TT Ads

 

ගාල්ල, කරාපිටිය, ශික්ෂණ රෝහලේ
ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ඔලිම්පික් විශේෂඥ
ක්‍රීඩා වෛද්‍ය
සංඛ තෙබුවනආරච්චි

 

කෙනෙක් සාමන්‍යයෙන් දිනකට පියවර 3000 – 4000 අතර ප්‍රමාණයක් ඇවිදින බවයි පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙන්නේ. යන්තම් ඇවිදගන්නට හැකිවූ දා පටන් දෛනිකව මෙතරම් පියවර ප්‍රමාණයක් ඇවිද්දත් බහුතරයක් දෙනා ඇවිදින්නේ නිවැරදි ආකාරයට දැයි සැකයක් පවතිනවා.
ඇවිදීම නිවැරදි ඉරියව්වට අනුව සිදු කිරීම තුළින් වාසි රැසක් අත්කර ගන්න පු`ඵවන්. එමෙන්ම වැරදි ඉරියව් භාවිතකර ඇවිදීම තුළින් විවිධ රෝග තත්ත්වයන් රැසකට මුහුණ පෑමට සිදුවන බවයි තහවුරු වී තිබෙන්නේ. විශේෂයෙන් කෙනෙකු ඇවිදින විට පළඳින පාවහන් වර්ගද මේ සඳහා ප්‍රබල දායකත්වයක් දක්වන අතර ප්‍රධාන වශයෙන් ගෙල හා පිටකොන්ද අවට වේදනාව, පාදයේ සන්ධිවල ඇතිවන ව්‍යාකූලතා සහ ගල් තැලීම් වැනි තත්ත්වයන් මේ තුළින් ඇතිවිය හැකි සුලභ රෝග තත්ත්වයන්.

ඇවිදීමේ ඉරියව් වෙනස්වන අවස්ථා

අප දිනපතා සාමාන්‍ය ජීවිතයේ ඇවිදින ඉරියව්ව පහත සඳහන් අවස්ථාවන්වලදී වෙනස් වෙනවා. ව්‍යායාම සඳහා ඇවිදීම, ඇවිදීමේ තරගවලට සහභාගී වීමේදී හා මෝස්තර නිරූපණ කටයුතුවලදී ඇවිදීම ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා. අද අපගේ අවධානය යොමු කෙරෙන්නේ එදිනෙදා දිවියේදී සාමාන්‍ය ඇවිදීමේ රටාව නිවැරදිව සිදුකර ගන්නා ආකාරය පිළිබඳවයි.

නිවැරදි ඉරියව්

මේ සඳහා නිවැරදි ඉරියව් ඉදිරිපත් කරන අතර ඔබගේ ඇවිදීමේ රටාවේ වැරදි ඇත්නම් ඒ අනුව නිවැරදි කර ගන්න පුළුවන්. මෙහිදී කෙළින් සිට ගැනීම ඉතා වැදගත් වෙනවා. ඉන්පසුව උරහිස පිටුපසට යොමා පපු පෙදෙස මඳක් ඉදිරියට ගෙන ඒමට සැලැස්විය යුතුයි. එහිදී හැකිතාක් දුරට ඔබගේ නිකට පෙදෙස පොළොවට සමාන්තරව තබාගැනීම ඉතා වැදගත් වෙනවා. එමඟින් ගෙල අවට ප්‍රදේශයේ ඇතිවිය හැකි වේදනාවන් අවම කරගන්න පු`ඵවන්.
ඇවිදිනවිට තබන පියවර හැකිතාක් එක සමාන වන තරමට ඇවිදීම නිසා ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගැනීම හොඳම ක්‍රමය ලෙසටයි පිළිගැනෙන්නේ. හැම විටම හිස පැත්තට ඇලකර හෝ හරි කෙළින් තබාගෙන ඇවිදීම නොකළ යුතුයි. ඇවිදින විට පාදයේ විලුඹ ප්‍රදේශය පොළොවට පතිත විය යුතු අතර එය ක්‍රමයෙන් ඇඟිලිතුඩු දක්වා රැගෙන යායුතුයි. එවිට ඊළඟ පියවර සඳහා ඇඟිලි තද කරමින් බලය ලබාගැනීමට පහසුයි.

අඩි උස පාවහන් (High Heels) පැළඳීමේදී
සැලකිලිමත් විය යුතු කරුණු

වර්තමාන සමාජයේ කාන්තාවන් අතර අඩි උස පාවහන් පැළඳීම කෙරෙහි දැඩි රුචිකත්වයක් ඇති මුත් එය රෝග රැසකට හේතුවිය හැකි බවයි සොයාගෙන තිබෙන්නේ.
නමුත් විලාසිතාවක් ලෙසින් අඩි උස පාවහන් පැළඳීම කාන්තාවන් අතර ප්‍රචලිත බැවින් ආබාධ දරාගනිමින් වුව අඩි උස පාවහන් පැළඳිනු දැකගත හැකියි.අඩි උස පාවහන් පැළදීම අත්‍යාවශ්‍යම නම් පහත සඳහන් කරුණු පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත්වෙනවා.

කුඩා පියවර සහිතව ඇවිදීම

මුලින්ම කළයුතු වන්නේ පාවහන් පැළඳ කුඩා පියවර සහිතව ඇවිදීම ආරම්භ කිරීමයි. එහිදී ඔබගේ දණහිස් සන්ධිය සාමාන්‍යයෙන් ඇවිදින විටදී නැවෙන ප්‍රමාණයට නැවීමට කටයුතු කිරීම විශේෂයි. ඒ අතරම සම්පූර්ණ පාදයම හෝ ඇඟිලිතුඩු පොළොව මත පතිතවීමෙන් වැළකිය යුතුයි. සාමාන්‍ය ක්‍රමයේදී මෙන්ම විලුඹ ප්‍රදේශය පළමුව බිම පතිත කර ඇවිදීම කළ යුතුයි.
අඩි උස පාවහන් පැළඳ ඇවිදීමේදී එක දිගට බිම බලාගෙන ඇවිදීම නොකළ යුතුය. ශරීරය කෙළින් තබා නිවැරදි ඉරියව්ව අනුගමනය කීරීම අතිශයින් වැදගත්. මෙහිදී උරහිස් පිටුපසට කර සැහැල්ලුවෙන් තබා ගැනීම ගමන පහසු කරනවා. අඩි උස පාවහන් පැළඳ ඇවිදින යුවතියන් පොළොව මත ඇඳි ඉරක් දිගේ කෙළින් ඇවිදින ආකාරයට ඇවිදීමට (Cat Walk ) ප්‍රියතාවක් දක්වන අතර එයින් ආකර්ෂණීය ගමන් විලාසයක් දිස්වෙනවා.

පඩිපෙළි නැගීම හා බැසීම

ඔබ මුල්වරට අඩි උස පාවහන් පැළඳ ඇවිදීමට සැරසේ නම් පහත උපදෙස් පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා. එනම් ප්‍රධාන වශයෙන් ඔබ නිවසේදී පාවහන් අභ්‍යාසවල යෙදීමෙන් ඇතිවන සංකූලතා මඟහරවා ගත හැකියි. උදාහරණයක් ලෙසින් ටයිල්, බුමුතුරුණු එලන ලද හා ලී පොළොව මත ඇවිදීම, නැටීම, පඩිපේළි නැගීම හා බැසීම සිදුකළ හැකියි.
මීට අමතරව අඩිඋස පාවහන් තෝරා ගැනීමේදී ද ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. එනම් පළමුව උස අඩු (අඟල් 2) හා පතුල පළල පාවහන් භාවිතයට ගත යුතුයි. එය ඔබට හුරුවූ පසු ක්‍රමයෙන් අඟල් 4-6 දක්වා අඩි උස පාවහන් පළඳින්නට පුළුවන්.
ඇවිදීමේදී ඇතිවන සංකූලතා මඟහරවා ගැනීම සඳහා පාවහන් තුළට මෘදු උපාංග (In Sole) ඇතුළු කළ හැකියි. (ක්‍රීඩා වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න.)

ඉතාම වැදගත් කාරණය වනුයේ නිතරම අඩි උස පාවහන් පැළඳීමෙන් වැළකී සිටිම වන අතර අත්‍යවශ්‍යම අවස්ථාවන් හිදී පමණක් භාවිත කිරීමට මතක තබා ගන්න. ඒ සමඟම අඩි උස පාවහන් පැළඳ සිටින විට වාඩිවී සිටීම මඟින් හැකිතාක් දුරට දෙපාවලට විවේකය ලබාදීම තුළින් ආබාධ අඩුකර ගත හැකියි.

සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>