TT Ads

ඉලෙක්ට්‍රෝ කාඩියෝ ග්‍රෑම් පරීක්ෂණයක් යැයි පැවැසුවහොත් එය ඔබට නුහුරු වචන පෙළක් විය හැකිය. එහෙත් ඊ.සී.ජී. පරීක්ෂණයක් යන්න නොදන්නා අයෙකු නොසිටිය හැකිය. අප කෙටියෙන් හඳුන්වන ඊ.සී.ජී. යන්නෙන් ඇරුත් ගැන්වෙන්නේ  Electro Cardio Gram යන්නයි.

ඉලෙක්ට්‍රෝ යනු විදුලියයි. කාඩියෝ යනු හදවත යන්නයි. ඊ.සී.ජී. පරීක්ෂණයකදී පරීක්ෂාවට ලක් කරන හදවත සහ විදුලිය අතර පවතින සම්බන්ධතාවය කුමක්දැයි අද අපි සොයා බලමු.
හදවත යනු ශරීරය පුරා රුධිරය රැගෙන යන පොම්පයයි. එය තත්පරයට එක්වාරය බැගින් රුධිරය ඉදිරියට තල්ලු කරයි. එම තල්ලුවීම සිදුවන්නේ තත්පරයට වරක් බැගින් හදවත මිරිකීමකට ලක්වීමත් සමගය. හදවත පුරා ඇති සියලුම මාංශ පේෂීන් එවිට එක්වරම මිරිකීම සිදු විය යුතු වන අතර එම පණිවුඩය හදවත පුරා විහිදුවනු ලබන්නේ විදුලියක් මාර්ගයෙනි.

එම විදුලිය හදවත පුරා ගමන් කර වන්නට සැදී පැහැදී සිටින වයර් ආකාර ගත් කෙඳිති ගණනාවක් හදවත වටා පිහිටා තිබේ. මෙම වයර් දිගේ විදුලිය ගමන්ගන්නා මාර්ගය ඊසීජී පටිය මගින් පෙන්නුම් කරයි. මොහොතින් මොහොත වෙනස් වන විදුලිය ඊසීජී යන්ත්‍රය තුළින් ගමන් කරන්නා වූ පටියේ දිගින් දිගටම පෑනකින් සටහන් වීම සිදුවේ.

එලෙස හදවත පුරා ගමන් කරන විදුලිය, විදුලි බල්බයක් දල්වන්නට තරම් ප්‍රබල ධාරාවක්දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. හදවත පුරා එලෙස ගමන් කරන්නේ ඉතාමත් අංශු මාත්‍ර වූ විදුලියක් වුවද එය මනාව හඳුනා ගැනීමට තරම් ඊසීජී යන්ත්‍රය අධිසංවේදී වේ.

ඉහළ මාලය සහ පහළ මාලය වශයෙන් හදවත කොටස් දෙකකින් සමන්විතය. පෙර කී සියුම් විදුලි ධාරාව මුලින්ම පැතිර යන්නේ හදවතේ ඉහළ මාලයටයි. ඉන්පසුව පහළ මාලයට ගමන් කරන විදුලිය වම් පසට වෙනමත් දකුණු පසට වෙනමත් වශයෙන් එකවර දෙපැත්තටම විදුලිය විහිදුවාලයි.

මෙලස විදුලිය ගමන් කරන මාර්ගයේ යම් තැනක පවතින අවහිරතාවක් ඊසීජී පටයේ සටහන් තුළින් හඳුනාගත හැකියි. හදවතේ මාංශපේෂීන්හි ඝනකම වඩා වැඩිනම් එයද යම් පමණකට හඳුනාගත හැකි වන අතර මාංශ පේෂියක යම් කොටසක් ජීවත් වන්නේ යම් අමාරු තත්ත්වයක නම් එයද හඳුනා ගන්නට හැකියාව තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් හදවතේ යම් කොටසක් අකර්මණ්‍යව පවතින විට එම ක්‍රියාවලිය පියවරින් පියවර ඊසීජී පටයේ සටහන් වේ.

හෘදයාබාධයක් වැළඳෙන තැන අනුව ප්‍රධාන වශයෙන් හදවතේ ඉදිරි කොටසේ වම් පැත්තේ, පහළ කොටසේ දකුණු පැත්තේ සහ පිටුපස ලෙස යම් වර්ගීකරණයක් වේ. ඒ අනුව හෘදයබාධයක් වැළඳී ඇත්තේ හදවතේ කොතැනකද යන්න ඊ.සී.ජී. පටයෙන් අවබෝධ කරගත හැකි අතර එය වැළඳී ඇත්තේ කුමන වේලාවකදීද යන්න පවා යම්තාක් දුරකට පෙන්වනු ලබයි.

හදවත තුළින් විදුලිය ගමන් කරන්නට උපයෝගී කර ගනු ලබන්නේ ලේවල අඩංගු විවිධ වූ ලුණු වර්ගයි. ලේවල පවතින විවිධ වූ ලුණු වර්ගයන්හි යම් යම් අඩු වීම් හෝ වැඩි වීම් ඊසීජී පටයක් මගින් ක්ෂණිකව දැක ගන්නට හැකිවේ. තවද හදවත වටා වතුර එක්රැස් වීමක් හෝ ඉදිමීමක් පවා ඊසීජී පරීක්ෂණයකදී තහවුරු වේ.
හදවත පිළිබඳව මෙතරම් තොරතුරු සමුදායක් වෛද්‍යවරුන්ට දැන ගන්නට සලස්වන ඊසීජී වාර්තාවක් කෙටි කාලයකින් සහ වැඩි පිරිවැයක් දරන්නේ නැතිව ඔබට ලබා ගන්නට හැකියාව තිබේ. එය කිසිදු වේදනාවකින් තොරව සිදු කරන පරීක්ෂණයක් වන අතර අතුරු ආබාධ වලින්ද තොරය.ඕනෑම කුඩා රෝහලක මෙන්ම වෛද්‍ය මධ්‍යස්ථානවල පවා රෝගීන් වෙනුවෙන් ඊසීජී පරීක්ෂණ සූදානමින් තිබේ.

ඊසීජී පරීක්ෂණයකට මුහුණ දෙන කෙනෙකුට විනාඩි කිහිපයක් ඇඳක් මත දිගා වී නොසෙල් වී සිටින්නට සිදුවේ. ඒ අතර දෑත් දෙපා වලත් පපුවේ වම්පස පුරාවටත් වයර් සම්බන්ධ කරනු ලබයි. එලෙස සෑම පැත්තකින්ම සෑම දිශාවකින්ම සිරුරට වයර් සම්බන්ධ කරන්නේ ඒ සියලු පැති ඔස්සේ හදවතට එබී බලන්නට හැකිවන ආකාරයටයි. ඒ අනුව හදවත හොඳින් නිරීක්ෂණය වන පැති දොළහක් ආවරණය වන සේ මෙලෙස වයර් සම්බන්ධ කිරීම සිදු කෙරේ.

වයර් සම්බන්ධ වූ තහඩු කැබලි හොඳින් සම හා ගැටෙන ආකාරයට මුලින්ම යම් ජෙල් වර්ගයක්ද සමේ ආලේප කරනු ලබයි. වයර් තහඩු පපුවේ එල්ලී පැවැතීම නිසා පරීක්ෂණය නිමා වී තහඩු කොටස් ඉවත් කළ පසුව ඒවා සම්බන්ධ කළ ස්ථාන සමහර විට රත්පැහැ ගැන්වී පැවැතීම බිය යුතු තත්ත්වයක් නොවේ.
ඊසීජී පරීක්ෂණයකට මුහුණ දෙන්නට පැමිණෙන කාන්තාවක් උඩුකය නිරාවරණය කරන්නට සූදානමින් පැමිණිය යුතුය. පුරුෂ පාර්ශ්වයේ අයගේ පපුවේ රෝම ගහණව ඇත්නම් වයර් තහඩු නිසි පරිදි සමට සම්බන්ධ කරන්නට නොහැකි වන අවස්ථාද වේ. පාදවල වළලු කරට මදක් ඉහළින් සහ අත් දෙකේ මැණික් කටුවට ඉහළින්ද වයර් තහඩු ශරීරයට සම්බන්ධ කරන්නට සිදුවේ.

ඊසීජී පරීක්ෂණය අවසානයේ පටියක් වැනි වූ දිග පත්‍රිකාවක් ඔබ අතට පත්වේ. යම් කාල සීමාවක් පුරා දිගින් දිගටම පැවැති හදවතේ ක්‍රියාකාරිත්වය, එම සිහින් පටියේ සටහන් කෙරේ.එක දිගට සිදුවන ඡායාරූප ගැනීමක් ආකාරයට කෙරෙන මෙම පරීක්ෂණය සඳහා එවැනි වූ දිගින් වැඩි පටියක් භාවිත කිරීම අවශ්‍යවේ. පැය විසි හතරක් පුරාම ශරීරයට වයර් සම්බන්ධ කර හදවතේ ක්‍රියාකාරිත්වය නොනවත්වා නිරීක්ෂණය කරන 24 24 hours holter monitoring නම් වූ ඊසීජී පරීක්ෂණයද සමහර රෝගීන් සඳහා නිර්දේශ වන අවස්ථා තිබේ.

මේ ආකාරයට ඔබ අතට පත්වන ඊසීජී සටහනේ ඡායා පිටපතක් හෝ ජංගම දුරකථනයෙන් ලබා ගන්නා සේයාරුවක් ළඟ තබා ගන්නටද අමතක නොකළ යුතුවේ. ඊට හේතුව වන්නේ මාස හයක් පමණ ගත වන විටදී එම ඊසීජී සටහන සපුරා මැකී ගොස් කඩදාසි පටිය පමණක් ඉතිරි වන්නට ඉඩ ඇති නිසයි. පසුකාලීනව ගන්නා ඊසීජී සටහනක් එය හා සංසන්දනාත්මකව බැලීමට ලැබෙන හැකියාව රෝගි තත්ත්වය නිශ්චිතව හඳුනා ගැනීමට විශාල පිටිවහලක් වීම එහි ඇති අවශ්‍යතාවයයි.පැරණි ඊසීජී ඡායා පිටපත වෛද්‍යවරයාට පෙන්වන විට දී ඒ සඳහා නිර්දේශිත බෙහෙත් තුණ්ඩුවද පෙන්වීමට අමතක නොකළ යුතුවේ. එවිට පෙර දී ඊසීජී පරීක්ෂණයක් සිදු කරන්නට හේතුව කුමක්ද යන්න වෛද්‍යවරයාට අවබෝධ කර ගන්නට හැකියාව ලැබේ.

රෝගියාගේ පැත්තෙන් ඒ ආකාරයට දුරදක්නා නුවණින් සහ සැලකිලිමත්ව කටයුතු කිරීම තුළින් අනවශ්‍ය වියදම් හා අපහසුතා මග හරවා ගෙන රෝගියාගේ අලුත්ම තත්ත්වය නිශ්චිතවම හා පහසුවෙන් හඳුනා ගැනීමටත් ඒ සඳහා වඩා ඉක්මනට ප්‍රතිකර්ම යොදන්නටත් වෛද්‍යවරයාට හැකියාව ලැබේ.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ
කායික රෝග විශේෂඥ
වෛද්‍ය උපුල් ද සිල්වා

උත්පල සුභාෂිනි ජයසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>