැළඳීම සිදු නොකර හොඳින් සෝදා පිරිසිදු කර, අව්වේ වේලා පැළඳීමට පෙර එය අයන් කර පැළඳීමත් ඉතාම හොඳ තත්ත්වයක්. ප්‍රමිතියෙන් යුත් මුහුණු ආවරණ නිසිව පැළැඳීමෙන් කොවිඩ් 19 වසංගතය අවට පරිසරය තුළ පැතිර යාම සාර්ථකව පාලනය කරන්නටත් එමෙන්ම අනෙකුත් ශ්වසන රෝගවලින් ඔබට ආරක්ෂාව ලබාගැනීමටත් විශාල සහයක් ලැබෙන බව ලොව විවිධ රටවල සිදුකළ පර්යේෂණ ප්‍රතිඵලවලින් හෙළිවී තිබෙනවා.

කීර්ති එස්. කුමාර

අගාධයකට වැටිලා තිබුණු ජීවිතයක් ඉන් ගොඩ අරන් හරි මාර්ගයේ ගමන් කරන්න කියලා දුන්න කෙනෙකු විසින්ම නැවතත් එම ජීවිතය අගාධයට ඇදලා දාන්න උත්සාහ කරනවා නම් ඒ පුද්ගලයා මොන වගේ කෙනෙක් වෙන්න ඕනද? “සැමියෙක් නැතිව ඉන්නවාට වඩා මෙහෙම හරි කෙනෙක් ඉන්න එක හොඳයි. ඒ නිසා ඉවසනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ” මෙහෙම කියන්නේ නාඩියා. නාඩියාට දැන් වයස අවුරුදු 16 යි. ඇය දෙදරු මවක්. ජීවත් වෙන්නේ කර්නාටක ප්‍රාන්තයේ දුෂ්කර ගමක.

මීට අවුරුදු 4 කට කලින්, ඒ කියන්නේ ඇයට වයස අවුරුදු 12 දී ඇගේ තාත්තා ඇයව මෙහෙකාරකමට විකුණුවා. නමුත් ඇත්තටම ඇයට කරන්න වුණේ මෙහෙකාර සේවයක් නෙවෙයි කියලා දැන ගත්තේ ඇයව මිලදී ගත් පුද්ගලයා නාඩියාව එක්කගෙන ගිහින් කාමර ගොඩාක් තියන ලොකු ගෙදරක හිටපු වයසක කාන්තාවකගේ භාරයට ඇයව පත් කළාට පස්සෙයි. ඇයට හැම රැයකම හැම දවාලකම කරන්න වුණේ පිරිමින්ව ලිංගිකව සතුටු කරවන එකයි. මුලදී එය නුහුරු වුණත් අර කාන්තාවගේ උදව්වෙන් ඇය ඒ වැඬේට ප්‍රවීණයෙක් බවට පත් වුණා. මේ විදියට අවුරුද්දක ගෙවුණා. දවසක් ඇයගේ පහස ලැබූ එක් තරුණයෙක් පිට පිට දවස් තුනක් ඇය සොයාගෙන ආවා. තුන් වෙනි දවසේ ඔහු “අපි බඳිමු. ඔයා ඉන්න ඕන මේ වගේ තැනක නෙවෙයි” කියලා කිව්වා. ඉන් දවස් කීපයකට පස්සේ ඇය හොර රහසේ අර කාමර ගොඩක් තියෙන ගෙදරින් පැනලා ඔහුත් එක්ක ගියා.
අවුරුද්දක් විතර ගත වෙනකන් ඔවුන් සතුටින් හිටියා. ඉන් පස්සේ ගතවුණු අවුරුදු තුන ඇතුළත ඇය දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් වුණා. ඒ කාලයේ තමයි මුළු ලෝකයටම වගේම කර්නාටක ප්‍රාන්තයටත් කොරෝනා වසංගතය හමාගෙන ආවේ. . නාඩියාගේ සැමියා රැකියාව විදියට කළේ නාට්ටාමි වැඬේ. කොරෝනාවත් එක්ක ඔහුට රස්සාව නැති වුණා. සතියක් දෙකක් යද්දී කන්න බොන්න පවා මිල මුදල් නැති වුණා. ඒ කාලේ තමයි ඔහුට මතක් වුණේ සල්ලි උල්පතක් තමන්ගේ නිවසේ සිටින බව. ඒ තමයි නාඩියා. ඔහු නාඩියාව පුරුදු රස්සාවට යවලා මුදල් ටිකක් උපයා ගන්න සැලසුම් කළා. නමුත් නාඩියා මෙය එකහෙලා ප්‍රතික්ෂේප කළා. ඉන් පස්සේ තමයි ඇයට ගුටි බැට වැදෙන්න පටන් ගත්තේ. ඒ විතරක්ම නෙවෙයි. ඇය ගණිකා සේවයේ නිරත වෙලා මුදල් ඉපැයීමට අකමැති වුණොත් ඔහු ඇයව අතහැර යන බව වරින් වර ඔහු මතක් කළා. එහෙම වුණොත් දරුවෝ දෙන්නාට තාත්තා කෙනෙක්, තමන්ට සැමියෙක් නැති වෙනවා. ඉන්දියාව වගේ රටක, කර්නාටක ප්‍රාන්තය වගේ ප්‍රදේශයක සැමියෙක් නැතිව ජීවත් වීම හරියට නිර්වස්ත්‍රයෙන් ජීවත් වෙනවා හා සමානයි.
ඒ වෙද්දී දරුවෝ දෙන්නෙක් ඉන්න අවුරුදු 16 ක් වුණු නාඩියා තීරණයක් ගත්තා. වසංගතේ ඉවර වෙලා යළිත් නාට්ටාමි රස්සාව ලැබෙනකන් විතරයි ඒ රස්සාව කරන්නේ කියලා සපථ කරපු ඇය හිත හදා ගත්තා. . මේ වෙද්දී ඇය නැවතත් ගණිකා සේවයේ යෙදෙන්න පටන් අරන්. උදේම ගෙදර වැඩ කරලා දරුවන්ට කෑම හදලා කවලා ඇය ගෙදරින් පිට වෙනවා. ඔහු මුළු දවසම දරුවෝ දෙන්නා බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා. නගරාසන්නයේ සෙනඟ ගැවසෙන හරියේ පාරට වෙලා ඉද්දී ඇයට දවසකට ගනුදෙනුකරුවන් හතර දෙනෙක් පස් දෙනෙක් විතර හමු වෙනවා. ඒ කියන්නේ හොඳ ආදායමක්. හවසට ඇය ගෙදර එනකන් බලාගෙන් ඉඳලා ඒ සල්ලි ටිකත් අරගෙන නාඩියාගේ සැමියා යන්නේ තැබෑරුමට. ගමේ අයට කියලා තියෙන්නේ ඇය හැමදාම උදේට උදේට යන්නේ ලෙඩ වෙච්ච වයසක ජෝඩුවක් බලාගන්න රස්සාවකට කියලයි.


අද වෙද්දී කොරෝනා වසංගතය නිසා වසා දමා තිබූ කර්නාටක ප්‍රාන්තය විවෘත කරලා. ඒ වගේම නගරයේ නාට්ටාමිලත් වැඩ පටන් අරන්. නමුත් නාඩියාගේ සැමියා වැඩට යන්නේ නෑ. මොකද, ඔහු දන්නවා දවසකට මුට්ට තිහ හතළිහක් කර ගැහුවත් නාඩියා හොයන තරම් මුදලක් ඔහුට හොයන්න බෑ කියලා. ඒ නිසා ඔහු වැඩට යන්නේ නෑ. ඒත් නාඩියාට හැමදාම වැඩට යන්න වෙනවා. නොගියොත් ඔහු බය කරනවා. “ගිහින් රස්සාව කරපං. නැත්නං මම උඹලව දාලා වෙන ගමකට යනවා ඔහු ඒ අවස්ථාවලදී එහෙම කියනවා. සැමියෙක් නැතිව ඉන්න එක ගමක් ඉස්සරහ නිරුවත්ව ඉන්නවා වගේ කියලා හිතන නාඩියා හැමදාමත් වැඩට ගිහින් කවදාවත් දැකලාවත් නැති පිරිමි ඉස්සරහ නිරුවත් වෙනවා.

දුලාංජලී මුතුවාඩිගේ

අපගේ සෞඛ්‍ය සම්පන්න බව තීරණය කිරීමේදී, “ආහාර” එහි ප්‍රධානතම සාධකයක් වන බව කිවයුතු නැත. කිසියම් ආහාර ද්‍රව්‍යයක් අප වෙත ලැබෙන අතරතුර ඒවා නිෂ්පාදනයේදී, ගබඩා කිරීමේදී ප්‍රවාහනයේදී ඒවායේ ගුණ මිනිසාට හිතකර ලෙස පවත්වා ගැනීම සහ ආරක්‍ෂා කර ගැනීම ආහාරයක සුරක්‍ෂිත බව රැකගැනීම ලෙස හඳුන්වනු ලබයි. මෙහි ගැබ්ව තිබෙන අතිශය වැදගත්කම නිසා සෑම වසරකම ජුනි මස 7 වැනිදා “ලෝක ආහාර සුරක්‍ෂිතතා දිනය” ලෙස නම් කර ඇත. මෙවරද ආහාර සුරක්‍ෂිතතාවය ගැන කතා කළේ, අද ලෝකයටම බලපා තිබෙන කොවිඩ්19 රෝගී තත්ත්වය හේතුකරගෙන ආහාර සුරක්‍ෂිතතාවයට බලපෑම් සිදුවන ආකාරය සාකච්ඡා කිරීමටය. එසේම මේ වනවිට ලෝකය පුරාම වාගේ ආහාරවලට එකතුවන, එකතු කරන විවිධ රසායනික ද්‍රව්‍ය නිසා මතුවී තිබෙන ගැටලුද සාකච්ඡා කළ යුතුම වූවකි. නමුත් අද මේ මතුවී තිබෙන කොවිඩ් 19 රෝගී තත්ත්වය හරහා, ආහාරවල පිරිසිදු බව රැකගන්නා ආකාරය . මෙවර තේමාව වී ඇති සෞඛ්‍ය සම්පන්න වෙළෙඳපොළ ප්‍රමුඛ කරගත් කතිකාවේදී ඉතා වැදගත්වේ.

ආහාර වර්ග අනුභවය හරහා කොවිඩ් බෝවන්නේ නැති බව සැබෑය. නමුත් ආහාර වර්ග ප්‍රවාහනයේදී ගබඩා කිරීමේදී, විකිණීමේදී, පරිහරණයේදී කොවිඞ් පැතිරීම සිදුවිය හැකි බැවින් ඒ ගැන සමාජය දැනුවත්ව සිටීම අතිශයින්ම වැදගත්ය.

ඔබ ආහාර මිලදී ගන්නට ගොඩවෙන වෙළෙඳසැල ගැන මුලින්ම විමසිලිමත්වන්න. එහි ඇතුළු වීමේදී දෑත්වල විෂබීජ හරණය කර ගැනීම සඳහා පහසුකම් සලසා තිබේදැයි විපරම් කර බලන්න. මීටරයක පරතරයක් තබාගෙන ඔබට අවශ්‍යදේ තෝරා ගැනීමට මිලදී ගැනීමට ඔබට පහසුකම් තිබෙන තැනක් දැයි විපරම් කර බලන්න. ඔබට එම පහසුකම් නොමැති නම් ඒ ගැන වෙළෙඳසැල් හිමියා දැනුවත් කිරීමේ අයිතියද ඔබ සතුබව අමතක නොකරන්න. එසේම වැඩි අපහසුවකින් තොරව ආහාර ද්‍රව්‍ය තෝරා ගැනීම පහසුවන ආකාරයට වෙන වෙනම අසුරා තිබෙන තැනක් තෝරා ගැනීමෙන් ඔබට එහි වැඩි කාලයක් ගත නොකොට අවශ්‍ය දෑ රැගෙන යාමට පහසු වනු ඇත. එසේම වෙළෙඳසැල තුළට ඇතුළු කිරීමේ සිට භාණ්ඩ රැගෙන ඉන් පිටවනතුරුම මීටරයේ පරතරය සේම සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන සියලු උපදෙස් අනුගමනය කිරීමට අදාළ වෙළෙඳ සැල් හිමියා පාරිභෝගිකයන් යොමු කරන්නේ දැයි විමසිලිමත් වන්න. එසේ නොමැති විට ඒ ගැන පැමිණිළි කිරීමේ අයිතියද ඔබ සතුවෙයි. එසේම පාරිභෝගිකයෙකු ලෙස ඔබටද ඒවා තුළ හැසිරීමේදී විශාල වගකීමක් තිබෙන බවද අමතක නොකළ යුතුය.

 වෙළෙඳසැලකට ඇතුළුවීමට පෙර දෑත් පිරිසිදු කරගන්න.
 හැම විටම මීටරයේ පරතරය තබා ගන්න.
 ඔබ මිලදී ගන්නා ආහාර ද්‍රව්‍ය හැර සෙසු ඒවා අතපත ගෑමෙන් වළකින්න
 වෙළෙඳසැල තුළ වැඩි කාලයක් ගත නොකොට හැකි ඉක්මනින් අවශ්‍ය කාර්ය කරගෙන ඉන් පිටව යන්න.
 ඔබට මොන තරම් නම් හදිසි වුවද අධික ලෙස සෙනඟ පිරී තිබෙන වෙළෙඳ සැලකට ඇතුළු නොවන්න.
 වෙළෙඳ සැල අවට කෙළ ගැසීමෙන් වළකින්න.
 සෙනඟ ගැවසෙන වෙළෙඳසැල් තුළ ආහාර ගැනීමෙන්, ජංගම දුරකථනය භාවිත කිරීමෙන් හැකි තරම් වළකින්න.

ආහාර හරහා කොරෝනා බෝවන්නේ නැති නමුත් ආහාර ද්‍රව්‍යයක් මත විෂබීජය තැවරී එය සමාජගත වුවහොත් තත්ත්වය වඩාත් ව්‍යාකූල විය හැකිය. මන්ද ඔබ නිරෝගී මිනිසුන් ලෙස දකින සමහර අය කොරෝනා රෝගීන් වීමට ඉඩ ඇති නිසාය. තවම අප අතර සැඟව තිබෙන අනතුරුදායක බව සම්පූර්ණයෙන් පහව ගොස් නැත. එබැවින් නිතරම පරිස්සම් වීම කාගේත් සෞඛ්‍ය සම්පන්න බවට හේතු වනු නොඅනුමානය.

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරිනී,
සුනේත්‍රා හීන්කෙන්ද

නිර්මලා කුමාරි සේනාරත්න

 

විවාහ වුණු යුවළකගේ ලොකුම ප්‍රාර්ථනාව වන්නේ දරුවකුගේ සුරතල් බලන එක. ඒත් විවාහයෙන් කාලයක් ගියත් ඒ සිහිනය දුරට යනකොට ඔය සිත් වේදනාවෙන් පිරෙනවා. ගොඩක් විවාහක පවුල් දෙපැත්තකට යන්න හේතුවන කාරණාවක් වෙන්නෙත් කිරි සිනහවක් දකින්නට නොලැබෙන එක. අපි සූදානම් වන්නේ ඒ කිරි සිනහව ඔබේම කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග කතාබහ කරන්නයි.
විවාහක යුවළකට තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවකු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීම. ඇත්තටම මේ කාරණාවෙදි තවමත් අපේ සමාජයේ ඇඟිල්ල දිගු වන්නේ කාන්තාවට. ඒත් මෙම කාරණාවෙදි කාන්තාවගේ පැත්තෙන් වගේම පිරිමියාගේ පැත්තෙනුත් දුර්වලතා තිබෙන්නට පුළුවන්.

35 පැන්නොත් අවදානම වැඩියි

සාමාන්‍යයෙන් ඕනම විවාහක යුවළක් දරුවකු අපේක්ෂා කරනවා. සාමාන්‍යයෙන් විවාහක අයගෙන් 10%- 15% ක් වගේ පිරිසකට දරුඵල පමා වීම දකින්නට පුළුවන්. හැබැයි කාන්තාවගේ වයස අවුරුදු 35 පැනලා නම් ඒ අවදානම 40% ක් දක්වා වැඩිවෙන්න පුළුවන්. මොකද වයස 35 පනිනවත් එක්කම දරුඵල ප්‍රමාද වීමේ සම්භාවිතාව තරමක් දුරට වැඩි වන නිසා. හැබැයි සමහර අය විවාහවෙලා මාස තුනෙන් දරුවන් නැහැ කියා වෛද්‍යවරුන් වෙත එන අවස්ථා තියෙනවා. එහෙම වෙන්න අවශ්‍යතාවක් නැහැ.

වෛද්‍ය උපදෙස් ගන්න හොඳම වෙලාව

1 කාන්තාවගේ ඔසප් චක්‍රයේ වෙනසක් තියෙනවා නම්
2 හෝමෝනමය රෝගී තත්ත්වයක් ඇත් නම්
3 ගර්භාෂයේ ගෙඩියක් හෝ ඩිම්බකෝෂ ගෙඩි ඇත්නම් කාලයක් බලා නොසිට ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නට සිදුවෙනවා.
එසේ නොමැතිව ඔබ නිරෝගී නම්, ඔසප් චක්‍රය නිවැරැදිව දින 28 කට වරක් සිදුවෙනවා නම්, හෝමෝන ගැටලු නැත්නම් දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂාවෙන් අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදිලා වසරක කාලයක් බලාගෙන හිඳීමේ ගැටලුවක් නැහැ. හැබැයි වසරක් ඇතුළත දරු පිළිසිඳ ගැනීමක් නොවෙනවා නම් එය මඳ සරු බවක් වෙන්නට පුළුවන්. ඒ කොහොම වුණත් කාන්තාව ගේ වයස 35 පැනලා නම් එතරම් කාලයක් බලාගෙන ඉන්න එපා.

කාන්තාවද… පිරිමියාද?…

දරුඵල නොමැති වීමේදී 1/3 ක් කාන්තාවගේ ගැටලුවක්. 1/3 ක් පුරුෂයාගේ ගැටලුවක්. ඉතිරි 1/3 පරීක්ෂණයකින් හරියටම ගැටලුව කාගෙද කියලා කියන්නට බැහැ. මොකද කාන්තාවගේ ඩිම්බ පිටවීම සාමාන්‍යයි. ශුක්‍රාණුවල තත්ත්වය සාමාන්‍යයි. පැලෝපීය නාළ සාමාන්‍යයි. එතකොට ගැටලුව කාගෙද කියලා හඳුනාගන්න අමාරුයි. නමුත් ගැටලුවක් තියෙනවා. ඒ වගේ වෙලාවටත් කරන්න පුළුවන් ප්‍රතිකාර තියෙනවා.

ගැටලුව හඳුනාගන්නේ කොහොමද ?
1.කාන්තාවගේ හෝමෝන පරීක්ෂණය මඟින්…

හෝමෝන ක්‍රියාකාරිත්වය කොහොමද කියලා බලාගැනීම සඳහා රුධිර පරීක්ෂණය මඟින් හෝමෝන ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරනවා.
2. කාන්තාවගේ ඩිම්බ මේරීම පරීක්ෂාව (සාමාන්‍යයෙන් ඩිම්බයක් මෝරා ඩිම්බ කෝෂයෙන් පිටවනවාද යන වග)
3. පැලෝපීය නාළය සාමාන්‍ය ආකාරයට තියෙනවාද සාමාන්‍ය අන්දමින් ක්‍රියාකාරී වනවාද යන්න සොයා බැලීමේ පරීක්ෂණ
4. පුරුෂ ශුක්‍රාණු පරීක්ෂණ (ශුක්‍රාණු ප්‍රමාණය සහ ගුණාත්මක බව සොයා බැලීම)

පරීක්ෂණ එකවර කළ යුතු ද?

මේ පරීක්ෂණ සියල්ල එකවර කරන්න විශාල වියදමක් යනවා. ඇරත් එහෙම කරන්න අවශ්‍යතාවක් නැහැ. සාමාන්‍යයෙන් කරන්නේ පියවරෙන් පියවර.
ඒ අනුව
1. ප්‍රධාන ගැටලුවක් තියෙනවාද කියා පරීක්ෂා කරනවා
2. ඖෂධ ප්‍රතිකාර එක්ක සාර්ථක වෙන්න පුළුවන්කම තියෙනවද කියලා බලනවා.
3. සාර්ථක නොවෙනවා නම් ඒ සම්බන්ධයෙන් දෙවන පියවරට යන පරීක්ෂණවලට යොමුවෙනවා
4. ඒ පියවරත් අසාර්ථක වෙනවා නම් තමයි වැඩිපුර වියදම් වන පරීක්ෂණවලට යන්නේ. (ටියුබ් චෙක් කර බලන ලැපරොස්කොපි ආදී)

දරුවන් ලැබීමට ඇති හැකියාව

තිබෙන ගැටලුව කුමක්දැයි හඳුනාගත්තොත් ප්‍රතිකාර ලබාදෙන්න පුළුවන්. කාන්තා හෝමෝන ක්‍රියාකාරිත්වය සාමාන්‍ය විදියට සිදුවන්නේ නැත්නම් එය නිවැරැදි කරන්න හෝමෝන ඖෂධ ලබාදෙන්න පුළුවන්. ඩිම්බ මෝරන ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදුවන්නේ නැත්නම් ඒ සඳහා ඖෂධ ලබාදෙන්න පුළුවන්. ඒ අනුව නිවැරැදි දිනයට ඩිම්බ පිටවීම සඳහා නික්ෂේපණ ඖෂධ ලබාදෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් පුරුෂයන්ගේ ගැටලුවලට ඖෂධ ලබාදීමට වඩා කරන්නේ තිබෙන ශුක්‍රාණුවලින් හොඳ ශුක්‍රාණු ප්‍රමාණයක් තෝරාගන්නා එක.
එතැනදි කරන්නෙ ශුක්‍රාණු සාම්පල් එක අරගෙන ගුණාත්මක බවින් වැඩි හොඳ ශුක්‍රාණු ටික තෝරාගෙන ගර්භාෂයේ තැන්පත් කිරීම. ඒ ක්‍රමය ඖෂධ ලබාදීමට වඩා සාර්ථකයි. ඒ ක්‍රමයට යන්නෙ පුරුෂයාගේ ගැටලුවක් නම් පමණයි.

කාන්තා ඩිම්බ කෝෂවල හෝ ගර්භාෂයේ ගෙඩි ඇතිවිට ඒවා ශල්‍යකර්ම මඟින් ඉවත් කර දරුඵල ලබා ගත හැකි තැනට පත්කරන්නට පුළුවන්. ඒ සඳහා ඛ්ච්රදිජදචහ , ්‍යහිඑැරදිජදචහ ආදී ශල්‍යකර්මවලට යොමුවෙන්නට සිදුවෙනවා. මෙයට අමතරව ෂඪත්‍ වැනි නවීන තාක්ෂණය යොදාගන්නත් කටයුතු කරනවා.
එමඟින් සිදු කෙරෙන්නේ පැලෝපීය නාළය තුළදී ඩිම්බයක් හා ශුක්‍රාණුවක් එකතුවීමේ සම්ප්‍රදායෙන් බැහැරව රසායනාගාරයක් තුළ එම ක්‍රියාවලිය සිදු කිරීමයි. ඒ අනුව කාන්තා ඩිම්බයක් එළියට ගෙන පුරුෂ ශුක්‍රාණුවක් සමඟින් එකතුව කලලයක් සෑදීමේ ක්‍රියාවලිය සිදුකරන්නේ රසායනාගාරයක් තුළදීයි. එම ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසුව එම කලලය ගර්භාෂය තුළ තැන්පත් කිරීමක් සිදුකරනවා. ඉතින් තව දුරටත් දරුඵල නැතැයි දුක් විඳින්නට අවශ්‍ය නැහැ. එවන් ගැටලුවක් ඇත්නම් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමුවන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
කල්හාරි දසනායක

හිටි හැටියේම මුළු ලෝකයම නතර කළ Covid 19 කුඩා දරුවන් ඉන්න මව්පියන් විශාල පීඩනයකට ලක් කළා.

“අපේ බබාට බෙහෙත විදින්න පරක්කු වුණානේ මිස් අනේ ප්‍රශ්නයක් වෙයිද?” හැම දෙමව්පියෙක්ම අහපු ප්‍රශ්නයක් තමා. මේ කෙසේ වෙතත් මේ Covid 19 නොහොත් කොරෝනා උවදුර යම් මට්ටමකට පාලනය කරලා අපිට සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කරන්න දැන් වාසනාව උදා වෙලා තියෙනවා. 

කොරෝනා නිසා තාවකාලිකව අත් හිටුවා තිබුණු ප්‍රතිශක්තීකරන සායන ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව දැන් ආරම්භ කරලා තියෙනවා. සුපුරුදු පරිදි ඔබ පවුලේ හිතවතිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් ඒ සඳහා දින ලබා ගන්න ඔබට පුළුවන්. පරක්කු වුණ බෙහෙත විද්දා කියමුකෝ. අනිත් බෙහෙත විදින්නත් දින ළං වෙලා. ඒකත් දැන් පහු වෙනවා අම්මලා මැසිවිලි නගනවා. බෙහෙත් මාත්‍රා දෙකක් අතර පරතරය සති 06ක් වීම ප්‍රමාණවත්. ඔබේ දරුවාට නියමිත එන්නත නිසි වයසට ලබා දීම ඉතා වැදගත්. වයසට නිසි ප්‍රතිශක්තිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉතා ඉහළ තැනකයි ඉන්නේ. මෙවැනි පසුබිමක් තිබුණු අපේ රටේ දරුවෙකුට එන්නතක් පමා වීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධරිණිය කිසිම ඉඩක් තැබුවේ නෑ. මං දන්නවා දැන් ඔබ මොනවද හිතන්නේ කියලා. පමා වෙලා එන්නත් විදපු දරුවන්ට ගැටලුවක් වෙයිද? ඔබට මෙය පැහැදිලි කරදීම ඉතා වැදගත්. මුලින්ම සඳහන් කළ යුතුයි මේ ව්‍යසනයේදී අප සැමගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් මේ එන්නත් කරනය පමා කළත් ඉන් ගැටලුවක් ඇති නොවුන ඔබේ ඔය උනන්දුව නිසාමයි. වයසට නිසි ප්‍රතිශක්තිය ලබා දීම උදෙසා මව්වරුන්ගේ දැඩි උනන්දුවත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කැපවීමත් නිසා අතුරු උවදුරක් නැතිව එන්නත් කරණය පමා කරන්න අපට හැකි වුණා. කොහොමද එන්නත පමා වීම ඔබේ දරුවාට ප්‍රශ්නයක් ඇති නොවෙන්නේ.

ඔබේ දරුවා අවට පරිසරයේ ජීවත් වන වැඩිමහල් දරුවන් සියලුම දෙනා පාහේ මේ එන්නත් ලබා ගෙනයි ඉන්නේ. ඒ නිසා ඒ ඔබේ දරුවා අවට මේ රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් නැහැ. එම නිසා ඔබේ දරුවාට ප්‍රතිශක්තිකරණ එන්නත් මගින් ආරක්ෂා වන රෝග වැළදීමට අවදානමක් නැහැ. ඒ නිසා අපට නොබියව මද විවේකයක් ලබා ගැනීමට හැකි වුණා. මේකට මෙය අපි පොකුරු ප්‍රතිශක්තිය ලෙස හඳුන්වනවා. අනෙක් කාරණය නම් අපිත් දරුවනුත් බාහිර පරිසර හා ගැටීම ඉතාම සීමා සහිත වුණා. මේ බොහොමයක් රෝග වැළඳෙන්නේ ස්වසන මාර්ගය හරහා කොරෝනා වලින් ආරක්ෂා වීමට ගත්ත උත්සහය නිසාම අනිත් බෝවන රෝගත් අපෙන් මදක් ඈත් වුණා. එන්නත් වලින් ආවරණය කරන බොහෝ රෝග අප අතර දකින්නටවත් නැහැ. ඒ අපේ රටේ වයසට නිසි ප්‍රතිශක්තිය ලබා දීමේ සාර්ථකත්වය නිසයි.

එම කැපවීම මෙවැනි ගෝලීය වසංගතයකදී අපේ දරුවන්ව ආරක්ෂා කළා. නොවැළැක්විය හැකි හේතූන් මත ඇති වූ මේ අතපසු වීම ඔබේ දරුවාට හානියක් නොවන අතර ඉදිරියේදී වයසට නිසි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැදගත් කම පිළිබඳව ඔබ දක්වන උනන්දුව පවත්වා ගැනීම තුළින් ඔබේ දරුවාත් මතු පරපුරක් ආරක්ෂා කර ගත හැකි බව සිතට ගත යුතුයි. දරුවාගේ එන්නත සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගැනීමට ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සම්බන්ධ කර ගතයුතුයි. එන්නත් පිළිබඳව කතාබහ ආරම්භ කළ නිසා එන්නත් ලබා දීමට පෙර දරුවා සූදානම් කර ගැනීමත්, එන්නත්කරනයෙන් පසු දරුවා රැක බලා ගැනීමත් පිළිබඳව ලබන සතියේ කතා කරමු.

නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී
අනුරාධපුර ශික්ෂණ රෝහල
රූපවාහිනී/ගුවන්විදුලි සම්පත් දායිකා